"ආගමික - වාර්ගික භේද යුක්ති සහගත කිරීම සඳහා දහම යොදා ගැනීමට ඉඩ නොදෙමු" සුදොතුම් පියතුමා ශ්‍රී ලංකාවේ සර්වාගමික නායක හමුවේ දී කල කතාව (සංවත්සර ආවර්ජනා)

"Religious beliefs must never be abused to justify violence" Holy Father's speech at the Inter religious meeting in Sri Lanka (A look back)




" සාමයේ නාමයෙන්, ආගමික විශ්වාස කිසිවිටෙකත් ප්‍රචණ්ඩකාරී හෝ යුද අරමුණු සඳහා අපහරණය කිරීමට ඉඩ නොදිය යුතුයි. සෑම දහමකම හමුවන  සාමයේ සහ සහජීවනයේ පනත් හෝ ශික්ෂාපද  පුර්ණ වශයෙන් ජීවත් කරන ලෙස අප ඉතා පැහැදිලිවත් සැකයෙන් තොරවත් අපගේ ආගමික ජන කොටස් වලට අභියෝග කල යුතු අතර , ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ වහාම ඒවා පැහැදිලිවම ප්‍රතික්ෂේප කිරීමට ද ඉදිරිපත් විය යුතුය."

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ මීට වසරකට පෙර,2015 ජනවාරි 13 වනදා, සන්ධ්‍යාවේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති සර්වාගමික නායක හමුවේ දී ය.

එදින පෙරවරුවේ තෙදින අපෝස්තලික සංචාරයක් සඳහා දිවයිනට සැපත් වූ උන්වහන්සේ පස්වරුවේ මෙම උත්සවයට එක්වූහ.  බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කිතුනු දහම් නියෝජනය කරමින් පුජ්‍ය -පූජක උතුමන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම හමුවේ දී පාප් වහන්සේ කල කතාවේදී වෙනත් ආගම් හා වෙනත් කිතුනු සභා වෙත කතෝලික සභාව දක්වන ගෞරවයත්,  සමයාන්තර සංවාදය හා අන්තර් කිතුනු සංවාදය ප්‍රවර්ධනය කරන ආකාරයත් පෙන්වා දුන්හ. නුතන ලෝකය තුළ ආගමික අන්තවාදය නිසා හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම හා ආගමික නොසන්සුන්තා  සමථයට පත් කිරීම සඳහා ආගම් හා ආගමික නායකයන් සතු කාර්යහාරය එතුමා අවධාරණය කලේ ය. එය ශ්‍රී ලංකාවේ තත්වයට සම්බන්ධවන ආකාර ද එතුමා පැහැදිලි කලේ ය.

"මගේ පූර්වගාමීන් වූ සවැනි පාවුළු සහ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේලා ගේ අඩිපාරේ යමින් මා ශ්‍රී ලංකාවට පැමිණියේ, කතෝලික සභාව ශ්‍රී ලංකාවට ඇති ඉමහත් ආදරය සහ සැලකිල්ල ප්‍රදර්ශනය කිරීම සඳහා යැ" යි එහිදී සිය කතාව අරඹමින් සුදොතුම් පියතුමා කීවේය. "මෙරට කතෝලික ජනතාව මුණගැසී, ඔවුන් සිය කතෝලික විශ්වාසය තුළ ශක්තිමත් කොට, ඔවුන් සමග යාච්ඥා කර, ඔවුන්ගේ සතුට සහ දුක බෙදා ගැනීම සඳහා මෙරටට පැමිණීමට ලැබීම මා ලැබූ දේව වරප්‍රසාදයකි. එසේම, ප්‍රඥාව, සත්‍යය සහ ශුද්ධවන්තභාවය පිලිබඳ අභිප්‍රාය අප සමග බෙදා ගන්නා ශ්‍රේෂ්ඨ ආගමික සම්ප්‍රදායයන් වලට අයත් ඔබ  සැම  දෙනා මුණගැසීමට ලැබීමත් ඒ හා සමාන වූ දේව වරප්‍රසාදයකි."

හින්දු පූජක තුමා සමග ඉතා ලෙන්ගතු මොහොතක් ගත කරන පාප් වහන්සේ ගේ මෙම සේයාරුව ජාත්‍යන්තර මාධ්‍ය හා වෙබ් අඩවි රැසක් තවමත් සිය ලිපි සමග පළකරයි.  

අන්තර් ආගමික සංවාදය,  කතෝලික සභාව දෙවන වතිකාන කතිකාවෙන් ලද උරුමයක් බව  සුදොතුම්  ප්‍රැන්සිස්  පාප් වහන්සේ මෙම උත්සවයට වැඩම කර සිටි පුජ්‍ය - පූජක උතුමනට පෙන්වා දුන්හ. මේ අනුව "මෙම ශ්‍රේෂ්ඨ ආගම් සතුව පවතින සත්‍යවූ ද ශුද්ධවන්ත වූ ද ඉගැන්වීම් කිසිවක් කතෝලික සභාව ප්‍රතික්ෂේප නොකරන බව " එතුමා පෙන්වා දුන්නේ ය. "එම ධර්මයන් ගේ ජීවන පිළිවෙත හා චර්යාවන් සම්බන්ධයෙන් ද ඒවායේ ශික්ෂාපද හා ඉගැන්වීම් සම්බන්ධයෙන් ද සභාව සතුව පවතින්නේ මහත් ම  ගෞරවයකි. මගේ පාර්ශවයෙන්,  ඔබගේ සම්ප්‍රදායයන් හා විශ්වාසයන් කරෙහි කතෝලික සභාව තුළ ඇති අවංක ගෞරවය  යළි තහවුරු කිරීමට මම කැමැත්තෙමි."

" සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය සෙවීමේ දී ඔබ සමගත් යහපත් හදවත් ඇති සියලු ජනතාව සමගත් සහයෝගයෙන් කටයුතු කිරීමට කතෝලික සබාව කැමැති වන්නේ මේ උතුම් ගෞරවය නිසාය. මෑත කාලය තුළ මේ රටේ ඇති වූ  සමයාන්තර හා සභා අතර සහයෝගීතා ක්‍රියා මාර්ග දිරිමත් වීමටත් ගැඹුරු වීමටත් මගේ පැමිණීම උපකාර වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි."

සමයාන්තර සහ කිතුනු සභා අතර සංවාදය ශ්‍රී ලංකාවට මහත් සේ වැදගත්  වන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. මෙරට ජනතාව දශක කිහිපයක් තිස්සේ දුක් පීඩා විඳිමින් සිටි යුද්ධයෙන් පසු, ජාතික සමගි සන්ධානය සොයා යන මේ මොහොතේ, එහි වැදගත් කම බෙහෙවින් ඉස්මතු වන බව එතුමා පෙන්වා දුන්නේය.

"මෙවැනි අන්තර් සාමයික හා කිතුනු සභා අතර සම්බන්ධතාවල ධනාත්මක වර්ධනයන් ශ්‍රී ලංකාවේ නුතන සන්දර්භය තුළ අතිශයින් ඉහල වැදගත්කමක් දරයි. එසේම එය  කඩිනම් අවශ්‍යතාවක්  බවට ද පත් වී තිබේ. මන්ද දැනටමත් අති දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාව සිවිල් යුද්ධයේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා වල ගොදුරු බවට පත් වී සිටියහ. දැන් අවශ්‍ය වී ඇත්තේ (සිත්) සුවපත් කිරීම හා සමගිය මිස තවදුරටත් ඇදී යන අර්බුද හෝ බෙදීම් හෝ  නොවේ. සහතික වශයෙන් ම, සුවය හා  ජාතික සමගිය ඇති කිරීමේ උදාර කර්තව්‍යය රටේ යහපතත්, සමස්තයක් ලෙස මුළු මහත් මානව පවුලේ යහපතත් සිය හද පත්ලෙන් ම පතන සෑම කෙනෙකුම මත පැවරී ඇති වගකීමකි. මේ රටේ ජීවත් වන කිසිදු කාන්තාවකට හෝ පිරිමියෙකුට හෝ දරුවකුට  සිය සහෝදර රට වැසියන් සමග සමගියෙන් ජීවත් වීම සඳහා තමා ගේ අනන්‍යතාව වෙනස් කිරීම අවශ්‍ය  නොවන බව ප්‍රදර්ශනය කිරීම සඳහා සමයාන්තර හා කිතුනු සභා අතර සංවාදයට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. "

සාමයේ දොරටු ජාතිය වෙනුවෙන් විවෘත කිරීම සඳහා විවිධ මාර්ග ඇති බව සුදොතුම් පියතුමා අන්තර් සාමයික හමුවේ දී පෙන්වා දුන්හ.

"මෙම සේවය ඉටු කිරීම සඳහා විවිධ ආගම් වල අනුගාමිකයන්ට කෙතරම් මාර්ග විවෘත වී තිබෙන්නේ ද! සහෝදරත්වයේ සහයෝගිතාව නමැති ඔසු තෙලෙන් ස්පර්ශ කොට සාත්තු කල යුතු අවශ්‍යතා කෙතරම් සංඛ්‍යාවක් තිබෙන්නේ ද! දුප්පත්, අසරණ, පීඩිත ජනතාව ගේ ද සැනසීමේ හා බලාපොරොත්තුවේ වදනක් ඇසීමට පිපාසයෙන් පෙලෙන ජනතාව ගේ ද අවශ්‍යතා මෙහිදී විශේෂයෙන් ම  සැලකිල්ලට ගත යුතු යයි මම විශ්වාස කරමි. යුද සමයේ ජීවිත අහිමි වූ සිය දයාබර මාපියන්, දූ පුතුන් හා සහෝදර සහෝදරියන් වෙනුවෙන් තවමත් වැලපෙන පවුල් කෙරෙහි මම බොහෝ සෙයින් සිතමි."

රටට සන්ධිස්ථානයක් වූ මේ මොහොතේ යහපත් සිතිවිලි ඇති සියල්ලන් ගේ අරමුණ විය යුතේ කුමක්දැයි පාප් වහන්සේ පැහැදිලි කළහ.

" සියල්ලට වඩා, ඔබගේ ජාතියේ ඉතිහාසයේ වැදහත් මොහොතක් වන මේ අවස්ථාවේ, යහපත් අභිප්‍රායෙන් යුත් කී දෙනෙක් සමස්තයක් ලෙස මුළු මහත් සමාජයේ ම සදාචාරාත්මක පදනම් යළි ගොඩනැගීමේ උත්සාහයක යෙදී සිටින්නේ ද? සියලු ශ්‍රී ලාංකිකයන් ගේ හදවත් වල සමගි සන්ධානයේ ජීව ගුණය ඇති කිරීමත්, සමාජය හා එහි ආයතන නවෝදයට පත් පත් කිරීමත්  තුළ සිය සාර්ථකත්වයේ ප්‍රකාශනය සොයා ගැනීමට විවිධ ආගමික ජනකොටස් අතර වැඩෙමින් ඇති සහයෝගිතාවට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි." යි සුදොතුම් පියතුමා අවසන් වශයෙන්  කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය