"යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා 'ආගම' යන වචනයට පටහැනියි" - පාප් වහන්සේ සිනගෝගයේදී කියති

“The violence of man toward man is in contradiction with every religion worthy of this name" - Pope at the Roman Synagogue



 (2016 ජනවාරි 17)
යුද්ධය, ප්‍රචණ්ඩ ක්‍රියා සහ අයුක්තියට එරෙහිව ක්‍රියා කිරීමට එක්සත් වන්නැයි ශුධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ජුදෙව්වන්ගෙන් හා කිතුන්වන්ගෙන් ඉල්ලා සිටිති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ යුද්ධය හා  අයුක්තිය මානව වර්ගයා තුළ ගැඹුරු තුවාල ඇති කරණ බැවින් ඒවා පිටුදැකීමට සියල්ලන් එක්සත් විය යුතු බවයි.

"මේවා අපට අභියෝග කර සිටින්නේ සාමය හා යුක්තිය කෙරෙහි අපගේ කැපවීම ශක්තිමත් කරන ලෙසටයි. මිනිසාට එරහිව මිනිසා සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා  'ආගමක්' යන වචනයට සුදුසුකම් ඇති සෑම ආගමකටම පටහැනි ය. විශේෂයෙන්ම, ඒවා ශ්‍රේෂ්ඨ ඒකදේවවාදී ආගම් වලට පටහැනියැ" යි එතුමා අවධාරණය කළේය. "අතීතය අපට වර්තමානයටත් අනාගතයටත් පාඩමක් විය යුතු" යැයි දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවූ මහා ජුදෙව් සමූල ඝාතනය (Holocaust) සිහිපත් කරමින් එතුමා සඳහන් කලේ ය.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියාසිටියේ 2016 ජනවාරි 17 වන ඉරිදා රෝමයේ ප්‍රධාන සිනගෝගයට (ජුදෙව් දහමේ පුජනීය ස්ථානය වන ධර්ම ශාලාව) ගිය අවස්ථාවේ දී ය. පාප් වහන්සේ රෝමයේ ප්‍රධාන සිනගෝගයට පැමිණියේ සමයාන්තර සංවාද අවස්ථාවකට සහභාගී වීම සඳහා ය. මීට කලින් ජුදෙව්- කිතුනු ආගමික සංවාදයට ප්‍රබල මෙහෙවරක් කළ සු. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ද, සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ද මෙම සිනගෝගයට පැමිණ තිබේ.

ජුදෙව්-කිතුනු 'සහෝදරත්වය' 

ආජන්ටිනාවේ දී තමා ජුදෙව් ජනතාව සමග පැවැති සමීප සම්බන්ධතාව සුදොතුම් පියතුමා මෙහිදී සිහිපත් කළේය. නිතර සමීපබව ආධ්‍යාත්මික සම්බන්ධතාවක් ඇති කල බව එතුමා කීවේය. එම ආධ්‍යාත්මික සම්බන්ධතාව විසින් අව්‍යාජ මිත්‍රත්වයේ සන්ධානයක් ගොඩනගන ලද අතර ඒ මගින් පොදු කැපවීම ප්‍රාණවත් වූ බව එතුමා සඳහන් කලේ ය.

"අන්තර් ආගමික සංවාදයේ දී අප මුණගැසිය යුත්තේ, අපගේ මැවුම්කරුවා ඉදිරිපිට ,සහෝදර සහෝදරියන් ලෙසය. එසේ හමුවීමේ දී අප උන්වහසේට ප්‍රශංසා කල යුතුයි; අප එකිනෙකාට ගෞරව කර අගය කළ  යුතුයි; ශයෝගොතාවයෙන් යුතුව ක්‍රියා කල යුතුයි. "

අන්තර් ආගමික සංවාදයේ දී ජුදෙව්-කිතුනු සම්බන්ධතා විශේෂ වැදගත්කමක් දරන බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. ඊට හේතුව ක්‍රිස්තු ධර්මයේ මුල් ජුදෙව් දහම තුළ පිහිටා තිබීමයි. එබැවින් ජුදෙව්වන් හා කිතුනුවන් තම තමන් සැලකිය යුත්තේ ස්වකීය දෙවියන් වහන්සේ සහ පිරිපුන් පොදු ආධ්‍යාත්මික පිතෘත්වයක් තුළ එක්සත් වූ සහෝදරයන් ලෙසයි. ඔවුන් සිය සම්බන්ධතාව ගොඩනගා අනාගත ගොඩනැගීම් ද කල යුත්තේ ඒ මතයි. දෙවන ජුවාම් පාප් වගන්සේ ජුදෙව්වන් හැඳින්වූයේ "කිතුනුවන් ගේ වැඩිමහල් සහෝදරයන් " ලෙස බව එතුමා සිහිපත්  කලේ ය. "එබැවින් අප අයත් වන්නේ එක පවුලකටයි: එනම් ස්වකීය ජනතාව ආරක්ෂා කර කැටුව යන දෙවියන් වහන්සේ ගේ පවුලටයි."

කිතුනුවන් හා ජුදෙව්වන් අතර ඇති සමීප සම්බන්ධය ශුද්ධ ලියැවිල්ල හා කතෝලික සභා ලේඛන ඇසුරින් පාප් වහන්සේ විස්තර කළහ. ඉන් අනතුරුව උනවහන්සේ යොමු වූයේ නුතන ලෝක අභියෝග දෙසටයි. මෙහිලා ප්‍රථමයෙන් ම පරිසර සංරක්ෂණය පිලිබඳ පූර්ණ  දැක්මක් තිබීමේ අවශ්‍යතාව පාප් වහන්සේ පෙන්වා දුන්හ. සොබා  දහමේ ලබැඳි සත්කාරකයකු වීමේ අවශ්‍යතාව ශුද්ධ බයිබලය විසින් අවධාරණය කෙරෙන අන්දම එතුමා පැහැදිලි කළේය. ඉන් අනතුරුව එතුමා අවධායන යොමු කලේ යුක්තිය හා සාමය යන මාතෘකාව වෙතටයි.

"ජීවිත විනාශ නොකරව" - ආගම හා යුද්ධය අතර නොගැලපීම

"යුද්ධය අපට අභියෝග කරන්නේ සාමය හා සාධාරණත්වය කෙරෙහි අපගේ කැපවීම දැඩි කරන ලෙසටයි" එතුමා පෙන්වා දුන්නේ ය. "මිනිසාට එරහිව මිනිසා සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා  'ආගමක්' යන වචනයට සුදුසුකම් ඇති සෑම ආගමකටම පටහැනි ය. විශේෂයෙන්ම, ඒවා ශ්‍රේෂ්ඨ ඒකදේවවාදී ආගම් වලට පටහැනිය. ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලැබෙන පූජනීය තිළිණයකි. දස පනතේ පස්වන පනත අපට කියන්නේ 'ජීවිත විනාශ නොකරව' යනුවෙනි. දෙවියන් වහන්සේ ජීවිතයේ දෙවියන් වහන්සේ යි. උන්වහන්සේ නිතරම සොයන්නේ ජීවිත ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීමටයි. එබැවින්,උන්වහන්සේ ගේ ස්වරුපය හා සමානත්වය අනුව මවන ලද අප ද එසේ ම කළ යුතු" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ.  

"දේව මැවිල්ලක් ලෙස සෑම මනුෂ්‍යයෙක් ම, ඔවුන් ගේ උත්පත්තිය හෝ ආගමික විශ්වාසය නොතකා, අපගේ සහෝදරයෙකි; සහෝදරියකි. දෙවියන් වහන්සේ ඒ සෑම කෙනෙකුටම ඔවුන් ගේ උත්පත්තිය (වාර්ගිකත්වය) හෝ ආගමික විශ්වාසය නොතකා සිය දයා කරුණාවේ හස්තය දිගු කරන සේක. එසේම උන්වහන්සේ තමන් වහන්සේව වැඩියෙන් ම අවශ්‍ය ජනතාවට - එනම් දුප්පතුන්, රෝගීන්, කොන්කරන ලද්දවුන් සහ ආරක්ෂාවක්  හෝ රැකවරණයක් නොමැතිවුවන් රක බලා ගන්නා සේකැ"යි එතුමා සඳහන් කළේය.

දෙවන ලෝක යුද සමයේ දී ජුදෙව්වන් හැට  ලක්ෂයක්  පමණ අමානුෂික වදයට පත්කොට ඝාතනය කෙරුණු  Shoah හෙවත් Holocaust යනුවෙන් හැඳින්වුනු සමුලඝාතනය ප්‍රැන්සිස් පාප් වහන්සේ ශෝකයෙන් සිහිපත් කළහ. " මේ ජනතාව අතිශයින් අමානුෂික හා ම්ලේච්ඡ ක්‍රියා වල ගොදුරු බවට පත්වූයේ මිනිසාව දෙවියන් වහන්සේ බවට පත් කිරීමට තැත් දැරූ න්‍යායවාදයක නාමයෙනි. ඔවුන් ගේ වේදනා, සන්තාප සහ කඳුළු කිසි දිනෙක අමතක නොකළ යුතු ය."

පාප් වහන්සේ අවධාරණය කලේ මෙම ශෝචනීය අතීතය මානව අපට අදටත් හෙටටත් පාඩමක් විය යුතු බවයි:

"මෙම අතීතය,  වර්තමානයටත් අනාගතයටත් අපට පාඩමක් විය යුතුයි. 'හොලොකොස්ට්' සංහාරය අපට උගන්වන පාඩම වන්නේ,  මානව ගරුත්වය හා සාමය ආරක්ෂා කිරීමට  ඉතා තදබල ලෙස මැදිහත් වීම සඳහා අප නිරන්තරයෙන් අවදිව සිටිය යුතු බවයි"

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය