පාප්වහන්සේ සහ රුසියානු ඕතඩොක්ස් සභා පේත්‍රියාක් තුමා අතර ඓතිහාසික හමුව අද හවානාවේදී

 The first-ever Pope-Russian Orthodox Patriarch meeting in Havana today

රුසියානු ඔතඩොක්ස් සභාවේ නායක අති උතුම් කිරිල් පේත්‍රියාක් තුමන්
(2016 පෙබරවාරි 12)

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අද කියුබාවේ හවානා නුවර දී රුසියානු ඔතඩොක්ස් සභාවේ නායක අති උතුම් කිරිල් පේත්‍රියාක් තුමන් මුණ ගැසීමට නියමිතය.

මෙය සභා ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වන්නේ පාප් වහන්සේ නමක් රුසියානු ඕතඩොක්ස් සභා නායකයකු මුහුණට මුහුණ මුණගැසී සාකච්ඡා පවත්වන ප්‍රථම අවස්තාව මෙය බැවිනි.

කිතුනු සභා අතර සංවාදය ආරම්භවීමෙන් පසුව මෑත ඉතිහාසයේ පාප් වහන්සේලා කිහිප නමක්ම රුසියානු ඔතඩොක්ස් පේත්‍රියාක් තුමන් මුණගැසීමට සැලසුම් කරමින් සිටියහ. ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ එක වරක් ද සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ දෙවතාවක් ද ඕතඩොක්ස් පේත්‍රියාක් තුමන් මුණ ගැසීමට දින යොදාගෙන තිබුනද නොවැලක්විය හැකි හේතු නිසා එම අවස්ථා මගහැරී ගියේය. ඒ අනුව මෙම මොහොත අතිශය වැදගත් මොහොතක් වනු ඇති බව වතිකාන සහ මොස්කව් සභා විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පාප් වහන්සේ රුසියානු පෙත්රියාක් තුමන් මුණගැසීමට සැලසුම් කලේ දීර්ඝ කාලයක් තිස්සේ ය. එහෙත් ඒ සඳහා ස්ථානයත් දිනයත් යොදා ගත්තේ අවසන් මොහොතේ ය. පෙබරවාරි 12 සිට 15 දක්වා දිවෙන එතුමාගේ මැක්සිකෝ අපෝස්තලික සංචාරයට යන අතර කියුබාවේ හවානා නුවර දී මුණගැසීමට දෙපාර්ශවයම එකඟත්වයට පැමිණියේය. මෙම හමුව සිදුවන්නේ ඒ අනුවය.

පෙරදිග සහ අපරදිග කතෝලික සභා වෙන් වූයේ ක්‍රි.ව. 1054 සිදූවූ "මහා භේදය" (Great Schism) නමැති සිද්ධියෙන් පසුවය. දෙපාර්ශවය අතර හටගෙන තිබූ ශ්‍ර්ෂ්ඨත්වය පිලිබඳ අරගලය නීමා වුයේ  පෙරදිග සභාව වෙනුවෙන් කොන්ස්තන්තිනෝපලයේ මයිකල් සේරුලේරියස් පේත්‍රියාක් තුමන්ද බටහිර සභාව වෙනුවෙන් 9 වන ලියෝ පාප්තුමන් ද විසින් එකිනෙකා "සභාවෙන් නෙරපා හැරීමේ" ප්‍රකාශ නිකුත් කිරීමත් සමගය. මෙම නෙරපා හැරීමේ තත්වය හා පසමිතුරුකම 1960 ගණන් දක්වා පැවැතින. එය අවසන් වූයේ කිතුනු සභා අතර සංවාදයේ පතා යෝධයකු බඳු වූ සයවැනි පාවුළු පාප් වහන්සේ 1964 ජෙරුසලමේදී ඇතනගොරාස් පේත්‍රියාක් තුමන් මුණගැසීමෙන් පසුවය. එහි ප්‍රතිඵලයක් ලෙස 1965 දී දෙපාර්ශවයම "සභාවෙන් නෙරපා හැරීමේ" නියෝග ඉවත් කර ගත්හ.

මොස්කව් නුවර සභා පේත්‍රියාක්තුමා ප්‍රැන්සිස් පාප් වහන්සේ හමු වීමට ඉතා උනන්දු වූ හේතු කිහිපයක් ඇති බව ද මොස්කව් හා වතිකාන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊට ප්‍රධාන ම හේතුව වන්නේ රෝමයේ රදගුරු තුමන් ලෙස  පත්වීමෙන් පසුව ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙනත් කිතුනු සභා කෙරෙහි දැක්වූ අතිශය මිත්‍රශීලි හා සුහද ආකල්පයයි. විශේෂයෙන්ම එතුමන් "රෝමයේ ශ්‍රේෂ්ඨත්වය" අවධාරණය කරනු වෙනුවට සියලු කිතුනු සභා "එකම සහෝදරත්වයෙහි ලා" සැලකීම ඕතඩොක්ස් සභාවේ විශ්වාසය දිනා ගැනීමට හේතු වුයේය. තවත් විශේෂත්වයක් වූයේ කොන්ස්තන්තිනෝපලයේ බර්තොලොමිව් පේත්‍රියාක්තුමා ප්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පුජාවට සහභාගිවීමයි. ඒ අවස්ථාවෙන් ආරම්භ වූ එම නායක දෙපොළ අතර ආධ්‍යාත්මික මිත්‍රත්වය ඉතා ගැඹුරට විහිද ගියේය. වෙනත් කිසිදු පාප්  වහන්සේ නමක් නොගිය දුරකට ගිය ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය "වේ ප්‍රශංසා"පරිසර විශ්ව ලේඛනයට බර්තොලොමිව් පේත්‍රියාක්තුමා පරිසර සම්බන්ධයෙන් නිකුත් කල ප්‍රබල පණිවිඩයක කොටස් උපුටා ගත්හ. මේ මගින් ඕතඩොක්ස් සභා තුළ බලයක්  හිමිකරගත් බර්තොලොමිව් පෙත්රියාක් තුමා මහා ඕතඩොක්ස් සිනොඩ් කතිකාවක් කැඳවීය. කොන්ස්තන්තිනොපල් සභාව කලින් සිතා සිටියේ මෙවැනි කතිකාවක් හුදු සිහිනයක් පමණක් බවයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ සමග හමුවෙන් පසු කිරිල් පෙත්රියාක් තුමාට ද බර්තොලොමිව් පෙත්රියාක් තුමා ගේ සම තත්වයෙන් එම කතිකාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙයි.

එබැවින් ප්‍රැන්සිස්-කිරිල් හමුව කිතුනු සභා එකමුතුව පතන්නන් තුළ මහත්  ආස්වාදයක් ඇති කිරීමට සමත් වී තිබේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය