"පශ්චාත්තාපීන්ට පරිභව කරනු, රිදවනු එපා! පියාණන්ගේ ආදරයේ සංකේතය වන්න" සුදොතුම් පියතුමාගෙන් පුජකවරුනට උපදෙස්

"Let the penitent feel Father's caress at the Confessional" - Pope's advice to confessors  

2013 ජූලි 26 වන දා බ්‍රසීලයේ පැවැති ජගත් යොවුන් දින රැලියේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ සමගි සන්ධාන සක්‍රමේන්තුව දානය කරමින්
(2016 පෙබරවාරි 10)

 පව් සමාවේ දේවප්‍රසාද නිධානය ලබා ගැනීමට තමන් වෙත පශ්චාත්තාපයෙන් පැමිණෙන සැදැහැවතුන්ට සැබෑ පව් සමාවක් ලබා දෙන යහපත් පාපොච්චාරණ දායක  කරන පියවරුන් (good confessors) වීමට නම්, තමන් පව්කාරයන් බව පියවරුන් මුලින්ම අවබෝධ කරගත යුතු යැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වාදෙති.

චතාරික සමය ඇරඹෙන අළු බදාදාට පෙර දින (2016 පෙබරවාරි 9 වනදා)  පාප් වහන්සේ මේ බව කියා සිටියේ වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැති දිව්‍ය පූජාවක ධර්ම දේශනාව කරමිනි. එතුමා මෙම දිව්‍ය පූජාව පැවැත්වූයේ කැපුචින් ප්‍රන්සිස්කාන නිකායේ පූජාප්‍රසාදීන්වහන්සේලා රැසක් සමගයි. කැපුචින් නිකාය සමගි සන්ධානයේ දේවප්‍රසාද නිධානය හෙවත් පාපොච්චාරණය දානය කිරීමෙහිලා ප්‍රකටව සිටින නිකායකි. එම නිකායේ සාන්ත ලියෝපෝල්ඩ් මැන්ඩිච් සහ පාද්රේ පියෝ වැනි සාන්තුවරුන් ජනතාවගේ ගෞරවයටත් ප්‍රේමයටත් පත්වූයේ දීර්ඝ කාලයක් එම ප්‍රසාද නිධාන ආසනයේ ගත කිරීම නිසාය.

දයාවේ වසරේ මෙම අවස්ථාව පාප් වහන්සේ යොදා ගත්තේ මෙම පියවරුන් මගින් ලොව පුරා සිටින පාපොච්චාරණය දෙන සියලුම පූජකවරුන්ට අනුශාසනා කිරීමටය.

"මා ඔබට  කතා කරන්නේ සහෝදරයකු ලෙසයි. ඔබ මගින් ලොව පුරා සිටින සෑම පූජකතුමකුටම මෙම පණිවිඩය ගෙනයාමට මට අවශ්‍ය  වී තිබෙනවා" යි සුදොතුම් පියතුමා කීවේය. "විශේෂයෙන්ම මේ දයාවේ ශුද්ධ වසරේදී නිතර මතක් කර ගත යුතු කරුණක් තිබෙනවා: එනම් පාපොච්චාරණ ආසනය තිබෙන්නේ සමාව දීමටයි. ඇතැම් අවස්ථා සහ සිද්ධි වලදී සමාව දීමට පියවරුන් ලෙස ඔබට නොහැකි වූවත්, පාපොච්චාරණ ආසනය වෙත හද පසුතැවිල්ලෙන් පැමිණෙන කිසිදු සැදැහැවතෙකුට රිදවන්නට හෝ පහර දෙන්නට හෝ එපා" එතුමා උපදෙස් දුන්නේ ය.

"පාපොච්චාරණ ආසනය වෙත යම් අයෙකු පැමිණෙන්නේ සැනසීම, සමාව සහ ආධ්‍යාත්මික සාමය බලාපොරොත්තුවෙනි. මේ නිසා එලෙස පැමිණෙන කෙනෙකුට එම ආසනයේ 'දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි' කියා වැළඳගන්නා තාත්තා කෙනෙකු හමුවීමට අවස්ථාව දෙන්න. ඒ උණුසුම් භාව ප්‍රකාශණය තුළ සැබවින්ම දෙවියන් වහන්සේ තමන්ට ප්‍රේම කරන බව එම පශ්චාත්තාපිකයාට දැනෙන්නට සලස්වන්නැ" යි සුදොතුම් පියතුමා කීවේය.

කැපුචින් නිකායේ සමගි සන්ධාන සක්‍රමේන්තු දූත මෙහෙවර සම්බන්ධයෙන් පාප් වහන්සේ මෙහිදී භාවනා කළහ. මැන්ඩිච් හි සාන්ත ලියෝපෝල්ඩ් තුමන් හා පියට්‍රෙල්චිනාවේ සාන්ත පියෝ පියතුමන් (පාද්රේ පියෝ) වැනි කැපුචින් නිකායික සාන්තුවරුන් පාපොච්චාරණ අසුන තුළ දහස් සංඛ්‍යාත විශ්වාසිකයන්ට සැනසීමත් ආධ්‍යාත්මික සාමය හා ආනන්දයත් ලබා දුන් ආකාරය එතුමා සිහිපත් කළේය. ජුබිලි වසරේ විශේෂ අංගයක් ලෙස මෙම සාන්තුවරුන් ගේ ශුද්ධ ධාතු වන නොදිරන සිරුරු රෝමයට වැඩමවා ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබේ. පාප් වහන්සේ කැපුචින් තාපසවරුන් සමග මෙම දිව්‍ය පුජාව පැවැත්වූයේ ද එම වැඩසටහනට අදාලව ය.

"මේ සාන්තුවරුන් දෙනම යහපත් පව් සමා දායකයෝ ය. ඔවුන් එසේ වූයේ තමන්ද පව්කාරයන් යන හැඟීම ඔවුනට දැනුන නිසාය. මේ නිසා පව් කාරයන් ගේ හැඟීම් ඔවුන්ට දැනුන නිසා යැ"යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "තමාට පව් සමාව අත්‍යවශ්‍ය බව අමතක වූ කෙනෙකුට, ක්‍රමයෙන් දෙවියන් වහන්සේව ද  අමතක වෙයි. ඔවුන්ට තමන් ගේ පව්වලට සමාව ඉල්ලීමට අමතකවෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාව දෙන්නේ කෙසේ ද යන්න ඔවුනට අමතක වෙයි. ඊට ප්‍රතිවිරුද්ධව, තමන් ද පව්කාරයෙක් බව හැඟෙන බැහැපත් පුජාප්‍රසාදී තුමා, සමගි සන්ධානයේ සක්‍රමේන්තුව තුළ  විශිෂ්ට පව් සමා දායකයෙක් (good confessor) වෙයි. තමන් පවිත්‍ර යැයි සිතා සිටින අනෙක් පිරිස දන්නේ පරිභව කිරීමට, දොස් කීමට හා විවේචනය කිරීමට පමණි."

"මම ඔබෙන් ඉල්ලා සිටිමි. වෙහෙස නොබලා හෙම්බත් වීම නොතකා සමාව දෙන්න. සමාව දීමෙන් වෙහෙසට පත් නොවන්නැ"යි පාප් වහන්සේ පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියහ. "සමාවේ, සමගි සන්ධානයේ සහ සාමයේ මිනිසුන් වන්නැ"යි එතුමා අවධාරණය කළේය.

කිසියම් තැනැත්තකු පව් සමාවේ ප්‍රසාද නිධානය කරා පැමිණීම තුළම, එම තැනැත්තාගේ ආධ්‍යාත්මික ස්වභාවය ගැන ප්‍රබල ඉඟියක් ඇතැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්හ. එතුමා කියා සිටියේ පව්සමා ආසනයේ සිටින පූජකතුමන් එය වටහාගත යුතු බවයි.

"යම් තැනැත්තෙකු පව්සමා ආසනයේ සිටින මා වෙත එන්නේ කිසියම් වැදගත් හේතුවක් නිසයි. එනම්, එම තැනැත්තාට වද දෙන කිසියම් බරක් ඉවත්කර නිදහස් වීම සඳහායි. ඇතැම් විට එය විස්තර කරන්නේ කෙසේ දැයි ඔවුන් නොදන්නවා විය හැකියි; නැති නම් ඔවුනට නොතේරෙනවා විය හැකියි. එහෙත් ඒ පිලිබඳ ඉඟිය, ප්‍රකාශනය ඔවුන් තුළ  අපට දැකගත හැකියි. මේ තැනැත්තා පැමිණෙන්නේ ඔහුට වෙනස් වීමට අවශ්‍ය නිසයි. නව පුද්ගලයකු වීමට ඔහු තුළ ඇති බලාපොරොත්තුව නිසයි."


ඇතැම් පුද්ගලයනට වෙනස් වීමට අලුත් වීමට අවශ්‍ය වුවද ඔවුන් තුළ ඇති මනෝවිද්‍යාත්මක තත්වයන් නිසා ඊට බාධා පැමිණෙන බව ද සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. එහෙත් පව්සමා ආසනයේ සිටින පියතුමා ගේ පිළිගැනීම තුළ සැනසීමක් සහ නැවුම් ශක්තියක් ඔවුන් තුළ ඇතිකළ හැකි බව ද එතුමා කියා සිටියේ ය.

"එබැවින් චෝදනා කරන්නන් හෝ දොස් පවරන්නන් නොව විශිෂ්ට සමාව දෙන්නන් වන්න. මන්ද ශුද්ධ ලියවිල්ල සාතන් නිරූපනය කර ඇත්තේ දොස් පවරන්නකු පරිභව කරන්නකු ලෙසයි" යයිද එතුමා සඳහන් කළේය.

"පව් සමාව දෙවි සමිඳාණන් මිනිසා තුළ පැල කරන බීජ යි.  පව් සමාව උන්වහන්සේ ගේ වැළඳගැනීමයි;  ආලිංගනයයි. දෙවියන් වහන්සේ ගේ සමාව කෙරෙහි විශ්වාස කරන්න" යයි සුදොතුම් පියතුමා දේශනය අවසන් කරමින් කියා සිටියේය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය