"ප්‍රැන්සිස් පාප් වහන්සේ ISISටත් වඩා බලවත් තර්ජනයක්!" - ප්‍රවීණ පත්‍ර කලාවේදියෙක් කියයි

"Pope Francis is a greater danger" - A veteran journalists's point of view 

බ්‍රසීලයේ පැවැති විරෝධතා පෙළපාලියක ප්‍රදර්ශනය වූ පුවරුවක්. මෙහි අදහස "2016. සාමය . යුද්ධය එපා!" යන්නයි

(2016 ජනවාරි 26)

"ISIS ඇතුළු ආගමික අන්තවාදී ත්‍රස්තවාදීන් නුතන ලෝකයට තර්ජනයක් වී තිබේ. ලෝකයේ  එදිනෙදා සාමාන්‍ය ජීවිතය කඩාකප්පල් කරන ඔවුන් ලෝකය අවුලෙන් අවුලට පත් කරමින් සිටිති. මෙය සැබෑ තර්ජනයකි.

එහෙත් අප අවදියෙන් සිටිය යුතු කරුණ තිබේ. ඒ මෙයයි: අපට පෙනෙන ජීවිතයට විශාලම තර්ජනය එල්ල වී ඇත්තේ මෙම නොමග ගිය, දුෂ්ට අන්ධ භක්තිකයන් ගෙන් නොවේ. අප ඉදිරියේ ඊට වඩා වැඩි තර්ජනයක් තිබේ.

ඒ ප්‍රැන්සිස් පාප් වහන්සේ ය."

මෙසේ පවසන්නේ දේවධර්මවේදියකු හා ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන රොබට් මිකන්ස් ය. (ඔහු ගේ පසුබිම මෙම ලිපිය අවසානයේ පළවේ.) ඇමෙරිකාවේ National Catholic Reporter පුවත්පතට ලිපියක් ලියමින් මිකන්ස් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ, මානව ඉතිහාසය තුළත් සුපුවත තුළත් මුණගැසෙන නාසරෙතයේ ජේසුස් නමැති අසම සම දේව-මානව පුද්ගලයාගේ හදවත ගැඹුරටම කිඳා බසිමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයට කරන අභියෝගය, ඊට නිසි ලෙස හා සාවධානව සවන් දෙන්නන් ගේ ජීවිත සසල කරන බවයි. විශේෂයෙන් ම මෙතෙක් සාම්ප්‍රදායික 'ඉරිදා කතෝලිකයන්' වූ ජනතාවටත් සාම්ප්‍රදායික මතවාදී වේද පණ්ඩිතවරුනටත්, ස්වයං-යහපත් පුද්ගලයන්ටත් ඒම පණිවිඩය අභියෝගයක් වී තිබේ. ත්‍රස්තවාදීන් ගේ බෝම්බ සේ ම ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දැක්ම ද අප දන්නා සාමාන්‍ය ජීවිතය අස්ථාවර කරයි. ඔබට එසේ නොවන්නේ නම්, ඔබ පාප් වහන්සේ ගේ පණිවිඩයට සාවධානව සවන් දෙන්නෙකු නොවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඒ අභියෝගාත්මක පණිවිඩය කුමක්ද? රොබට් මිකන්ස් ගේ මෙම ලිපිය කියවීමෙන් එය ඔබට අවබෝධ වනු ඇත.

*******

ඊනියා ඉස්ලාමීය රාජ්‍යයක නාමයෙන් කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන සටන්කරුවෝ (ඔවුන් කෙතරම් පලි ගසා කීවද ඔවුන් ගේ මෙම ක්‍රියා දාමය ආගමට හෝ දෙවියන්ට සම්බන්ධයක් නැත)  ලෝකයට මහත් තර්ජනයක් ව සිටිති.  ඔවුන් සහ ඔවුන්ට ශක්තිය දෙන පුද්ගලයන් විසින් සැකයෙන් තොරව අවිහිංසාවාදීව ජීවත්වන පුරවැසියන්ට එල්ල කෙරෙන සෑම ප්‍රහාරයක්ම අපගේ එදිනෙදා ජීවිතයට බාධා කරයි. සාමාන්‍ය දෛනික ජීවිතය කඩාකප්පල් කරයි. දැනටමත් ඉතා හොඳින් ගොඩනැගී ස්ථාවර වී ඇති අපගේ දිවිපෙවෙත කම්පනයට පත් කරයි. ඔවුන් සිය අවුල පැතිරවීමට උත්සාහ දරන්නේ දෙවියන් වහන්සේ ගේ තන නිල්ලේ පමණක් නොවේ. දැනටමත් ගිනි ගෙන හෝ දැඩි සූර්ය තාපයෙන් වියලී දැවී ගිය ප්‍රදේශ වලද ඔවුහු සිය අවුල පතුරවති.

එහෙත් අප අවදියෙන් සිටිය යුතු කරුණ තිබේ. ඒ මෙයයි: අපට පෙනෙන ජීවිතයට විශාලම තර්ජනය එල්ල වී ඇත්තේ මෙම නොමග ගිය, දුෂ්ට අන්ධ භක්තිකයන් ගෙන් නොවේ. අප ඉදිරියේ ඊට වඩා වැඩි තර්ජනයක් තිබේ.

ඒ ප්‍රැන්සිස් පාප් වහන්සේ ය.

නැහැ. එතුමා භීෂණයේ ආධිපත්‍යයක් පවත්වාගෙන නොයයි. එහෙත් එය වෙනස් ආකාරයේ තර්ජනයකි.

උන්වහන්සේ දිවැසිවරයකු ලෙස බෙදාහරිමින් සිටින පණිවිඩයට අප සවන් දුනහොත් එමගින් අපගේ ජීවිත අවුස්සා, කලබල කර ඇති කරන වෙනස, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුදාහරින ක්‍රියා වලට වඩා රැඩිකල් හා ජීවිත අස්ථාවර කරන ආකාරයේ පරිවර්තනයක් විය හැකිය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ  මෙම 'අස්ථායී' කිරීම හා  'අවුල්' කිරීම බහුවිධ මට්ටම් වලටත් විවිධාකාර පෙරමුණු වලටත් දැනෙමින් තිබේ.  තැනින් තැන සමාජයේ සෑම ක්‍ෂේත්‍රයකින් හා අංශයකින් ම ඊට ප්‍රතිරෝධයක් එල්ල වෙමින් ඇත. ඔබ සිතන හැටි නිවැරදිය. ඊට වැඩිම ප්‍රතිරෝධය එල්ල වෙමින් ඇත්තේ කතෝලික සභාව ඇතුලතින් ය.

එතුමාට එල්ල වන ප්‍රතිරෝධ සමහරක් මෙසේ කෙටියෙන් දැක්විය හැකිය:

"ජනතාව මරා දමන ආර්ථික ක්‍රමයේ"  ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට හා නිදහස් වෙළෙඳපොල වඩාත් ජනතා හිතවාදී වීමේ රෙගුලාසි හඳුන්වා දිය යුතු බවට එතුමා කරන ප්‍රකාශ නිසා, සාමාන්‍යයෙන් ඉරිදා පූජාවලට සහභාගිවන බැතිමත්හු කෝපයට පත්ව සිටිති. තමන්ගේ වස්තු සම්පත් ඉතා මහන්සියෙන් උපයාගෙන දැන් ඒවා ඉතා වගකීමෙන් වියදම් කරන ධනවත් ත්‍යාගශීලී දානපතීහු අපේ කතෝලික රදගුරු පදවි වල සිටිති. "ධනය වඩා සාධාරණව බෙදා හැරිය  යුතු බවට" සුදොතුම් පියතුමා ඉතා දැඩි වේදනාවෙන් කරන ඉල්ලීම, එම ධනවත් දානපතීන් ගේ සිත් රිදීමට හේතු වී තිබේ.

සෑම  ආගමකටම අයත්, එසේම කිසිම ආගමක් නොඅදහන එහෙත්  කරුණාව හා අනුකම්පාව පිරි හදවතින් යුත් යහපත්, විනීත රටවැසියෝ රැසක්  අපේ රටවල ජීවත් වෙති. "යුරෝපය සහ උතුරු ඇමෙරිකාව, අප්‍රිකාවෙන් හා මැදපෙරදිගින් එන සාංක්‍රමනිකයනටත් සරණාගතයන්ටත් සිය රටවල දොරටු පුළුල්ව විවෘත කල යුතු" යයි පාප් වහන්සේ කල කතාවෙන් ඔවුන් ගේ සිත් රිදී තිබේ. ඔවුන් පවසන්නේ සුදොතුම් පියතුමා ගේ එම ප්‍රකාශය වැරැදි බවය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ බලපෑම නිසා කලකිරීමට පත් තවත් පිරිසක් වන්නේ කතෝලික ශීල ධර්මය අකුරටම ගරු කරන බැරෑරුම් කතෝලිකයෝය. ඔවුන් ගේ සිත් වේදනාවට හේතුව, දික්කසාද වී යළි (වෙනත්) විවාහ කරගත් තැනැත්තන්, තමන් සමලිංගික බැඳීමෙන් සිටින බව පවසන්නන් හා සද් චේතනාවෙන් කෘත්‍රීම පවුල් පාලන උපකරණ භාවිත කරන්නන් වැනි සභාව "අපිවිතුරු" පුද්ගලයන් ලෙස සළකන්නන් "විනිශ්චය නොකර, ආදරයෙන් පිළිගත යුතු" යැයි සුදොතුම් පියතුමා පුන පුනා කරන ධර්ම දේශනා නිසා ය.

මෙම කතෝලික කණ්ඩායම් සහ වෙනත් කතෝලිකයනුත් බොහෝ භීතියට පත් වී ඇති කරුණක් තිබේ. එනම්,  ඇතැම් කතෝලික වේදසත්‍යතා ප්‍රතික්ෂේප කරන වෙනත් කිතුනුවන් සමගත්, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන වෙනත් ආගමිකයන් සමගත්, සංශයවාදීන් සමග සේ ම සභාවේ අත්‍යන්ත සතුරන් සමගත් සංවාදයට පිවිසෙනවා හැර වෙනත් විකල්පයක් රෝමානු සභාවට නොමැති බවට ප්‍රැන්සිස් පාප් වහන්සේ තුළ ඇති දැඩි විශ්වාසයයි.

පූජකවරුන් සිය "පහසු කලාපයෙන්" පිටතට විත්, නැති වූ බැටළුවන් සොයා වීදියට බැසිය යුතු යයි ද, 'අම්මාට ආදරය කරන්නා සේ දුප්පත් කමට ආදරය කරන්නැ"යිද, ඔවුන් ජේසු සමිඳුන් සේ 'බැහැපත්' සහ 'කුඩා' විය යුතු යයි ද සුදොතුම් පියතුමන් නිරන්තරයෙන් දෙන අවවාද නිසා අමනාපයටත් කෝපයටත් පත් පුජකවරු ද වෙති.

සුදොතුම් පියතුමා ආයුධ නිෂ්පාදකයන් හා ආයුධ වෙළෙඳාම හෙලා දකින විට කිපෙන කතෝලිකයෝ පිරිසක් ඇමෙරිකාවෙත් වෙනත් රටවලත් සිටිති. ඔවුන් විශ්වාස කරන්නේ පෞද්ගලිකව ආයුධ භාවිත කිරීමට නෛතික අරමුණක් ඇති අතර ගෝලීය වශයෙන් සිදුවන දැවැන්ත හමුදා මෙහෙයුම් සඳහා ද ආයුධ නිෂ්පාදනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

පාප් වහන්සේ විසින් කලබලයට පත් කරන ලද තවත් කොටසක් වන්නේ මරණ දණ්ඩනය හා දීර්ඝ කාලීන සිර දඬුවම් දිය යුතු බවට ප්‍රබල තර්ක ගෙන, එන තමන් යහපත් යයි සිතන පුද්ගලයෝ ය. මරණීය දණ්ඩනය අහෝසි කල යුතු යයි ද සිර දඬුවම් වෙනුවට පුනරුත්ථාපන වැඩසටහන් හඳුන්වා දිය යුතු යයි ද එතුමා කරන ප්‍රකාශය ඔවුන් ගේ අවුලට හේතුවයි.

පරිසරය හා දේව මැවිල්ල ගැන කතා කිරීමේ දී ද එතුමා තම සීමාව ඉක්මවා ක්‍රියා කරන බවට චෝදනා කාරණ දේවධර්මය පිලිබඳ වියත්තු සිටිති. නිදසුනක් ලෙස, තමන්ට අවශ්‍ය නොමැති හෝ ගැටළු සහගත පිළිසිඳ ගැනීමක් අවසන් කිරීමට කාන්තාවන්ට අයිතියක් නැති බවට එතුමන් කරන ප්‍රකාශය එතුමන් ගේ බල අධිකාරිය ඉක්මවන්නක් බවට පිරිසක් චෝදනා කරති. පරිසර විපර්යාස පිලිබඳ විවාදයේ දී, කාලගුණික වෙනස්කම් මිනිසා ගේ ක්‍රියා නිසා සිදුවෙන්නක් බව පැවසීමෙන්  පාප් වහන්සේ සිය ගුරු බලය අනිසි ලෙස භාවිත කර ඇති බවට විවේචන ගෙන එන වේද පණ්ඩිතවරු ද වෙති.

ප්‍රැන්සිස් පාප් වහන්සේගේ මෙම ප්‍රකාශ ප්‍රගතිගාමී ය. රැඩිකල් ය. පාප් වහන්සේ ගේ මෙම දැක්ම සහ ඒ ඔස්සේ එතුමන් සිදුකරමින් සිටින ප්‍රතිසංස්කරණ විසින් ඉරිදාට පල්ලි යන සාම්ප්‍රදායික කතෝලිකයන්  පමණක් නොව සම්ප්‍රදායමතවාදී දේවධර්මවේදීන් හා පුජක පක්ෂය ද කලබලයට පත්වීම එක අතකින් පුදුමයට පත් වීමට හේතුවක් නොවේ.

නාසරෙතයේ ජේසුන්  වහන්සේ  ද එදා පැවැති මෝසස් ගේ නීතිය මත පදනම් වූ ජුදා දහම තුළ ජීවත් වූයේ නමුදු, උන්වහන්සේ ද එම දහම තුළ රැඩිකල් විප්ලවයක් පිළිබඳව කතා කළහ. ක්‍රියා කළහ. උන්වහන්සේ ගේ සමාජය තුළ සිටියේ ධීවරයන් දුප්පතුන් වැනි සමාජයේ පහළ ස්ථර වල ජනයා සහ උන්වහන්සේ මුණගැසීමෙන් පූර්ණ සිත් මාරුවක් ඇති වූ බදු අයකරන්නන්, වෙසඟනන් වැනි සමාජයෙන් කොන් කර, 'අපවිත්‍ර' කොටස් ලෙස ලේබල් කරන ලද  අය ය. ගල් ගසා මරා දැමීමට ගෙනා 'පව්කාර ස්ත්‍රියට' , "මම ද ඔබට වරද නොතබමි. යන්න. මින් මතු පව් නොකරන්නැයි" කරුණාබරව කී නාසරෙතයේ ජේසුන් වහන්සේ, ජුදෙව්වන් විසින් පිට ආගම් කාරයන් ලෙස සලකන ලද සමරිතාන ස්ත්‍රියකගෙන් පිපාසයට ජලය ඉල්ලූහ. එකල ජුදෙව්වෝ සමරිතානයන් සමග කිසිදු පයිරු පාසානකමක් තබා ගැනීම ප්‍රතික්ෂේප කළහ. ජේසු තරුණයාගේ මේ ක්‍රියා කලාපය එකල නායක  පූජකයන්, නීති වේදීන් වැනි ජුදෙව් වැඩිමහල්ලන් කලබලයටත්, කම්පනයටත් කෝපයටත් පත් කළේය. එහෙත් මෙවැනි පව්කාරයිනට සිය සිත් දොරටු නිර්ලෝභීව හා දයා කරුණා බරව විවෘත කල ජේසුන් වහන්සේ, පරිසිවරුන් හැඳින්වූයේ "සුදු හුණු ගෑ සොහොන් ගෙවල්" ලෙස ය. එසේම, ජෙරුසලමේ දේව මන්දිරයේ සිදුවන වෙළෙඳ ජාවාරම් දුටු මේ මහා කාරුණිකයන් වහන්සේ මහත් කෝපයට පත්වුහ. එය අරක්ගෙන සිටි වෙළෙඳ ජාවාරම් කරුවනට කස පහර දෙමින් එතුමන් වදාළේ "මාගේ පියාණන් ගේ ගෘහය හොර ගුහාවක් කර නොගනිව්" කියා ය.  නීතිය අකුරටම පිළිපැද්ද ජුදා සමාජය ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම් මගින් කලබල කර අස්ථාවර කරනු ලැබිණ. උන්වහන්සේ ගේ දයා කරුණාවේ "රැඩිකල්" ඉගැන්වීම තේරුම් ගන්නට ඔවුනට හැකි වූයේ නැත.

එය අපගේ විෂය කරුණෙහි වැදගත් ම කොටසට අපව රැගෙන එයි.

එනම් ඉහත කී සියලු කරුණු වලට වඩා අපගේ සමාජයේ සිටින බොහෝ දෙනෙකුටත් කතෝලික සභාවටත් ප්‍රැන්සිස් පාප් වහන්සේගෙන් එල්ල වන අතිශය 'අනර්ථකාරීම' තර්ජනය වෙතටයි. එම තර්ජනය නම් "දයා කරුණාව" ගැන එතුමන් තුළ ඇති බලවත් අදහසයි.

ඔව්. දයා කරුනාවයි. එතුමන් නිරන්තරයෙන් කතා කරන දයා කරුනාවයි.

දයා කරුණාව. එය ත්‍රස්තවාදී බෝම්බයකටත් වඩා බොහෝ සෙයින් අන්තරාදායක බෝම්බයකි.

මන්ද දයා කරුණාව අපෙන් ඉලා සිටින්නේ, අපට රිදවූ අයට, ඇතැම් විට දරුණු හා කුරිරු ලෙස අපට රිදවූ අයට සමාව දෙන ලෙසයි. එහි අදහස වන්නේ,  මානව යුක්තිය අනුව, තමන් විසින් කඩා බිඳ දමන ලද දේ ඔවුන් විසින් යලි තිබූ ආකාරයටම ගොඩ නගන ලෙස (එය ප්‍රායෝගිකව ඉටු කල නොහැකි වුවත්) ඉල්ලා සිටිනු වෙනුවට, අප ඔවුනට සමාව  දීමයි.

දයාව සහ සමාව යනු, එකට එක කිරීම, පලිගැනීම පමණක් නොව ප්‍රතිවිපාක දීම යන ක්‍රියා(පද)  වල නියම ප්‍රතිවිරුද්ධ ක්‍රියාව (ක්‍රියා පදය) යි. "විනිශ්චය නොකරන්න" , "අනෙක් කම්මුලත් හරවන්න" සහ "ඔබගේ සතුරාට ප්‍රේම කරන්න" යයි ජේසු සමිඳුන් කීවා සේ, දයාව දැක්වීමට කරන කැඳවීම,  අප තුළ අත්‍යන්තයෙන් ම ඇති යුක්තියේ සහ සාධාරණත්වයේ හැඟීම්වලින් ඔබ්බට අපව කැඳවයි.

අපට හිංසා කළවුන් හෝ නීතිය කැඩූ පුද්ගලයන් ඔවුන් ගේ අවනීතික අයුක්තිසහගත ක්‍රියා වලට වගවිය යුතු බව සත්‍යයකි. එහෙත් ඇත්තවශයෙන් ම දයාවෙන්, සමාවදීමෙන් හා සමගි සන්ධානයෙන් තොරව අපරාධකරුවා හෝ වින්දිතයා හෝ  තුළ සුවපත් වීමක් හෝ ශාන්තියක් ඇති වන්නේ නැත.

අපට පහර දුන් හෝ අප අපහරණයට පත් කළවුනට දයාව දැක්වීමට හෝ සමාව දීමට - ජාතියක් ලෙස, ආයතනයක් ලෙස, කණ්ඩායමක් ලෙස හෝ තනි පුද්ගලයකු ලෙස - අප ප්‍රතික්ෂේප කළහොත් සිදුවන්නේ, අප තුළ ඇති අහංකාරයත් ව්‍යාජ යහපත් බවත් නිසා ඇතිවන මමංකාරය තුල, අපගේ තුවාල වලම එල්ලී සිටීමට අපට සිදුවීමයි.

මෙම වැරැදි සුවපත් කිරීමට ඇති එකම මග ඒවාට යන්නට ඉඩ හැරීමයි.

අපගේ ජීවිත තුළත් ලෝකය පුරාත් වඩා වැඩි දයා කරුණාවක් උදා කරන්නැයි ප්‍රන්සිස්  පාප් වහන්සේ කරන ඉල්ලීම, වැරැදි සැඟවීමට හෝ වසා තැබීමට කෙරෙන  කිසියම් ආකාරයක නොපැහැදිලි හෝ භාවාත්මක උත්සාහයක් නොවේ.
එහෙත් ඊට වඩා එය අභියෝගාත්මක - ඇත්තෙන් ම තර්ජනාත්මක - පණිවිඩයකි. අප දයා කරුණාව වැළඳගෙන, එය අනෙක් යටත් පිරිනමන්නේ නම්, අප කෙලින් සිටුවන ආකාරයේ බලවත් පණිවිඩයකි.

ගැලවීමේ විශ්වීය සක්‍රමේන්තුව වන කතෝලික සභාව දයා කරුණාව සඳහා වූ මෙම කැඳවීම භාරගත යුතු ය.

මෙය පාප් වහන්සේගේ ප්‍රතිභානයයි.

ඔබ සම්ප්‍රදායමතවාදියකු හෝ ප්‍රගතිශිලියකු හෝ මධ්‍යස්ත මතවාදියකු වුවත්, පාප් වහන්සේ ගේ පණිවිඩය ඔබගේ ජීවිතයේ කවර හෝ අංශයකට තර්ජනය නොකරයි නම්, එසේ නම් අවදිවන්න. ඇතැම් විට ඔබ අවධානයෙන් සවන් නොදෙනවා විය හැකිය.

(රෝමයේ ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයේ  දේවධර්මවේද  උපාධිධාරියකු වන රොබට් මිකින්ස්, වසර 10 කට අධික කාලයක් වතිකාන ගුවන් විදුලියේ සේවය කළේය. ඉන් පසුව එංගලන්තයේ ප්‍රකට Tablet සඟරාවේ වාර්තාකරුවකු හා ලේඛකයකු වූ ඔහු දැන්  Global Pulse නමැති ජාත්‍යාන්තර කතෝලික සඟරාවේ ප්‍රධාන කර්තෘ වරයා ය.)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය