පාප් වහන්සේ "ගවලෙනේ තිඹිරි ගෙදරට" හදිසි චාරිකාවක

Holy Father makes a surprise visit to birthplace of the Crib

පාප් වහන්සේ පළමු ගවලෙන් දර්ශනය ඉදිරියේ යාච්ඥා කරයි.

(2016 ජනවාරි 04)
නත්තලට සෑම  කතෝලික ගෙදරකම පාහේ පුංචියට හෝ ඉදිවන ගවලෙන (Crib) නත්තල හා බැඳුනු ප්‍රධාන සාම්ප්‍රදායික අංගයකි. එහෙත් ක්‍රි.ව. 5 වැනි ශත වර්ෂය දක්වා ගවලෙනක් තිබුනේ නැත. අද අප දකින ගවලෙන නත්තල් සම්ප්‍රදායක් ලෙස බිහි කලේ සාමයේ, පරිසරයේ හා දුප්පතුන් ගේ සාන්තුවරයා වන ශු.අසීසියේ ප්‍රැන්සිස් මුනි තුමන් විසිනි.

ඒ කුඩා ප්‍රවිෂ්ටය ලීවේ පාප් වහන්සේ අද (2016 ජනවාරි 4 සඳුදා ) කාටත් රහසින් ගිය ගමනක් ගැන කියන්නට ය.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලියේ ග්‍රෙච්චියෝ නම් කුඩා කඳුකර නගරයේ  අද හදිසියේ සංචාරයක නිරත වූහ. ග්‍රෙච්චියෝව  නත්තල් ගවලෙනේ තිඹිරි ගෙයයි, නොහොත් ගවලෙන උපන් ස්ථානයයි. එහිදී එතුමා සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමන් ප්‍රථම සජීවී ගවලෙන සෑදූ "ගවලෙන්  සිද්ධස්ථානය " (Sanctuary of the manger scene, ලතින් බසින් “Santuario del presepe”) බැහැදකින්නට ගියේය. සුදොතුම් පියතුමා සිද්ධස්ථානය භාරකාර ප්‍රන්සිස්කාන නිකායේ සහෝදර තුමන්ලා සමගමඳ වෙලාවක් කතා කරමින් සිටියේය. පසුව සිද්ධස්ථානය  තුළට ගිය එතුමා පෞද්ගලික යාච්ඥාවේ නිරත විය. එහි පුදසුන අසල එක් පසෙකින් ග්‍රෙච්චියෝවේ ගවලෙනේ බිතු සිතුවමක් ද අනෙක් පසින් ග්‍රෙච්චියෝවේ ජේසු උපත ද නිර්මාණය කර තිබේ. එතුමා ගේ මෙම සංචාරයේ අරමුණ "පෞද්ගලික යාච්ඥාව" බව ඉතාලියේ අවෙනියෙර් ප්‍රවෘත්ති සේවය උපුටා දක්වන කතෝලික ප්‍රවෘත්ති ඒජන්සිය කියයි.

ගවලෙනේ  තිඹිරි ගෙය:ග්‍රෙච්චියෝවේ ප්‍රන්සිස්කාන  තාපසාරාමය 

ග්‍රෙච්චියෝ නගරයේ දී පාප් වහන්සේ පිළිගන්නා ලද්දේ එම නගරය ඇතුළත් රියේටි පදවියේ රදගුරු ඩොමෙනිකෝ පොම්පිලි හිමිපාණන් විසිනි. පාප් වහන්සේ ගේ මෙම සංචාරය ගැන දන්වා තිබුනේ එම රදගුරු තුමන්ට පමණි.

සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා 1223 දෙසැම්බර් 25 වැනිදා මුල්ම ජීවමාන නත්තල් ගවලෙන සෑදුවේ මෙම ප්‍රැන්සිස්කාන තාපසාරාමයේ පුදසුන ඇතුළත් ශුද්ධ ප්‍රදේශය තුළ ය. එතුමා ගේ පළමු ගවලෙනට යොදා ගන්නා ලද්දේ ප්‍රතිමා නොව කාන්තාවන් සහ පිරිමින් සහ ළමයින් ය. මිනිසා ගේ ගැලවීම සඳහා දෙවියන් වහන්සේ දුප්පතකු වන තරම් පහත් වී මෙලොවට ජනිත වීම ජනතාවට දැනෙන ලෙස ප්‍රදර්ශනය කිරීම එතුමා ගේ අරමුණ විය. 1223 වසර ප්‍රන්සිස් කාන නිකායට ද වැදගත් එකක් විය. එනම්, ප්‍රන්සිකාන නිකායට අනුමැතිය දීමේ නියෝගය 3 වන හොනෝරියස් පාප් වහන්සේ විසින් නිල වශයෙන් අනුමත කරනු ලැබුවේ  ද එම වසරේදී වීමයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය