"චාලි හෙබ්ඩෝ" මුල් පිටුව සියලු ආගමික විශ්වාසයන්ට අපහාසයක්. - වතිකාන පුවත්පත කියයි

Charlie Hebdo cover an insult to all faiths - Says  Vatican newspaper  




(2016 ජනවාරි 07)
ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ පුවත්පතට එල්ලවූ ප්‍රහාරයේ ප්‍රථම සංවත්සර කලාපයේ කවරයට යොදා ඇති කාටූනය වතිකාන පුවත් පතේ විවේචනයට ලක් වෙයි. මෙම කවරයේ විකට රුපයෙන් දෙවියන් වහන්සේ සන්නද්ධ ත්‍රස්තවාදියකු ලෙස චිත්‍රණය කර තිබේ.

මීට වසරකට පෙර, 2015 ජනවාරි 7 වැනිදා ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ පුවත් පතේ ප්‍රධාන කාර්යාලයට කඩා වැදුණු මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් එහි සිටි මාධ්‍ය කරුවනට හා වෙනත් සේවකයනට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 12 දෙනෙක් මිය ගියහ. පුවත්පතට මෙම ප්‍රහාරය එල්ල වීමට හේතුව වී තිබුනේ මහම්මත් නබී නායක තුමාට අපහාස වන අන්දමේ විකට චිත්‍රයක් එහි කවරයේ පලවී තිබීමයි. ඊට පලිගැනීම සඳහා එම ප්‍රහාරය එල්ල විය.

එම සිද්ධියට වසරක් පිරෙන අද දින චාලි හෙබ්ඩෝ පුවත් පතේ කවරය සරසා තිබුනේ ක්‍රිස්තියානි සිතුවම් කලාවේ එන දෙවියන් වහන්සේගේ රුව යොදා ගත්  විකට චිත්‍රයකි. ලේ වලින් නැහැවුණු ත්‍රස්තවාදියකු ලෙස චිත්‍රණය වන මෙම තැනැත්තා සිය පිටේ තුවක්කුවක් ද බැඳගෙන පලා යමින් සිටියි. රූපයට  යටින් කවරයේ සිරස්තලය මෙසේ යොදා තිබේ: “L’assasin court toujours.” එහි සමීප අරුත "සාහසිකයා තවමත් අත්අඩංගුවට ගෙන නැත" යන්නයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් පල කරන වතිකානයේ "ල ඔසවතොරේ රොමානෝ" පුවත් පත එය හඳුන්වා ඇත්තේ ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙසයි. "ප්‍රංශයට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ මෙම මතභේදය ද?" යි පුවත් පත විමසයි.

ප්‍රංශයට ඉකුත් වසරේ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් එල්ල විය. ඉන් බරපතල ම ප්‍රහාරය වූයේ පුද්ගලයන් 129 දෙනෙකු මරණයට පත්කරමින් නොවැම්බර 13 වැනිදා පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවයි.

උපහාසාත්මක පුවත්පත් කලාවක නිරත වන චාලි හෙබ්ඩෝ පත්‍රයේ මෙම කවරය "කිසිසේත් අලුත් දෙයක් නොවන බව" වතිකාන පුවත් පත කියයි.

 'දැඩි ලෝකායත්තවාදය' යන සිය පාඨයට මුවා වී ඇති හෙබ්ඩෝ පුවත් පත එක් වැදගත් කරුණක්  අමතක කරන බව  ඔසවතොරේ රොමානෝ පුවත් පත පෙන්වා දෙයි. "එනම්,  'සැබෑ දේව අපහාසය වන්නේ, වෛරය යුක්ති සහගත කිරීම සඳහා දෙවියන් වහන්සේ යොදා ගැනීම' යැයි ආගමික නායකයන් කාලයක් තිස්සේ අවධාරණය කර ඇති බවයි. මෙම චිත්‍රය පල කිරීමට හෙබ්ඩෝ පුවත් පත ගත් තීරණයෙන් ප්‍රදර්ශනය වන්නේ එම පුවත් පත තුළම පවතින විරෝධාභාසයයි (Paradox ). හාස්‍යයට නැඹුරු වෙමින් තමන් ලෝකයෙන් ඉල්ලා සිටින දේශපාලන නිරවද්‍යභාවය පිලිබඳ ඉල්ලීම හා ,  කවර ආගමක් ඇදහුවද, ලෝකයේ  සෑම ආගම් අදහන්නකු තුළම  දෙවිඳුන් කෙරෙහි ඇති විශ්වාසය පිළිගැනීමට හෝ ඊට ගරු කිරීමට හෝ  ඇති අකැමැත්ත  එම විරෝධාභාසයයි."

මේ අතර, චාලි හෙබ්ඩෝ  පුවත්පත  මෙම විකට චිත්‍රය තෝරා ගැනීම "කනගාටුදායක සේ ම පදනම් විරහිත ක්‍රියාවක් බව රදගුරු සිනොඩ් සමුළුවේ මහා ලේකම් බෘනෝ ෆෝටේ අගරදගුරු තුමා කියා සිටියේ ය. "එය කිතුනුවන් ගේ , ජුදෙව්වන් ගේ හෝ මුස්ලිම්වරුන් ගේ පමණක් නොව සියලු ජනතාවගේ සිත් රිදවයි. අමනාපය ඇති කරවයි. එපමණක් නොව, තමන් ආගමක් විශ්වාස නොකලත්, ආගමක් ඇදහීමේ නිදහසට හා ජීවිත මානයන්ට ගරු  කිරීම කෙතරම් වැදගත් දැයි සිතන අයට ද මෙයින් සිත රිදවීමක් ඇති වේ. පුවත් පත  මෙම චිත්‍රයෙන් ඉදිරිපත් කරන වක්‍රෝක්තිය ද සත්‍යයෙන් බොහෝ දුරස්ථය. මන්ද ක්‍රිස්තු ධර්මය පමණක් නොව ජුදෙව් සහ මුස්ලිම් ධර්මයන් පවා දෙවියන් වහන්සේ ගේ නාමයෙන් අවිහිංසාවාදය දේශනා කරයි"

චාලි හෙබ්ඩෝ  පුවත්පත උපහාසාත්මක හා ප්‍රකෝපකාරී මුල්පිටුවේ චිත්‍රවලට  ප්‍රසිද්ධියක් දරයි. එහි ඉතිහාසය තුළ මහම්මත් නබී නායක තුමා යොදා ගනිමින් එවැනි කාටුන් රැසක් පල කර තිබිණ.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකා සංචාරය නිමවා පිලිපීනය බලා යද්දී ගුවනේ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැගීය. හෙබ්ඩෝ පුවත්පත ආගමික ශාස්තෘවරුන්  උපහාසාත්මක චිත්‍රවලට යොදා ගැනීම හා එම පුවත්පත් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ඔහුගේ ප්‍රශ්නයට කේන්ද්‍ර විය. ඊට පිළිතුරු වශයෙන් පාප් වහන්සේ කියා සිටියේ "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් කෙරෙන මනුෂ්‍ය ඝාතන නොපිළිගතහැකි" බවයි. එසේම ආගමික විශ්වාසයන්ට අපහාස කිරීම ද නොපිළිගතහැකි බව එතුමා අවධාරණය කළේය.

"ඔබට ප්‍රකෝප කල නොහැකියි. ඔබට සෙසු අයගේ විශ්වාසයට අපහාස කල නොහැකියි; වෙනත් විශ්වාසයක් විහිලුවට ලක් කල නොහැකියි. එසේම කිසිවෙකුටත් දෙවියන් වහන්සේ ගේ නාමයෙන් මනුෂ්‍යයන් ඝාතනය කල නොහැකියි. එය මුලාවක්, වරදක්. දෙවිඳුන් ගේ නාමයෙන් ඝාතනය කිරීම දෙවියන් වහන්සේට එරෙහි වරදක්. ආගමික නිදහස ගැන කතා කිරීමේ දී මෙය අතිශයින් වැදගත් කරුණක්. යමෙකුට නිදහසේ ආගම ඇදහිය හැකියි. එහෙත් වෙනත් කිසිවකු මත ආගම බලහත්කාරයෙන් පැවරීමට හෝ  ඒ වෙනුවෙන් ඝාතනය කිරීමට හෝ කිසිවෙකුටත් බැහැ" යයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය