ඔබ රෝග පීඩා හා දුක් දොම්නස් වලින් පීඩා විඳිනවාද? මරිය මෑණියන්ගෙන් අනුප්‍රාණය ලබන්න."- ජගත් රෝගීන්ගේ දින පණිවිඩය

 "Let Mary inspire us at times of illness and pain": World Sick day message

පාප් වහන්සේ බදාදා පොදු හමුවකට එක්වූ රෝගී වන්දනා කරුවන්  පිරිසක් සැනසූ අවස්ථාව

(2016 පෙබරවාරි 1)


මේ ජීවිතයේ අපගේ නිරන්තර යථාර්ථයක් වන දුක්ඛ දෝමනස්ස සහ විශේෂයෙන් අපගේත් අප සමීපතම නෑ සියන් හා මිතුරන් ශාරීරිකවත් මානසිකවත් පීඩාවට පත් කරන රෝග පීඩා නිසා අපි බොහෝ අසහනයට පත් වෙමු. ඇතැම් විට එය අපගේ විශ්වාසයට ද අභියෝග කරන තත්වයකට පත්වෙයි. "ඇයි මේ?" අප අසහනයෙන් නගන ප්‍රශ්නයයි.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ රෝග පීඩාදිය ක්‍රිස්තු සමිඳුන් ගේ මෘදු දයා කරුණාවට අපව භාර කිරීමට අවස්ථාවක් බවයි. මෙසේ කරන්නේ කෙසේ දැයි උන්වහන්සේ ගේ මෑණියන් වන මරිය මාතාවන් අපට පෙන්වා දෙන බව සුදොතුම් පියතුමා කියයි.

"රෝගීබව, විශේෂයෙන් ම බරපතල රෝග, මානව පැවැත්ම අර්බුදයට ලක් කරයි. එහෙත් එවැනි තත්ත්වයන් වඩා ගැඹුරට ප්‍රශ්න කරන්නටත් සොයා බලන්නටත් අපට අවස්ථාවක් ලබා දෙයි. රෝගී අවස්ථාවල, විශේෂයෙන් ම බරපතල රෝගී අවස්ථාවල අපගේ ප්‍රථම ප්‍රතිචාරය විප්ලවකාර එකක්  විය හැකිය. මේ විප්ලවකාර සිතිවිල්ලෙන් අප මුලින් ම  අසන්නේ 'ඇයි මට මේ දේ සිදුවුනේ?' කියාය.ඇතැම් විට  සියල්ල අහිමි වී ඇති බවත්, කිසි දෙයක අරුතක් නැති බවත් හැඟී ගොස් අප අසහනයට  හා අපේක්ෂා භංගත්වයට පත් විය හැකිය.මෙවන් මොහොතවල සිදුවන්නේ කෙනෙකු දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය පරීක්ෂණයට ලක් වීමයි. එසේම එම අවස්ථාවල ඇදහිල්ලේ සුබවාදී පැති හෙළිදරව් වෙයි" යැයි සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටින්නේ 24 වන ජගත් රෝගීන් ගේ දිනය වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමිනි. කතෝලික සභාව ජගත් රෝගීන් ගේ දිනය සමරන්නේ ලූර්දු දේව මාතා මංගල්‍ය දිනය යෙදෙන පෙබරවාරි 11 වන දායි. මෙවර රෝගීන් ගේ දින වැඩසටහන්  පවත්වනු ලබන්නේ ශුද්ධවූ දේශයේ ය.

 මේ නිමිත්තෙන් 2016 පෙබරවාරි 11 වනදා ශුද්ධවූ දේශයේ ජේසු සමිඳුන් ගේ ජීවිතයට සම්බන්ධ විවධ ස්ථාන වල උදා යැදුම්, සන්ධ්‍යා යැදුම් හා දිව්‍යා පුජා පැවැත්වේ. උන්වහන්සේ ගේ උපත සිදු වූ බෙත්ලෙහෙම, උත්ථාන වූ ජෙරුසලෙමේ ශ්‍රී ගල්ලෙන ද මෙම ස්ථානවලට අයත්ය. සියලු කතෝලික නිකායන්ට අයත් රදගුරු හිමිවරු මෙම දේව මෙහෙයන්ට එක් වන බව වතිකානය ප්‍රකාශ කරයි. දිව්‍ය පූජාවලට අමතරව සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය හා රෝගීන් ආලේපය ද එදිනවිශේශාකාරයෙන්  දානය කරනු ලැබේ.

අප බරපතල ලෙස රෝගී වූ අවස්ථාවල අප අපේක්ෂා භංගත්වයට ලක් වූවත් අප තුළ ඇදහිල්ල තුළ ඊට ශක්තිමත්ව මුහුණ දිය හැකි බව මෙම රෝගීන් ගේ දිනය වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ නිකුත් කල පණිවිඩයේ සඳහන් වෙයි. "ඊට හේතුව  රෝග, දුක් වේදනා හෝ අපගේ ගැටළු, ඇදහිල්ල නිසා අතුරුදන් වන නිසා නොවේ. ඊට හේතුව අප අත්දකින වේදනාවේ ගැඹුරුම අරුත අනාවරණය කර ගැනීමේ යතුර ඇත්තේ ඇදහිල්ල තුළ නිසා ය. අප සමග ගමන් කරන ජේසු සමිඳුන්ට වඩා සමීප වීමට රෝග හා දුක් දොම්නස් උදව් වන්නේ කෙසේදැයි දැකීමට අපට සහාය වන්නේ මෙම යතුරයි."

"මෙම යතුර අපට ලබා දෙන්නේ අපගේ භාග්‍යවන්ත අම්මා වන මරිය වහන්සේය.  මන්ද එතුමියද මෙම තත්වය තමන්ම රිජුවම අත්දැක ඇති නිසා" යැයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

මෙම රෝගීන් ගේ දිනයේ තේමාව "මරියතුමිය සේ  තමන්වම කරුණාබර ජේසු සමිඳුන්ට භාර කිරීම: 'ඔහු ඔබට කියන දේ කරන්න' " යන්නයි.  මෙම  තේමාව දයාවේ වසරට අතිශයින් ගැලපෙන බව පාප් වහන්සේ පැවසුහ.

රෝගීන් ගේ දින පණිවිඩය පෙබරවාරි 11 වනදා දිව්‍ය පුජාවේ සුබ අස්න වන කානා නුවර විවාහ මංගල්‍යයේ ප්‍රාතිහාර්යය මත පදනම් කරගන්නා බව සුදොතුම් පියතුමා එම පණිවිඩයේ සඳහන් කරයි. ජේසු සමිඳුන් මෙම ප්‍රාතිහාර්යය සිදු කරන්නේ සිය මෑණියන් ගේ මැදිහත්වීම මතය.

"මරිය මෑණියන් එම අළුතින් විවාහ වූ යුවල කෙරෙහි වූ අවධානය හා  ඔවුන් ගේ ජීවිතයට පෞද්ගලිකව සම්බන්ධ වීමත්, ජේසු සමිඳුන්ට කීකරු වීම ගැන එතුමිය තුළ වූ ආකල්පයත් සිත්හි තබා ගෙන මෙම සුබ අස්නේ පණිවිඩයෙන් අපට ඉගෙන ගත හැක්කේ කුමක් ද?" සුදොතුම් පියතුමා විමසයි.

"මෙම විවාහ මංගල්‍යය යනු, සියල්ලටමත් වඩා, ක්‍රිස්තුන් වහන්සේ කේන්ද්‍රය වූ සභාවේ චිත්තරූපයයි. ක්‍රිස්තුන් වහන්සේ සිය දයා කරුණාවෙන් මෙම ප්‍රාතිහාර්යය සිදු කරන සේක. උන්වහන්සේ වටකරගෙන සිටින්නේ උන්වහන්සේ ගේ ශ්‍රාවකයෝයි. ඒ සියලු දෙනා හැරුනුකොට එහි සිටින්නේ 'සංරක්ෂණයෙන් හා යැදුමෙන් පිරි  මෑණියන්' වන මරිය තුමියයි. එතුමිය එහි සිටින සාමාන්‍ය ජනතාවගේ ප්‍රීතියේ හවුල්කාරියක් වෙමින්, එම ප්‍රීතිය වැඩි වර්ධනය කිරීමට උදව් වෙයි. නවක යුවල හා ආරාධිත අමුත්තන් වෙනුවෙන් එතුමිය සිය පුතා ඉදිරියේ මැදිහත් වෙයි. ජේසු සමිඳාණෝ  ද තම අම්මා  ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරති" යි එම සිද්ධිය විස්තර කරමින් සුදොතුම් පියතුමා කීවේය.

එතුමා පෙන්වා දුන්නේ කානා  නුවර මෙම සිද්ධිය සියල්ලන්ටම බලාපොරොත්තුවේ සලකුණක්  බවයි. "මන්ද, මරිය වහන්සේ තුළ, අපට සිය පුතනුවන් සේ ම ත්‍යාගශීලි හා අවධානශීලී දෑසින් යුත් අම්මා කෙනෙක් සිටිනවා. මරිය තුමියට සිය පුතනුවන් සේ ම මව් පෙමින් හා දයා කරුණාවෙන් පිරි හදවතක් තිබෙනවා; කුසගින්නෙන් සිටි ජනතාවට කන්නට දීම සඳහා රොටී කඩා දුන්නාවූත්, රෝගීන් ස්පර්ශ කර සුව කළාවුත් ජේසු සමිඳුන් ගේ දෑත් බඳු උදව් කරන්නට සූදානම් දෑතක් එතුමියට තිබෙනවා" යි පාප් වහන්සේ පෙන්වා දෙති.

"මරියතුමිය ගේ සැලකිල්ල තුළ අප දකින්නේ දෙවියන් වහන්සේ ගේ කරුණාවේ හා මෘදු බවේ ප්‍රතිබිම්බයයි. රෝගීන් ආදරයෙන් රැක බලාගෙන ඔවුනට  සාත්තු කරන සෑම  කෙනකු තුළම ඇත්තේ මෙම ප්‍රතිබිම්බයයි.මන්ද ඔවුන් මෙම රෝගීන් දෙස බලන්නේ මහත් ප්‍රේමයකින් නිසායි."
"ප්‍රේමය ඇදහිල්ලෙන් පණගැන්වූ කල, රෝගීන් සඳහා ශාරීරික සුවයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටීමට අපට වරම් ලැබෙනවා: ඔවුන් වෙනුවෙන් ඇතුලාන්ත සාමය, ශාන්තිය ඉල්ලා සිටීමට අපට හැකිවෙනවා.ශුද්ධාත්ම ඵලයක් වන එය දෙවියන් වහන්සේගෙන් පමණක් ලැබිය හැකි තිළිණයක්. එය විශ්වාසයෙන් ඉල්ලා සිටින කිසිවකුටත් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන තිළිණයක්" යැයි පාප්වහන්සේ අවධාරණය කළහ.

අවශ්‍යතාවෙන් සිටින අයට, විශේෂයෙන් ම රෝගීනට, උපකාර කිරීමට අවශ්‍ය සුදානම අපටද ලැබෙන ලෙස තම පුතනුවන් ඉදිරියේ මැදිහත් වන්නැයි මරිය වහන්සේ ගෙන් ඉල්ලා සිටින ලෙස සුදොතුම් පියතුමා සියලු කතෝලිකයනට ආරාධනා කරයි. "අපටත් දෙවියන් වහන්සේට ප්‍රාතිහාර්ය සිදු කිරීමට උදව් විය හැකි හදවත් සහ දෑත් විය හැකියි. බොහෝ විට උන්වහන්සේ එවැනි ප්‍රාතිහාර්ය සිදු කරන්නේ කාටත් රහසේ යි. දුක් වේදනාවේ අත්දැකීම් සෑම විටම අභිරහසකි. එහෙත් එහි අරුත අනාවරණය කර ගැනීමට ජේසු සමිඳාණෝ අපට සහාය වන සේක."

සුදොතුම් පියතුමා සිය පණිවිඩය අවසන් කරන්නේ අපගේ රෝග හා දුක්ඛ දෝමනස්ස වලදී මරිය අම්මාගෙන් අනුප්‍රාණය ලබන ලෙස සියල්ලන් දිරිමත් කරමිනි.

"රෝග පීඩාදියෙන් හා දුක් දොම්නස් වලින් පීඩා විඳින අපි මරිය මෑණියන්ගෙන් අනුප්‍රාණය ලබමු. අපගේ දුක් කම්කටොලු සේ ම සතුටත් එතුමියට භාර කරමු. දයා කරුණාවෙන් පිරි එතුමියගේ දෑස, විශේෂයෙන් ම අපගේ වේදනාවේදී අප වෙත යොමු කරන ලෙස අපි අයැද සිටිමු. එසේම අදත් සෑම දිනෙකමත් එතුමියගේ ප්‍රේමවන්ත පුනනුවන් වන ජේසු සමිදුන් ගේ කරුණාබර ශ්‍රී වත මඬල අපට පෙන්වන මෙන් ඉල්ලා සිටිමු."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය