"මරිය මව කුරුසිය පාමුල සිට සිය පුතනුවන් ගේ ඝාතකයනට සමාව දුන්නා!": සමගිසන්ධානය සඳහා පාප් වහන්සේ සූත්‍රය -මඩු පුදබිමේ කතාව (ආවර්ජනය)

"At the foot of the Cross, Mary forgave her Son's killers" - Pope's formula for reconciliation (A look back )



(2016 ජනවාරි 13)

"මරිය මව එදා කුරුසිය පාමුල සිට සිය පුතනුවන් ගේ ඝාතකයනට සමාව දුන්නාය. ඉන්පසුව එම පුතනුවන් ගේ ප්‍රාණය නිරුද්ධ  වූ දේහය සිය දෑතින් වැළඳ ගත්තාය. එසේම, දැන් ශ්‍රී ලාංකිකයන්ට  මේ උතුම් සමගි සන්ධාන ක්‍රියාවලිය තුළ මග පෙන්වීමටත් ඒ අනුව දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ හා සමාවේ ඔසු තෙලෙන් සෑම හදවතක්ම සුවපත් කිරීමටත් එතුමිය සුදානම්ව සිටියි."

2015 ජනවාරි 14 වන දා සන්ධ්‍යාවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මඩු පුද බිමේ සිට ශ්‍රී ලාංකික ජනතාවට් ලබා දුන් පණිවිඩය එයයි.

ජනවාරි 13 සහ 14 දෙදින  ශ්‍රී ලංකාවේ දී සුදොතුම් පියතුමා කතා දෙකක් සහ ධර්ම දේශනා  දෙකක් ඉදිරිපත් කළේය. ඒ සෑම කතාවකම හා ධර්ම දේශනාවම පණිවිඩය පොදු සාධක කිහිපයක් මත කේන්ද්‍ර වී තිබුනේ ය. ඒවා නම්,  සත්‍යය සෙවීම, යුක්තිය හා සාධාරණත්වය, සමාව දීම, සමගි සන්ධානය සහ සාමය යන සාධකයි. එතුමා  පෙන්වා දුන්නේ දීර්ඝ කාලයක් දිග්ගැස්සුණු ජාතික ගැටළුවත්,දිගු කාලීන යුද්ධය හා ඊට අදාළ වූ සැක සංකා හා එදිරිවාදිකම් විසින් ඉතිරි කරන ලද තුවාල සුවපත් කිරීමේ මාර්ගය එම සාධක  ඔස්සේ වැටී ඇති බවයි.

2015 ජනවාරි  14 වනදා උදාසන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මැද කොළඹ දී ලංකාවේ අපොස්තුලුවරයා වූ ජුසේ වාස් පියතුමන් සාන්තුවරයට එසවීමේ දිව්‍ය පුජාව පැවැත්වූ සුදොතුම් පියතුමා, එදින සවස මඩු කඳවුරට ගියේ ය. අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් වෙහෙස වූ ජනතාව ගේ සිත් නිවා පහන් කරන  වන්නි වනාන්තරය මැද පිහිටි මේ සොඳුරු මව් සෙවනට, 'දුප්පත්, පීඩිත, දුක් විඳින' ජනතාවගේ පාප් වහන්සේ පැමිණෙන තෙක් ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර ඇතුළු ලක් දෙරණ පුරා ජනතාව එහි රැස්ව සිටියහ. 



මඩු මෑණියන් දේවස්ථානයේ පැවැති කෙටි දේව මෙහෙයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ කල කෙටි ධර්ම දේශනය, ආගමික මෙන්ම සමාජයීය දෘෂ්ටි කෝණයෙන් ද ගත්  විට  මේ සමස්ත සංචාරයේ දීම එතුමන් කල රසවත්ම හා දහම් සිතිවිලි වලින් මහත් සේ පෝෂණය වූ වා වූ ද දේශනය යයි සිතමි. එහිදී එතුමා ප්‍රධාන වශයෙන්ම ආමන්ත්‍රණය කලේ සමස්ත යුද සමය තුළ දෙපැත්තෙන් බලවේග දෙකකටම  මැදිවී අනෙක විධ වේදනා වින්ද උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව බව කතාව ගැඹුරින් විමර්ශනය කළ විට පෙනෙන්නට තිබේ. " අපගේ දයාබර මරිය මෑණියෝ නිරන්තරයෙන් ඔබ සමග සිටියා. එතුමිය සෑම  ගෙදරකම අම්මායි. සෑම තුවාල වූ පවුලකම අම්මායි.ආපසු සාමකාමී ජීවිතයක් වෙත හැරී යාමට උත්සාහ කරන සියල්ලන්ගේ ම අම්මායි. " යැයි එතුමා පෙන්වා දුන්නේ ය.

එහෙත් ඒ සමගම එහි සිට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සමස්ත ශ්‍රී ලංකාවටම අභියෝගයක්  කළහ. එතුමා පෙන්වා දුන්නේ ශ්‍රී ලකාව යලි ගොඩ නැගීමේ මාර්ගය වැටී ඇත්තේ එම අභියෝගය ඔස්සේ බවයි. ඊට අදියර කිහිපයක් ඇතුලත් වේ: එනම් "අප කොටස් කරුවන් වී සිටි නපුරු ක්‍රියා වල තරම තේරුම් ගැනීම", "පසුතැවිල්ලකින් යුතුව අනෙක් අය  වෙත සමීප වී අවංකව සමාව  පිරිනමා, සැබෑ සමාව ඔවුන්ගෙන් ලබා ගැනීම", :සමගි සන්ධානයේ, මිත්‍රත්වයේ සහ සාමුහිකත්වයේ නැවුම් වූ ජීව ගුණයක් " තුළ අලුත් ගමනක් ඇරඹීම යන පියවරයි. මේ ගමන දේව මාතා වහන්සේ ගේ මධ්‍යස්තකම තුළ යාච්ඥාවෙන්  යායුතු ගමනක් බව ද එතුමා අවධාරණය කෙළේය.

 පාප් වහන්සේ ගේ මෙම කතාව  "ප්‍රැන්සිස්" සංකේත තුළ කියවා විකේත කරන විට පැහැදිලි වන්නේ එතුමන්  මරිය මව් සෙවනේ සිට අභියෝග කලේ ශ්‍රී ලංකාවේ කතෝලිකයනට  (ලංකාවේ සමස්ත කතෝලික සභාවට)  බව ය. සාමයේ ගමනක් දේවමාතා වහන්සේ සමග යා හැක්කේ කතෝලිකයනටය. එබැවින් සාම සහ සමගි සන්ධාන ක්‍රියාවලියේ උත්ප්‍රේරකය වන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලාංකේය කතෝලික සභාවෙන් - එනම් සිංහල හා දෙමල ජන වර්ග දෙකේම ජනයා නියෝජනය කරන කතෝලිකයන ගෙන් - ඉල්ලා සිටිති; අභියෝග කරති.

කතෝලික සභාව තුළම, රදගුරු හිමිවරුන් , පුජාප්‍රසාදිවරුන් ගේ සිට ගිහියන් දක්වා සිංහල-දෙමළ භේද ඇති බව ඉකුත් කාලය පුරාම දක්නට ලැබිණ.  'එදා කුරුසිය පාමුල සිට සිය පුතනුවන් ගේ ඝාතකයනට සමාව දී, ඉන් පසුව ,එම පුතනුවන් ගේ ප්‍රාණය නිරුද්ධ  වූ දේහය සිය දෑතින් වැළඳ ගත්තා සේ.........'' යි පාප් වහන්සේ පවසන්නේ මේ සියලු දෙනකුම ඉලක්ක කරගෙන ය.

"අපි සුළුතරයක්" යන "කම්මැලි කමේ තේමා ගී තැටිය" කඩා දමා දෙවියන් වහන්සේ තුළ ප්‍රබල විශ්වාසයක් තුළ සභාව එක්සත්ව (දෙමළ -සිහල රදගුරුවරුන්, පුජකවරුන් ගෙන් ආරම්භ වී ගිහියන් දක්වා)  මෙම ක්‍රියා වලියේ "උත්ප්‍රේරක" භූමිකාවට පිවිසෙන්නේ නම් එය කිතුනුවන්  විසින්  ජාතිය වෙනුවෙන් ඉටුකරන වැදගත් ම මෙහෙවර ද වන්නේ ය. "මරුද මඩු මෑණියන් ගේ මධ්‍යස්ථකමින්, මේ දයාබර දේශයේ සියලු දූ දරුවන් සඳහා සමගි සන්ධානයෙන්, සාධාරණත්වයෙන් හා සාමයෙන් යුත් අනාගතයක් ගොඩ නගන්නට අවශ්‍ය අනුප්‍රාණයත් ශක්තියක් මෙම පුද බිමෙන් සියලු  ජනතාවට ලැබේවා!" පාප් වහන්සේ එම කාර්යය ප්‍රාර්ථනයකට හරවන්නේ එසේ ය.

ප්‍රැන්සිස් පාප් වහන්සේ මඩු මව් සෙවනේ සිට කල දේශනය සම්පුර්ණයෙන් මෙසේය: 


" ප්‍රේමවන්ත සහෝදරවරුනි, සහෝදරියනි,

අප මේ සිටින්නේ අපේ අම්මා ගේ ගෙදරයි . මෙතැන දී ඇය  අපව ඇයගේ ගෙදරට සෙනෙහසින් පිළිගනියි. මරුද මඩු මෑණියන් ගේ මේ පුද බිමේ දී සෑම වන්දනා කරුවකුටම තමන් ගේ ගෙදර සේ ගත කල හැකිය. මන්ද, මරිය මෑණියන් මෙතැන සිට අපව එතුමිය ගේ දයාබර පුතනුවන් වන ජේසු සමිඳුන් ඉදිරියට ගෙන යන බැවිනි. මෙතැනට, තමන් සිංහල වුවත් දෙමල වුවත්, සියලු ශ්‍රී ලාංකිකයන් පැමිණෙන්නේ එක මවක ගේ දරුවන් ලෙසය; එක පවුලක දූ දරුවන් ලෙස ය. ඒ සියලු දෙනා තම සතුටු සිනා සහ දුක් කඳුළු, තම බලාපොරොත්තු සහ අවශ්‍යතා සියල්ල මරිය මෑණියන් අතට භාර දෙති. මෙතැන, එතුමිය ගේ ගෙදරදී, තමන් ආරක්ෂා සහිත බව ඔවුනට දැනෙයි. මෙතැන දී දෙවියන් වහන්සේ තමන්ට බොහෝ සමීප බව ඔවුහු දනිති. මෙතැන දී උන්වහන්සේ ගේ ආදරය ඔබට දැනෙයි. උන්වහන්සේ ගේ මෘදු දයා කරුණාව ඔබ දැන ගනියි."

ශ්‍රී ලංකාවේ හදවත ඉරා විවර කළ දීර්ඝ කාලීන අර්බුදයේ දී බොහෝ දුක් දොම්නස් වින්ද පවුල් රැසක් අද මෙතැන සිටිති. ඒ කාලයේ පැවැති බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ලේ වැගිරීම් වලින් උතුරේ සේ ම දකුණේ ද බොහෝ දෙනෙක් මිය ගියහ.

මෙම ශුද්ධ වූ පුද බිම හා සම්බන්ධ වූ ශෝචනීය සිද්ධීන් ද කිසිදු ශ්‍රී ලාංකිකයකුට අමතක  කල නොහැකියි. එනම්, ලක්දිවට පැමිණි ප්‍රථම කිතුනුවන් ගේ කාලය කරා දිවෙන අතීතයක් ඇති මරිය මෑණියන්ගේ පූජනීය ප්‍රතිමාව මෙම පුද බිමෙන් ඉවතට වැඩම කරවීමට සිදු වූ කනගාටුදායක  දිනයයි.

එහෙත් අපගේ දයාබර මරිය මෑණියෝ නිරන්තරයෙන් ඔබ සමග සිටියා. එතුමිය සෑම  ගෙදරකම අම්මායි. සෑම තුවාල වූ පවුලකම අම්මායි.ආපසු සාමකාමී ජීවිතයක් වෙත හැරී යාමට උත්සාහ කරන සියල්ලන්ගේ ම අම්මායි. අතීතයේ දී සේ ම වර්තමානයේ දීත්  ශ්‍රී ලාංකික ජනතාව අනතුරු රැසකින් ආරක්ෂා කිරීම ගැන අපි අද එතුමියට ස්තුති කරමු. මරිය මව මේ දීප්තිමත් දිවයිනේ සිය දූ පුතුන් කිසිවිටෙකත්  අමතක කලේ නැත. කල්වාරි කන්දේ දී එතුමිය සිය පුතනුවන් අසලින් මොහොතටක් වත්  ඉවත් නොවුවා සේ ම, ශ්‍රී ලංකාවේ සිය දුක් විඳින දූ දරුවන් වෙතින් ද ඇය කිසිවිටෙකත් ඉවත් වූයේ නැත.

එතුමිය එසේ අප සමග වැඩ සිටීම ගැන අපි අද එතුමියට තුති පුදමු. වෛරය, ප්‍රචණ්ඩ ක්‍රියා සහ විනාශයන් නොතකා අප අද එතුමියට ස්තුති කරන්නේ,අපව අඛණ්ඩව ජේසු සමිඳුන් වෙත ගෙන යාම ගැනයි. විවෘත වූ   තුවාල සුවපත් කිරීමටත් බිඳුණු හදවත් සාමයෙන් පිළිසකර කිරීමටත් හැක්කේ උන්වහන්සේට පමණයි.එහෙත් ඒ සමගම අපට අවශ්‍යයි එතුමියගෙන් ඉල්ලා සිටින්නට, දේව දයාවේ වරප්‍රසාදය අප වෙත ලබා දෙන ලෙස. එසේම, අපගේ පාප වලටත් මේ දිවයින කාලාන්තරයක් තිස්සේ වසාගෙන  තිබු නපුර සහ අයහපතටත්  වන්දි ගෙවීමට අවශ්‍ය වරප්‍රසාදය ලබා දෙන ලෙසත් අපි එතුමියට කන්නලවු කරමු.

මෙය ඉටු කිරීම එතරම් පහසු දෙයක් නම් නොවේ.එහෙත් සැබෑ සංතාපයක් සහ පසුතැවිල්ලක්  අපට අත්දැකිය හැක්කේ,  අප විසින් සිදු කල හැකි නපුරේ හා අයහපතේ තරමත්, අප කොටස් කරුවන් වී සිටි නපුරු ක්‍රියා වල තරමත් කුරුසියේ ආලෝකයෙන්  අප තේරුම් ගත් විටයි. එවිට පමණයි අපට දේව වරප්‍රසාදය ලැබෙන්නේ, අව්‍යාජ පසුතැවිල්ලකින් යුතුව අනෙක් අය  වෙත සමීප වී අවංකව සමාව  පිරිනමා, සැබෑ සමාව ඔවුන්ගෙන් ලබා ගැනීමට. මෙම සමාව පිරිනමා  සාමය ලබාගැනීමේ  ඉතා දුෂ්කර කටයුත්තේ දී මරිය මව අප සමග මෙහි සිටියි. ඇය  අපව දිරිමත් කිරීමටත් අපට අනුශාසනා දීමටත් අපට මග පෙන්වීමටත් මෙහි සිටයි.  හරියට එදා කුරුසිය පාමුල සිට සිය පුතනුවන් ගේ ඝාතකයනට සමාව දී, ඉන් පසුව ,එම පුතනුවන් ගේ ප්‍රාණය නිරුද්ධ  වූ දේහය සිය දෑතින් වැළඳ ගත්තා සේ, දැන් ශ්‍රී ලාංකිකයන්ට  මේ උතුම් සමගි සන්ධාන ක්‍රියාවලිය තුළ මග පෙන්වීමටත් ඒ අනුව දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ හා සමාවේ ඔසු තෙලෙන් සෑම හදවතක්ම සුවපත් කිරීමටත්  එතුමිය සුදානම්ව සිටියි.



 අවසන් වශයෙන් අපි මරිය මෑණියන්ගෙන් ඉල්ලමු, නැති වී ගිය සමගිය යළි ගොඩනැගීමට දෙමළ සහ සිංහල භාෂා කතා කරන සියලු ශ්‍රී ලාංකිකයන් ගන්නා ප්‍රයත්න, එතුමිය ගේ යාච්ඥාව තුළ කැටුව යන ලෙස. එතුමිය ගේ ප්‍රතිමාව යුද්ධයෙන් පසුව යළිත් මඩු පුද බිමටම පැමිණියා සේ , සියලු ශ්‍රී ලාංකික දූ පුතුන් සමගි සන්ධානයේ, මිත්‍රත්වයේ සහ සාමුහිකත්වයේ නැවුම් වූ ජීව ගුණයක් තුළ දෙවියන් වහන්සේ ගේ පිය නිවෙසට යළි පැමිණේවා යි අපි යාච්ඥා කරමු.

ප්‍රිය සහෝදරවරුනි, සහෝදරියනි, අද ඔබ සමග මරිය වහන්සේ ගේ නිවසේ සිටින්නට ලැබීම ගැන මම බොහෝ සතුටු වෙමි. අපි එකිනෙකා වෙනුවෙන් යාච්ඥා කරමු. ඒ සියල්ලටත් වඩා, මේ සිද්ධස්ථානය නිරතුරුවම යාච්ඥාවේ නිවෙසක් සහ සාමයේ ක්ෂේම භූමියක් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.මරුද මඩු මෑණියන් ගේ මධ්‍යස්ථකමින්, මේ දයාබර දේශයේ සියලු දූ දරුවන් සඳහා සමගි සන්ධානයෙන්, සාධාරණත්වයෙන් හා සාමයෙන් යුත් අනාගතයක් ගොඩ නගන්නට අවශ්‍ය අනුප්‍රාණයත් ශක්තියක් මෙම පුද බිමෙන් සියලු  ජනතාවට ලැබේවා! - ආමෙන් "


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය