"ඉඩ දෙන්නෙ'පා විශ්වාසයේ උරුමය නැතිවෙන්න......."

"Faith is the greatest inheritance"


(2016 ජනවාරි 10)

මේ ඉරිදා (2016 ජනවාරි 10) ලොව පුරා කතෝලිකයන් සැමැරූයේ ජේසු සමිඳුන් ගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයයි.

ඒ නිමිත්තෙන් මේ වසරේත් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ළදරු-ළදැරියන් පිරිසකට ප්‍රසාද ස්නාපනය දානය කරනු ලැබිණි. මෙවර  26 දෙනෙක් - එනම් ළදරුවන් 13ක් සහ ළදැරියන් 13 දෙනෙක්- පාප් වහන්සේ අතින් ප්‍රසාද ස්නාපන දේව ප්‍රසාද නිධානය ලදහ. මේ නවක කිතුනුවන්ගේ දෙමාපියන්, ඥාන මව්පියන් හා ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක් වූ ප්‍රසාද ස්නාපන මෙහෙය පවත්වන ලද්දේ මයිකලාන්ජෙලෝ ගේ මනස්කාන්ත බිතුසිතුවම් වලින් අලංකාර වූ සිස්ටයින් දෙව්මැදුර තුළ ය.

ප්‍රසාද ස්නාපන දිව්‍ය පුජාවේ දේශනය පවත්වමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ කිතුනු මවකට හා පියෙකුට තම දූ දරුවනට දානය කල හැකි අමිල වූ හා අති විශිෂ්ට වූ උරුමය ඇදැහිල්ල බවයි.

"තම දරුවන් ප්‍රසාද ස්නාපනය කිරීම සඳහා දෙව්මැදුරට  ගෙන එන දෙමාපියන් කරන්නේ මරිය තුමිය හා ජුසේ තුමන් අනුගමනය කිරීමයි" එතුමා පැහැදිලි කළේය. " ජේසු බිලිඳුන් ඉපදී දින 40කින් මරිය තුමිය හා ජුසේතුමා එතුමන් දෙවියන් වහන්සේට ඔප්පු කිරීම සඳහා දේව මාලිගාවට ගෙනාවා."

මෙලෙස දෙමාපියන් ප්‍රසාද ස්නාපනය මගින් තම තම දූ පුතුනට භාර කරන ස්වකීය ඇදැහිල්ල පරපුරෙන් පරපුරට ගලා යන ආකාරය පාප් වහන්සේ විස්තර කළහ.

"විශ්වාසය පරපුරෙන් පරපුරට ගලා යන්නේ මේ අන්දමටයි: හරියට නොකැඩෙන දම්වැලක පුරුක් වගෙයි. ඔබ ප්‍රසාද ස්නාපනය ලබා දෙන මේ දරුවන් වැඩිහිටියන් බවට පත්ව පවුල් වී දරුවන් ලබනවා. ඔවුන් ද සිය දරුවන් දෙව්මැදුරට ගෙන ගොස් ඔබ ඉල්ලූ දේ ම සභාවෙන් ඉලා සිටිනවා. එනම් විශ්වාසයයි. ප්‍රසාද ස්නාපනයේ දී ලබා දෙන විශ්වාසයයි. අද මේ ඔබගේ දරු දැරියන් ගේ හදවත් තුළට, ආත්මවලට හා ජීවිතවලට ශුද්ධාත්මයානන් වහන්සේ කැඳවාගෙන එන විශ්වාසයයි."

එබැවින් විශ්වාසය හෙවත් ඇදැහිල්ල තම දරුවනට ලබා දිය හැකි මිල කල නොහැකි දායාදය හා උරුමය බව නිතර සිහි කරන්නැයි  පාප් වහන්සේ මව් වරුන් හා පියවරුන් ගෙන් ඉල්ලා සිටියහ.

"ඔබ විසින් ඔබගේ දරුවනට දිය හැකි විශිෂ්ටතම උරුමය, ඇදැහිල්ල බව කිසි විටෙකත් අමතක නොකරන්න. මේ වටිනා උරුමය, එනම් විශ්වාසය , නැතිවීමට හෝ අහිමි වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන්න. එය පෝෂණය කොට, ඔවුන් ගේ ජීවිත කාලය පුරා  වර්ධනය කරන්නට මහන්සි ගන්න"



.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය