"පාපය නිසා අප අපෙනුත් ඈත් වෙලා: මේ හදවතින්ම යළි හැරී එන්නට කාලයයි" - අළු බදාදා දේශනය

"Sin has distanced us from God, others and ourselves" - Ash Wednesday Homily


(2016 පෙබරවාරි 11)

අළු බදාදායින් ආරම්භ වූ චතාරික කාලය යනු  පෑහීමේ සහ දෙවි සමිඳාණන් සමග සමගි සන්ධානය වීමේ ශුද්ධවන්ත සමයක්  බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. පෑහීමේ කාලයක් යනුවෙන් අදහස් කෙරෙන්නේ ආත්මාර්ථකාමී සහ උදාසීන, ඇල්මැරුණු  ආකල්ප අත්හැර දැමීමයි. දෙවි සමිඳාණන් සමග සමගි සන්ධානය වීම යන්නෙහි අරුත යාච්ඥාව, මර්දන ක්‍රියා සහ දයාවේ ක්‍රියා මගින් දෙවියන් වහන්සේ වෙත යළි හැරී ඒමයි. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෙබරවාරි 10 වැනිදා  සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වූ අළු බදාදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමිනි.

පාප් වහන්සේ අළු බදාදා දේව මෙහෙය පැවැත්වූයේ සුවිශේෂී පූජාප්‍රසාදීන් වහන්සේ පිරිසක් ද සමග එක්ව හවුල් පූජාවක් ලෙසය. එනම් මෙම ශුද්ධ වසර තුළ ලොව වටා යැවීම සඳහා එතුමන් විසින් පත් කරන ලද දයාවේ ධර්ම දූත පියවරුන් සමගයි. (එම තොරතුරු  වෙනත් පුවතක පල කෙරේ.) මේ නිසා මෙය ශාන්ත සභා ඉතිහාසයේ තවත් වැදගත් දිනයක් ලෙස සටහන් වනු නොඅනුමානය.

"චතාරිකය බොහෝ අයහපත් දේ  පෑහීමට  අප කැඳවනු ලබන ඵලදායි හා අර්ථාන්විත සමයකි. ව්‍යාජබව, ලෞකිකත්වය, උදාසීනකම හා ඇල්මැරුණු බව, 'මම හරි නම් සියල්ල හරි' යන සිතිවිල්ල අපට එසේ ඉවත් කල හැකි දේවල්ය. වඩා වැදගත් වන්නේ සම්මුති ගත දේ හෝ සාර්ථකත්වය හා සම්මුතිය හඹා යාම හෝ නොව හදවතේ සහ ජීවිතයේ පිවිතුරු බව ය යන්න තේරුම් ගැනීම ද මේ කාලයේ දී අවබෝධ කරගත යුතු කරුණකි" යි ප්‍රැන්සිස් පාප් වහන්සේ එම දිව්‍ය  පූජාවේ ධර්ම දේශනය පවත්වමින් කියා සිටියහ.

"චතාරික කාලය වූ කලී කෙනෙකු ගේ ක්‍රිස්තියානි අනන්‍යතාව යළි අනාවරණය කර ගැනීමේ කාලයක් ද වේ. එම අනන්‍යතාව නම් සේවයට කැපවූ  ප්‍රේමයකි; ස්වකීය ප්‍රයෝජනය අරමුණු කරගත් ආත්මාර්ථකාමය නොවේ." යැයි එතුමා පෙන්වා දුන්නේ ය.

මෙම ධර්ම දේශනයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ අළු බදාදා දේව ප්‍රකාශනයෙන් කියවෙන "ඇරැයුම්" දෙකක් ගෙනහැර දැක්වූහ. ඉන් පළමුවැන්න ශු. පාවුළු තුමා කොරින්තියේ සභාවට කල ඇරැයුමයි. "දෙවියන් වහන්සේ සමග සමගි සන්ධානය වන්නැයි" ශුද්ධවූ පාවුළු අපෝස්තුලු තුමා කිතුනුවන්ට ආරාධනා කරයි. පාවුළු තුමාගේ  මෙම ප්‍රකාශය එතුමන්ට සවන් දෙන කිතුනුවන්ට දෙන දයාබර "පිතෘක උපදේශයක්"නොවන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ  ය. "මෙය ඇත්ත වශයෙන්ම ශු. පාවුළු තුමා ක්‍රිස්තුන් වහන්සේ ගේ නාමයෙන් ඉදිරිපත් කරන සැබෑවූත්  අව්‍යාජ වූත් අභියාචනයකි; ආයාචනයකි " යි එතුමා පැහැදිලි කලේය.

"එවැනි හදවතින් ම නැගෙන ගාම්භීර ආයාචනයක් කිරීමට හේතුවක් තිබේ. එනම්, පව්කාරයන් ලෙස අප කෙතරම් බිඳෙනසුළුද, දුර්වලද යන්න ජේසු සමිඳුන් දන්නා නිසයි. අපගේ හදවතේ දුර්වලබව ක්‍රිස්තුන් වහන්සේ දන්නා සේක. අප විසින් කරන ලද පාපයේ තුවාලයේ බරපතල කමත් එහි වේදනාවත් උන්වහන්සේ දන්නා සේක. අපට කෙතරම් පව් සමාව අවශ්‍ය වන්නේ දැයි උන්වහන්සේ දන්නා සේක. යහපත් දේ කිරීමට අප උනන්දු කිරීම සඳහා අප කෙතරම් ආදරය ලැබිය යුතු දැයි උන්වහන්සේ දන්නා සේක."

කෙසේ නමුදු අපට අප විසින් ම යහපත කල නොහැකි බව ශු. පාවුළු තුමා පෙන්වා දෙන්නේ යැයි පාප් වහන්සේ විස්තර කළහ. "එබැවින් වෙන සියල්ලටත් වඩා දෙවියන් වහන්සේ සමග සමගි සන්ධානය වන්නැයි ශු. පාවුළු තුමා අපෙන් ඉල්ලන්නේ ඒ නිසාය. මන්ද, අප අපවම උන්වහන්සේට භාර කරන්නේ නම්,  උන්වහන්සේ අප තුළ ඇති නපුර පරාජය කොට අපගේ දුක්ඛිත තත්වයෙන් උන්වහන්සේ අප නැගිටුවන නිසා ය."

කෙසේ නමුත් මෙම ගමනට අප තුළ ඇති ඇතැම් දුර්වලකම් නිසා බාධා විය හැකි බව ද පාප් වහන්සේ පෙන්වා දුන්හ. "අපගේ හදවතේ දොරටු අගුලු දමා ගැනීමටත්, ලැජ්ජාවට ඉඩ දී පසු බැසීමටත්, දුක්ඛිත බවට අප ගිල ගැනීමට ඉඩ හැර 'දොරටුවෙන්' ඈත් වීමටත්  අප තුළ ඇති දුර්පරීක්ෂා මෙම බාධා" බව එතුමා කියා සිටියේ ය.

මෙවන් අවස්ථාවල පසුවන විශ්වාසිකයන් දෙවියන්වහන්සේ වෙත සමීප  කිරීමෙහිලා දයාවේ ධර්මදූතයන් සතුව සුවිශේෂී භූමිකාවක් ඇතැයි ඔවුන් රිජුව අමතමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ. "ඔබට ලැබී ඇති වරය වන්නේ දෙවියන් වහන්සේ ගේ සමාවේ සලකුණු හා උපකරණ වීමයි. ජනතාවට සිය හද දොරටු දෙවියන් වහන්සේ වෙත විවෘත කිරීමටත්,සිය ලජ්ජාවෙන් ඉවත් වී  දෙවි හිමියන් වෙත පැමිණීමටත් උදව් වීමට ඔබට හැකිවේවා කියා මම යාච්ඥා කරමි. ඔබගේ දෑතින් සහෝදර සහෝදරියන් ආශීර්වාද කර නැගී සිටුවීමට ඔබට හැකිවේවා! ඔබ මගින් දෙවියන් වහන්සේගේ බැල්ම සහ හස්ත උන්වහන්සේගේ දරුවන් මත වැටී, ඔවුන්ගේ තුවාල සුවපත් වේවා!"

අළු බදාදා දේව ප්‍රකාශනයේ එන දෙවන ආරාධනය නම් ජොඑල් දිවස්ප්‍රසාදීතුමා මගින් දෙවියන් වහන්සේ දෙන උපදේශය බව සුදොතුම් පියතුමා කීවේය. "ඔබගේ මුළු හදවතින්ම මා වෙත හැරී එන්න" යන්න එම ආරාධනයයි.

"අපි හැරී ආ යුත්තේ ඇයි?" සුදොතුම් පියතුමා විමසුවේය. "මන්ද, පාපය හේතුවෙන් අප දුරස් වී සිටින නිසයි. පාපයේ අබිරහස එයයි; අපි දෙවියන් වහන්සේගෙනුත්, සෙසු අයගෙනුත්, අපෙන්මත් ඈත් වී  සිටිමු.  අප මඳක් නැවැතී ප්‍රශ්න කිහිපයක් ගැන භාවනා කලොත් මෙය පැහැදිලිව අපට පෙනෙනු ඇත. ඒ ප්‍රශ්න මේවාය: කිසිදු බියකින් තොරව දෙවියන් වහන්සේ කෙරෙහි සැබවින් ම විශ්වාස කිරීමට අප කෙතරම් අරගල කරනවා ද? අනෙක් අයගේ වැරැදි ගැන සිතන්නේ නැතිව ඒ අයට ප්‍රේම කිරීමට අපට කෙතරම් අමාරුද? අවසානයේ දී අප දුප්පතුන් බවට පත්කරන භෞතික දේවලින් අප කෙතරම් පහසුවෙන් දුෂණය වී තිබෙනවා ද? "

කෙසේ නමුදු පාපයේ මෙම කතාන්තරයට සමාන්තරව ජේසු සමිඳුන් ගැලැවීමේ ඉතිහාසයක් විවෘත කර ඇතැයි පාප් වහන්සේ පෙන්වා දුන්හ. මෙම ගැලවීමේ ඉතිහාසයේ චරිත බවට පත්වීමේ ආරාධනය අළු බදාදා සුබ අස්නෙන් ඉදිරිපත් වන බව එතුමා පෙන්වා දුන්නේ ය.

"මෙතෙව් තුමාගේ සුබ අස්න අද අපට ආරාධනා කරන්නේ අපගේම සිත්හැරීමේ "ප්‍රධාන නළුවන්" බවට පත්වන ලෙසයි. ජේසු සමිඳුන්  ඒ සඳහා ඉදිරිපත් කරන ප්‍රතිකර්ම, ඖෂධ ත්‍රිත්වය භාවීත කිරීමෙන් පාපයේ තුවාල සුවපත් කරගෙන අපට එම අරමුණ ඉටු කරගත හැකියි. එම ත්‍රිවිධ ප්‍රතිකර්ම නම් යාච්ඥාව, මර්දන ක්‍රියා (හා උපවාසය) සහ දයාවේ ක්‍රියායි."

කෙසේ නමුදු මෙම සිත් මාරුව බාහිර පෙනුමට සීමාවූ එකක් නොව අවංකවම හද පත්ලෙන් ම සිදුවන්නක් විය යුතු යැයි පාප් වහන්සේ අවධාරණය කලේ ජේසු සමිඳුන් ගේ වචන ගෙන හැර දක්වමිනි. "ජේසු සමිඳුන් අපට ආරාධනා කරන්නේ අපේ කුහක කම පරාජය කොට අවංක හා අව්‍යාජ සිත් හැරීමක් ඇති කර ගැනීම සඳහාය. කුරුසිය දෙස බලාගෙන යාච්ඥාව, මර්දන ක්‍රියා සහ දයාවේ ක්‍රියා යන ත්‍රිවිධ අභ්‍යාස ඔස්සේ සමස්ත සභාවටම එකාවන්ව මෙම චතාරික මං පෙතේ ගමන් කිරීමට හැකි වේවා!"

"ජේසු සමිඳාණන්, අපට ප්‍රේම කරමින්, අපට ආරාධනා කරන්නේ දෙවියන් වහන්සේ සමග සමගි සන්ධානය වී තමන් වෙත හැරී එන ලෙසයි. අපට අප වෙත ආපසු හැරී ආ හැක්කේ එවිට පමණකි."



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය