"කිතුනු අප අතර විෂමතාවලට වඩා බෞතීස්මය බලවත්" - කිතුනු සභා අතර සංවාදය

"For Christians Baptism is stringer than differences"  



(2016 ජනවාරි 20)

"කිතුනු සභා සහ නිකායන් අතර පවතින භේද අපචාරයක්. අවාදර්ශයක්" යැයි මීට කලින් කිහිපවතාවක් පවසා ඇති සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ සතියේ පොදු හමුවේ දී මෙම වැදගත් මාතෘකාවට යළිත් පැමිණියහ. එනම්, කිතුනුවන් අතර එකමුතුවයි. "කිතුනුවන්ට තමන් අතර ඇති පොදු බෞතීස්මය තමන් අතර ඇති වෙනස්කම් වලට වඩා බලවත්" යන්න මෙවර එතුමන් ඒ පිළිබඳව කතා කල තේමාවයි.

කිතුනුවන්  තර එකමුතුව ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෙහෙවරේ ඉහලම ප්‍රමුඛත්වය ගත්  මාතෘකාවකි. එතුමන් අවධාරණය කරන එක් කරුණක් තිබේ. එනම් කිතුනුවන් අතර සමගිය ගොඩ නැගීමට විවධ කිතු සභා අතර ඇති ධාර්මික හෝ පුද පිළිවෙත් වල විෂමතා සමහන් වන තෙක් සිටීම අවශ්‍ය නොවන බවයි. දැනට පොදුවේ සියල්ලන් එකඟ වන විෂයයන් තුල එකමුතු වී සෙසු කරුණු ගැන ඊළඟට සාකච්ඡා කල හැකිය යන්න එතුමා ගේ මතයයි. එතුමන් බොහෝ අන්තර් කිතුනු සමගි මෙහෙයයන් හා හමුවීම් වලට සහභාගී වන්නේ ඒ ස්ථාවරයේ සිටයි 

පාප් වහන්සේ මෙලෙස කිතුනු සභා අතර සමගිය යලිත් මාතෘකා කර ගත්තේ මේ සතියේ බදාදා (ජනවාරි 20) එතුමන් ගේ සතිපතා පොදු හමුවේ දී ය. 

"අප සැබවින්ම දෙවියන් වහන්සේ ගේ ශුද්ධ වූ ජනතාව ය. එහෙත් කනගාටුදායක ලෙස අපගේ පව් නිසා, අප තවමත් සම්පුර්ණයෙන් එකමුතු වූ ජනතාවක් වී නැත. අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් තිබේ. එනම්, ප්‍රසාද ස්නාපනය තුළ ක්‍රියාත්මක වන දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව අප අතර ඇති විෂමතා වලට වඩා බලවත් යන කරුණයි "යැයි පොදු හමුව සඳහා වතිකානයේ සවැනි පාවුළු ශාලාවට රැස්ව සිටි වන්දනාකරුවන් අමතමින් සුදොතුම් පියතුමා පැවසී ය.

මෙවර පොදු හමුව යෙදී තිබුනේ ලොව පුරා කිතුනුවන් ජගත් කිතුනු එකමුතුව සඳහා යාච්ඥා කරන පොදු යැදුම් සතිය (ජනවාරි 18-25) තුළ ය. ක්‍රිස්තියානි එකමුතුව පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාව සහ ලෝක කිතුනු සභා මණ්ඩලයේ විශ්වාසය හා නිකායයන් පිලිබඳ කොමිසම ද එකාබද්ධව මෙම සතිය සංවිධාන කරයි.  මේ වසරේ යැදුම් සතියේ තේමාව " සමිඳුන් ගේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කිරීමට කැඳවීම් ලැබ සිටිමු" යන්නයි. එය උපුටා ගෙන ඇත්තේ පේදුරු තුමා ගේ ප්‍රථම හසුනෙනි. මෙම තේමාව තෝරා ගනු ලැබූයේ කතෝලික, ප්‍රොතෙස්තන්ත සහ ඕතඩොක්ස් කිතුනුවන් ප්‍රබලව වෙසෙන ලැට්වියාවේ කිතුනු කණ්ඩායමක් විසිනි.

සිය පොදු හමුවේ දී මෙම පසුබිම වන්දනාකරුවනට පෙන්වා දුන් සුදොතුම් පියතුමා කියා සිටියේ ඉතා ඈත අතීතයට දිව යන ප්‍රසාද ස්නාපන දිය තටාකයක් ලැට්වියාවේ ඇති බවයි. එරට රිගා නුවර ලුතෙරන් සභා ආසන දෙව් මැදුරේ ඇති ක්‍රි. ව. 12 වන සියවසට අයත් මෙම බෞතීස්ම තටාකය ශාන්ත මයිනාර්ඩෝ මුනිඳුන් ධර්මදානය සඳහා යොදා ගත් තටාකය බව එතුමා සහිපත් කළේය.

"මේ තටාකය ලැට්වියාවේ  සියලු කිතුනුවන් විසින් පිළිගන්නා ලද ඇදහිල්ලේ උල්පතෙහි සංකේතයකි. මෙම  උල්පත නම් අපගේ පොදු ප්‍රසාද ස්නාපනයයි" සුදොතුම් පියතුමා කීවේය.දෙවන වතිකාන කතිකාවේ “Unitatis redintegratio”නමැති ලේඛනය උපුටා දැක්වූ එතුමා කියා සිටියේ ප්‍රසාද ස්නාපනය තුළින් යලි ඉපදුනු සියලු ජනතාව අතර එම සක්‍රමේන්තුව විසින් දේව ප්‍රසාද නිධානීය බන්ධනයක් ඇති කරන බවයි.  "තමන් එකම ප්‍රසාද ස්නාපනයේ කොටස් කරුවන් බව කතෝලික, ප්‍රොතෙස්තන්ත, ඕතඩොක්ස් ඇතුළු සියලු කිතුනුවන් පවසන විට අයින් අදහස් වන්නේ  ඒ සියලු දෙනා සමාව නොදෙනසුළු අන්ධකාරයේ  හා පිටස්තර වීමේ සිට මහා කුළුණුබර ජීවමාන දෙවියන් වහන්සේ හමුවීමට කැඳවනු ලැබීමේ අත්දැකීම බෙදා ගනිමින් සිටිබ බවයි.  එසේ ම මෙම පොදු ප්‍රසාද ස්නාපනය යනුවෙන් අදහස් වන්නේ අප සියල්ලන් පව්කාරයන් බව හා අප සියලු දෙනා නපුරෙන් ගලවාගනු ලැබීමට, විමුක්තිය ලැබීමට හා නිදහස ලැබීමට අවශ්‍ය බවයි"

කිතුනුවන්ට ඇත්තේ එකම මූලයන් වුවද ඔවුන් තුළ අහංකාර මමත්වයක් ඇතැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ. " අපේ හදවත්වල භේදයේ බීජ වපුරන්නේත්  හදවත් වසා දමා අවඥාවෙන් ඒවා පුරවන්නේත් එම මමංකාරයයි. අපගේ ප්‍රසාද ස්නාපනයෙන් යලි ආරම්භ කිරීම මගින් කිතුනුවන් යලිත් කරන්නේ දයා කරුණාවේ සහ බලාපොරොත්තුවේ උල්පත තුළ ගිලීමයි. උන්වන්සේ ගේ එම දයා කරුණාවෙන් කිසිවෙකුත් බැහැර කරනු ලබන්නේ නැත."

පොදු දේව වරප්‍රසාදයේ මෙම අත්දැකීම, කිතුනු අප  අතර ස්ථිර බන්ධනයක් ඇති කරයි. මෙය කෙතරම් ප්‍රබල ද කියන්නේ නම්, අපට අපව එකිනෙකා ගේ සහෝදරයන් ලෙස සැලකිය හැකිය. අප මේ වරප්‍රසාදය හා දයා කරුණාව ආදරයෙන් පිළිගන්නා  තරමට අපි දෙවියන් වහන්සේ ගේ ශුද්ධ වූ ජනතාවට වැඩ වඩා අයිති වන්නෙමු."

පාප් වහන්සේ කියා සිටියේ කිතුනුවන් අතර මෙම එකමුතුකම එක්  පොදු මෙහෙවරකින් ආරම්භ කල හැකි බවයි. එනම් සියලු කිතුනුවනට පොදු ශාරීරික හා ආත්මික පුණ්‍ය ක්‍රියා වල නිරත වීමයි. එය අපගේ එකමුතුකමට සාක්ෂි දැරීමක් ද වේ,

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය