"විවිධත්වය තර්ජනයක් නොවේ. සඵලත්වයේ හා සාරවත් බවේ නිධානයක්" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ලංකා ගමනේ ආවර්ජනා

"Diversity: not a threat; but a source of enrichment" - Pope Francis in Colombo, Sri Lanka (A look back) 




(2016 ජනවාරි 12)

"විවිධත්වය දැකිය යුත්තේ තර්ජනයක් ලෙස නොවේ. සඵලත්වයේ හා සාරවත් බවේ  නිධානයක් ලෙසය"
- සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපලේ දී. 2015 ජනවාරි  13 දා - එවකට නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අබියස.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ  "යහපාලන" ආණ්ඩුවට වසරක් පිරෙද්දී, මහත් ආන්දෝලන මැද ශ්‍රී ලංකාවට සැපත් වූ කතෝලික සසුනේ දෘශ්‍යමාන නායකයාණන් හෙවත් පේදුරු තුමාගේ අනුප්‍රාප්තිකයානන් වන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ශ්‍රී ලංකා අපෝස්තලික ගමනට ද වසරක් සපිරෙයි. පාප් වහන්සේ ලක්දිවට පැමිණියේ උන්වහන්සේ ගේ සංචාරය මත වැටී තිබු ආත්මාර්ථකාමයේ හා  බලකාමයේ අඳුර, මහා පෙළහරකින් මෙන්  බිඳ දමමින්  අපේක්ෂාවේ නව හිරු කිරණ මිහිරි අරුණැල්ලක් සේ ලක් බිම මත වැටීමට පටන් ගත් මොහොතේ ය. කවර වෙනසක් ශ්‍රී ලංකාව තුළ සිදු වුවද, ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දී මෙරට කතෝලිකයනටත්, මේ සුන්දර රටේ සෞභාග්‍යය අපේක්ෂා කරන, 'සුසිත්  ඇති ' (යහපත් හදවත් ඇති)  සියලු ජනතාවටත් දීමට බලාපොරොත්තු වූ පණිවිඩය වෙනස්   කර තිබුනේ නැත.

රටට නව ආණ්ඩුවක් ලැබුනේ තිස් වසරකට අධික යුද්ධයක් නිම වීමෙන් පසුව ඉන් ජාතික දේහයටත් රටේ සියලු ජනතාවටත් සිදු වූ තුවාල සුවපත් කිරීම දිනෙන් දින කල් දමමින්, රට සමගි සන්ධානය කිරීම වෙනුවට  වර්ගවාදී හා ආගම්වාදී අලුත් ගැටුම් ඇතිකරමින් තිබූ වකවානුවකය.  නව නායකත්වය මේ තුවාල සුවපත් කොට ජාතිය සමගි සම්පන්න කරනු ඇතැයි ඒ ආණ්ඩුව තෝරා පත් කර ගැනීමට පෙරට අවාවූ ද චන්දය ප්‍රකාශ කළා වූ ද සියල්ලන් ගේ අපේක්ෂාව වී තිබුනේ ය.  මන්ද රට සමගි සන්ධානය නොකොට සෞභාග්‍යයක් ගැන කිසිසේත් සිතිය නොහැකි බැවිනි.

මෙවන් තීරණාත්මක කාල වකවානුවක ලක්දිවට පැමිණි පාප් වහන්සේ කල දේශන, රටේ ඉදිරි ගමන ගැන බැරෑරුම් ව සිතන, යහපත් අදහස් ඇති ජනයාට අවශ්‍ය අදහස් හා "අවශ්‍ය ද්‍රව්‍ය" (Necessary Ingredients)වලින් පූර්ණය. එහෙත් අභාග්‍යයකට මෙන් "අවා- ගියෝ" මෙන් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ගමන සුලඟේ පාවී අමතක වන්නට හරිනු ලැබුවා මිස ඒ ගැන පුළුල් කතිකාවක් ආරම්භ වුයේ නැත. ආණ්ඩුවට වසරක් ගත වෙද්දී වර්ගවාදයේත්  බලකාමයේත්  අවතාර "ලේ" ඉල්ලමින් රටේ වීදි ඔස්සේ සැරි සැරීමට පටන් ගෙන ඇත්තේ ඒ නිසා ය.

එහෙත්, ලොවට ප්‍රබල බලපෑමක් වී ඇති  ප්‍රැන්සිස් සුදොතුම් පිය ගමන හුදෙක් රාත්‍රියේ දැක උදයේ අමතක වූ සිහිනයක් බවට පත් වීමට ඉඩ දීම, මහත් විවේචන, විරෝධතා සහ ආන්දෝලන නොතකා ශ්‍රී ලංකාවේ සභාවට දුන් පොරොන්දුව ඉටු  කරමින් අප රටට පැමිණි එතුමනට කරන අසාධාරනයකි. අයුක්තියකි. අකෘතඥ කමකි

එබැවින්,  පමා වී හෝ එම ගමනේ ඵල නෙලා ගැනීමට අපේක්ෂා කරන  "සුසිත් දනන්" වෙත් නම් ඔවුන්ට ශක්තියක් වනු පිණිස ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ලංකා සංචාරය පිලිබඳ මෙම ආවර්ජනා ගෙන එමු.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල 







"විවිධත්වය දැකිය යුත්තේ තර්ජනයක් ලෙස නොවේ. සඵලත්වයේ හා සාරවත් බවේ නිධානයක් ලෙසය"

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ 2015 ජනවාරි 13 වනදා උදාසන ගුවන්තොටුපොළේ පැවැති පිළිගැනීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ පිළිගැනීමේ කතාවට පිළිතුරු කතාව කරමිනි.

සිය පිළිතුරු කතාව ආරම්භ කල පාප් වහන්සේ, මුලින් ම, රජය, කතෝලික සභාවේ විවිධ අංශ ඇතුළු සිය සංචාරය යතාර්ථයක් බවට පත් කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කල සියල්ලනට සිය ස්තුතිය පුද කළහ.

සිය සංචාරයේ අරමුණ පැහැදිලි කල පාප් වහන්සේ  කියා සිටියේ එය ප්‍රධාන වශයෙන් ම එඬේරික සංචාරයක් බවයි. "කතෝලික සභාවේ විශ්ව එඬේරාණන් හැටියට මා පැමිණියේ, මේ දිවයිනේ කතෝලික ජනතාව හමු වී, ඔවුන් දිරිමත් කොට ඔවුන් සමග යාච්ඥා කිරීම සඳහා ය. මෙම ගමනේ එක් ප්‍රධාන අංගයක් වන්නේ භාග්‍යවන්ත ජුසේ වාස් මුනිතුමන් ශුද්ධවරයට එසැවීමයි. ක්‍රිස්තියානි දයාවේ ද  වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සියල්ලනට ගෞරව කිරීමේ ද ආදර්ශයක් වූ එතුමා අදත් අපට මග පෙන්වන  අතර අප ප්‍රබෝධවත් කරයි.."

තම තමන් ගේ වෙනස් කම්  සංවාදයෙන් හා සම්මුතියෙන් විසඳා ගැනීමට අසමත් වීම නිසා අප ජීවත් වන යුගයේ ලෝකයේ විවිධ තැන්වල යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන් ඇති අන්දම එතුමා සිහිපත් කලේය.

 "බොහෝ ජන  කණ්ඩායම් තම තමන් අතර යුද්ධවලට ප්‍රවේශ වීම, අද අප ජීවත්වන ලෝකයේ අඛණ්ඩව සිදුවන ඛේදවාචකයක් බවට පත් වී තිබේ. පැරණි හෝ අලුත් හෝ වේවා, තමන් අතර ඇති වෙනස් කම් සහ එකඟ නොවීම් සමථයකට පත් කර ගැනීමට නොහැකි වීමෙන්, වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවන් හටගෙන ඇත. බොහෝ විට මේවායේ ප්‍රතිඵල වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමයි."

මෙම ප්‍රවිෂ්ටය  ලබා ගත් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාව වසර ගණනාවක යුද්ධයකට පසුව දැන් නව සන්ධිස්ථානයකට අවතීර්ණ වී ඇති අයුරු පෙන්වා දුන්හ. එතුමන් කියා සිටියේ දැන් රට අබියස ඇති සමගි සන්ධානයේ අභියෝගය එතරම් පහසු එකක් නොවූවත්, අධිෂ්ටාන පුර්වකව ක්‍රියා කිරීමෙන් එය ජයගත හැකි බවයි:

"වසර ගණනාවක් පුරා සිවිල් යුද්ධයේ බියකරු බව අත්දුටු ශ්‍රී ලංකාව, දැන් සාමය තහවුරු කරගැනීමටත්, ගත වූ වර්ෂ වල ඇති වූ තුවාල කැළැල් සුවපත් කරගැනීමටත් උත්සාහ දරමින් සිටියි. මෙම අර්බුදයේ අමිහිරි දායාදයන්  වන අයුක්තීන් හා අසාධාරණයන්, එදිරිවාදිකම් හා සැක සංකා පරාජය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එය ජයගත හැක්කේ නපුර යහපතෙන් පරාජය කිරීමෙනි. එසේම සමගි සන්ධානය, සහෝදරත්වය සහ සාමය ප්‍රවර්ධනය කෙරෙන ධර්මගුණ අප තුළ වගා කර ගැනීමෙනි. සිත් සුවපත් කිරීමේ ක්‍රියාවලියට සත්‍යය සෙවීමේ පියවර ද ඇතුළත් විය යුතු ය. මෙලෙස සත්‍යය සෙවිය යුත්තේ පැරණි තුවාල විවෘත කිරීමේ අරමුණින් නොව, යුක්තිය, (සිත්) සුවය  හා සමගිය ප්‍රවර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ය."



මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය මූලිකම සම්පත ශ්‍රී ලංකාව තුළම පවතින බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. එනම් සිව් මහා ගංගා ජලය සේ රටේ සිත් නිවාලමින් ගලා යන සිව් මහා ආගම් දිය දහරයි.

"ප්‍රිය මිත්‍රවරුනි, රටේ සිදුවෙමින් පවත්නා සමගි සන්ධානයේ  හා ප්‍රතිසංවර්ධනයේ අති සියුම්   ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා   විවිධ ආගමික සම්ප්‍රදායයනට අයත් ජනතාවට වැදගත් භූමිකාවක් ඉටුකළ හැකිය යන්න මගේ තදබල විශ්වාසයයි. එම ක්‍රියා මාර්ගය සාර්ථක කර ගැනීමට නම් සමාජයේ සියලු ජන කොටස් එක්ව වැඩ කල යුතුය. එසේම , සියල්ලන්ගේ ම හඬට සවන් දිය යුතු ය. තමගේ සිත් කලබල කරන දේ, සිය සැලකිල්ල යොමු වූ දේ, තම අවශ්‍යතා, අපේක්ෂා සහ තමන් බිය වන දේ හා සැක සංකා නිදහසේ ප්‍රකාශ කිරීමට සියල්ලනට අවස්තාව සලසා දිය යුතු ය. මෙහිදී බොහෝ වැදගත් වන්නේ, එකිනෙකා පිළිගැනීමටත්, නීත්‍යානුකුල විවිධත්වයනට ගරු කිරීමටත් සියල්ලන් සුදානම්ව සිටීම සහ එක් පවුලක් ලෙස ජීවත් වීමට ඉගෙන ගැනීමයි. ජනකොටස් බැහැපත්ව සහ විවෘතව එකිනෙකාට සවන් දෙන විට, ඔවුන් ගේ පොදු සාරධර්ම හා පොදු අභිලාෂයන් වෙන කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්නට පටන් ගනියි. එසේ වූ විට, විවිධත්වය තව දුරටත් තර්ජනයක් ලෙස නොව සාරවත් බවේ සහ සඵලත්වයේ නිධානයක් ලෙස පෙනෙන්නට පටන් ගනියි. එසේ වූ විට, යුක්තිය, සමගි සන්ධානය සහ සමාජ සුසංයෝගය වෙත යන මාවත වඩාත් පැහැදිලිව දෘශ්‍යමාන වෙයි."

මේ ගමනට 'අත්‍යවශ්‍ය ද්‍රව්‍ය' කිහිපයක් ද  සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය:
"මේ අර්ථයෙන් ගත් කල ප්‍රතිසංවර්ධනයේ විශිෂ්ට වැඩපිළිවෙලට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා භෞතික හා ද්‍රව්‍යමය අවශ්‍යතා සම්පුර්ණ කිරීමත් ඇතුලත් වේ. එහෙත් ඊට වඩා අවශ්‍ය වන්නේ, මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් වලට ගරු කිරීම හා සමාජයේ සෑම සාමාජිකයකුම සම්පුර්ණයෙන් සම්බන්ධ කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආගමික හා සිවිල් සමාජ නායකයින් තමන්  ගේ සෑම වචනයක් හා ක්‍රියාවක්  මගින් ලැබෙන යහපතත් සිත් සුවයත් ගැන හොඳින් මැන බලා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආධ්‍යාත්මික හා භෞතික ප්‍රගතිය සඳහා කල්පවත්නා දායකත්වයක් ලබා දෙනු ඇත යන්න මගේ බලාපොරොත්තුවයි"

ඉන්දීය සාගරයේ මුතු ඇටය යන විරුදය ලද ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මෙරට ජනතාවගේ සමෘද්ධියත් සාමයත් තුළ වඩ වඩා බබලත්වායි තමන් යාච්ඥා කරන බව ද සුදොතුම් පියතුමා සිය කතාව අවසන් කරමින් කියා සිටියේ ය.





 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය