"මා වෙනුවෙන් යාච්ඥා කරන්න" ඉරාන ජනපති පාප් වහන්සේගෙන් ඉල්ලයි

"Pray for me"- Rouhani tells the Holy Father


(2016 ජනවාරි 27)
ඉරාන ජනාධිපති හසන් රුහානි අඟහරුවාදා වතිකානයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසුනේ ය.

ඉරාන ජනාධිපතිවරයා වතිකානයට පැමිණියේ යුරෝපයේ නිල සංචාරයක යෙදෙන අතරයි. මුලින්ම ඉතාලියට පැමිණි ඔහු එරට ජනාධිපති අගමැති ඇතුළු නායකයන් සමග සාකච්ඡා පැවැත්වීය. මීළඟට ඔහු ප්‍රංශයට යාමට නියමිතයි. ඉරාන නායකයා මෙම යුරෝපා සංචාරයේ යෙදෙන්නේ එරට විසින් න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල අත්හැර දැමීමට ප්‍රතිචාර වශයෙන් යුරෝපයෙන් ලැබෙන සංවර්ධන හා වෙළෙඳ ආධාර ලබා ගැනීමේ අරමුණෙනි. මෙම සංචාරයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 20කට ආසන්න ආධාර ප්‍රමාණයක් ලබා ගැනීමට ඉරානය අපේක්ෂා කරයි. න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා යුරෝපය හා ඇමෙරිකාව විසින් පනවන ලද ආර්ථික සම්බාධක නිසා ඉරානයේ ආර්ථිකය බොහෝ සෙයින් බිඳ වැටී තිබිණ. ඉරාන නායකයාගේ මෙම මෙම නිල සංචාරය ඉතාලියෙන් ඇරඹීම තුළ වැදගත් වෙළෙඳ අරමුණක් ඇති අතර පාප් වහන්සේ මුණගැසීම  ඉහල රාජ්‍යතාන්ත්‍රික වැදගත්කමක් දරන්නේ ය යන්න විශ්ලේෂකයන්ගේ මතයයි.

ජනවාරි 26 වැනිදා ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජනාධිපති හසන් රුහාණි අතර මෙම සාකච්ඡා පැවැත් වුණේ වතිකානයේ අපෝස්තලික මාලිගාවේ දී ය. රුහාණි  මහතා පාර්සි (පර්සියානු) බසින් කතාකල අතර පාප් වහන්සේ කතා කලේ ඉතාලි බසෙනි. භාෂා පරිවර්තකයෝ දෙදෙනෙක් ඔවුන් ගේ සන්නිවේදනයට සහාය වූහ. පාප් වහන්සේ හා රුහාණි විනාඩි 40ක් පමණ සාකච්ඡා කල අතර ඉන් පසුව ඉරාන නායකයා වතිකාන රාජ්‍ය ලේකම් (අගමැති) පියෙත්‍රෝ අති උතුම් පැරෝලිනි කාදිනල් හිමිපාණන් මුණගැසී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.

නායක දෙපොල අතර සාකච්ඡා සුහද සහ මිත්‍රශීලි මට්ටමින් පැවැති බව වතිකානය විසින් නිකුත් කෙරුණු ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වෙයි එම නිවේදනය කියන්නේ, මෙම අදහස් හුවමාරුවේ දී, ඉරානය සහ ශුද්ධාසනය (වතිකානය) අතර සම්බන්ධතා, ඉරානය තුළ සභාවේ සහ කතෝලිකයන් ගේ ජීවිතය  සහ මානව ගරුත්වය හා ආගමික නිදහස ප්‍රවර්ධනය කිරීමෙහි ලා ශුද්ධාසනය ගන්නා ක්‍රියාමාර්ග යන කරුණු කෙරෙහි අවධානය යොමු වූ බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කෙරෙමින් පසුගිය වසරේ අත්සන් තැබුණු ජාත්‍යන්තර සම්මුතිය ගැන ද අදහස් හුවමාරු විය. සිරියාව හා ඉරාකයේ තත්වය  සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ බව වතිකාන නිවේදනයේ රිජුව සඳහන් නොවන නමුත් මැදපෙරදිග යුද  ගිණි, ආගමික නිදහස හා ආයුධා ජාවාවාරම ගැන සාකච්ඡා වූ බව නිවේදනය පවසයි:

"මැදපෙරදිග වේදනාවටත් පීඩාවටත් පත්කර ඇති අර්බුද වලට ප්‍රමාණවත් දේශපාලන විසඳුම් ප්‍රවර්ධනය කිරීමෙහිලා කලාපයේ වෙනත්  ජාතීන් සමග ඉරානය ඉටු කල යුතු වැදගත් කාර්යභාරය ගැන මෙහිදී අවධානය යොමු කෙරිණි. එසේම ත්‍රස්තවාදය පැතිරයාම වැලැක්වීම සහ ආයුධ ප්‍රවාහන ජාවාරම වලක්වීමෙහි ලා ඉරානයේ තීරණාත්මක භූමිකාව ගැන ද අදහස් හුවමාරු කර ගැනිණි. මෙම කාරණා  සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සමයාන්තර සංවාදයෙහි ඇති ඉහල වැදගත් කම ද, සමගි සන්ධානය, උත්ප්‍රේක්ශාව (රිස්සුම) සහ සාමය ප්‍රවර්ධනය කිරීමෙහි ලා ආගමික සංවිධාන දරන වගකීම ගැන ද සාකච්ඡා විය,"

මානව අයිතිවාසිකම් සහ ඉරානයේ වෙසෙන ඉතා කුඩා කතෝලික ජනගහනය ගැන ද මෙහි දී සාකච්ඡා වී තිබේ. ඉරානයේ කිතුනු ඉතිහාසය කිතු දහමේ ප්‍රථම සියවස් දක්වා ඈතට විහිද යයි. ඉරානයේ පුර්ණ ආගමික නිදහසක් නොමැති අතර ආගම් ඇදහීමට දැඩි තහංචි පැනවී තිබේ. ඉස්ලාම් ධර්මයෙන් වෙනත් ආගම් වෙතට හැරෙන්නන්ට මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් පනවනු ලැබේ.


නායක දෙපල අතර පෞද්ගලික හමුවෙන් පසුව දෙදෙනා අතර තිලිණ හුවමාරු කර ගැනිණ. පාප් වහන්සේ ඉරාන ජනාධිපතිවරයා සමග පැමිණි 12 දෙනෙකුගෙන් සමන්විත රාජ්‍ය නියෝජිත කණ්ඩායම සමග ද සුහදව කතා කළේය.

ජනාධිපති හසන් රුහාණි මහතා සමුගැනීමට සුදානම් වූ මොහොතේ පාප් වහන්සේ ඔහුට කියා සිටියේ "සාමය සඳහා කැපවී කටයුතු කරන" ලෙසයි ඊට පිළිතුරු දුන් රුහානි මහතා, "සුදොතුම් පියාණනි, මා වෙනුවෙන් යාච්ඥා කරන්න" යයි පාප් වහන්සේගෙන් ඉල්ලා සිටියේය.


මීට කලින් පාප් වහන්සේ නමක් හමුවූ අවසන් ඉරාන නායකයා ජනාධිපති මොහමඩ් ඛටාමි ය. 1999 දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ වතිකානයේ දී හමු වූ ඔහු 2005 දී එතුමන් ගේ අවමංගල උත්සවයට ද සහභාගී විය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය