පාප් වහන්සේ මැක්සිකෝවේ දී ඔප්පුකරන දිව්‍ය පූජාවල සම්මාදම් එකතුව යොදා ගන්නේ කුමකට ද? එරට රදගුරුහිමිවරු තීරණය කරති.

Collection from Mexico Papal masses to fund migrant centers 

සිය රටට පැමිණි මධ්‍යම ඇමෙරිකානු සාංක්‍රමනිකයන් පිරිසකට උපකාර මැක්සිකානුවන් 

(2016 ජනවාරි 10)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මැක්සිකෝවේ දී සිදුකරන සියලු දිව්‍ය පූජාවලදී එකතු කරන පූජා සම්මාදම්වල 'ගමනාන්තය' එරට රදගුරු මණ්ඩලය විසින් තීරණය කර තිබේ.  එම සම්මාදම් යොදාගන්නා සේවාව එරට රදගුරු මණ්ඩලය විසින් ඉකුත් දා හෙළිදරව් කරනු ලැබිණ. ඒවා යොමු කෙරෙන්නේ පාප් වහන්සේගේ හද බැඳී "මම ආගන්තුකව සිටියෙමි; ඔබ මා උණුසුම්ව පිළිගත්හ" යන ජේසු සමිඳුන් ගේ ප්‍රකාශයට අදාළ සේවාවකටය.

නොනැවතී මැක්සිකෝවට ගලා එන සාංක්‍රමණිකයන් සඳහා නව පිළිගැනීමේ මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීම සඳහා සුදොතුම් පියතුමන් ගේ පූජා සම්මාදම් යොමු කෙරෙන බව මැක්සිකෝවේ සන් ක්‍රිස්ටොබාල් පදවියේ රදගුරු ෆෙලිපේ ඇරිස්මෙන්දි එස්ක්විවෙල් හිමි පැවසීය. "දයාවේ ශුද්ධ වසර නිමිත්තෙන් සාංක්‍රමණිකයන් පිළිගැනීමේ මධ්‍යස්ථාන දෙකක්  අලුතින් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ අපෝස්තලික චාරිකාවේ දී  පාප් වහන්සේ පූජාව පවත්වන අවස්ථාවල එකතු කෙරෙන සම්මාදම් එම ඉදිකිරීම් අරමුදල් සඳහා යොමු කෙරෙන බව මා සුදොතුම් පියතුමාට දැනුම් දුන්නා. මේ තීරණයට එළඹුණේ මැක්සිකෝවේ සමස්ත රදගුරු මණ්ඩලයේ එකඟත්වය ඇතිබ බව ද මා උන්වහන්සේට දන්වා සිටියා" යයි එස්ක්විවෙල් රදගුරු හිමි සෙනිත් ප්‍රවෘත්ති සේවයට කියා සිටියේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙබරවාරි 12 සිට 17 වන  දා දක්වා මැක්සිකෝවේ අපෝස්තලික සංචාරයක නිරත වෙයි. මෙම සංචාරයේ දී එතුමා එරට අපරාධ වලට කුප්‍රකට මොරෙලා නගරයටත් ඇමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාවේ පිහිටි සියුඩාඩ් හුවාරෙස් නගරයටත් යාමට නියමිතය. මැක්සිකෝවේ දී පාප් වහන්සේ ගේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ගුවාඩලුපේ අප ස්වාමිදුව ගේ සිද්ධස්ථානය බැහැදැකීමයි. 16 වන ශතවර්ශයේ දී ගුවාඩලුපේ  ජීවත් වූ දුප්පත් රතු ඉන්දීය ජාතිකයකු වූ හුවාන් දියෙගෝ (දැන් ශුද්ධවන්තයෙකි), තමන් "ස්වර්ගයේ සිට පැමිණි මහිමවත් කාන්තාවක්" මෙහි කන්දක දී  දර්ශනය වූ  බව කියා සිටියේය. 1531 දී ශු. හුවාන් දියේගෝ තුමාට එම "කාන්තාව" වතාවන් කිහිපයක් ම දර්ශනය වුවා ය. ඕ තමන් හඳුන්වා ගත්තේ "සැබෑ දෙවියන් ගේ මෑණියන්" ලෙසය. තමා වෙනුවෙන් මෙම ස්ථානයේ දෙව්මැදුරක් ගොඩනගන ලෙස ප්‍රදේශයේ රදගුරු තුමන්ට දැනුම් දෙන්නයි එතුමිය දියේගෝට උපදෙස් දුන්නාය. තමන් සැබවින් ම දර්ශනය වූ බවට සංකේතයක් ලෙස දේව මාතා වහන්සේ සිය රුව දියේගෝ ගේ සැලුවේ ප්‍රාතිහාර්යාත්මක ලෙස මුද්‍රණය වීමට සැලැස්වූවා ය. එම රුව සහිත සළුව වසර 470කට පසුව මේ දක්වාත් එම දෙව්මැදුරේ දක්නට ලැබේ.ගුවාඩලුපේ මෑණියන්ගේ ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ එම රුවට අනුව ය.

ෆෙලිපේ එස්ක්විවෙල් රදගුරුතුමා ටුක්ස්ලා ගිටෙරෙස්හි අගරදගුරු ඵබියෝ කැස්ටිලා හිමිපාණන් ද සමග පාප් වහන්සේ මුණගැසීම සඳහා ඉකුත් දා වතිකානයට පැමිණ සිටියහ. එතුමන් ගේ මැක්සිකෝ අපෝස්තලික ගමනේ සැලැස්මේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී ඔව්හු පාප් වහන්සේ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ගුවාඩලුපේ අප ස්වාමිදුව ගේ සිද්ධස්ථානය බැහැ දැකීමට අමතරව තමන්ගේ මැක්සිකෝ ගමනේ ප්‍රධාන පරමාර්ථයක් වන්නේ එරට සාංක්‍රමණික ගැටලුව හා ප්‍රචණ්ඩ ක්‍රියා දෙස අපෝස්තලික හා එඬේරික අවධානය යොමු කිරීම බව සුදොතුම් පියතුමා මෙහිදී ප්‍රකාසහ කලේ යැයි එස්ක්විවෙල් රදගුරු හිමි පැවසීය.

එතුමන් පෙන්වා දුන්නේ මැක්සිකෝවට සාංක්‍රමණිකයන් පැමිණීමේ අර්බුදය බරපතල තත්වයක පවතින බවයි. අසල්වැසි රටවල ජනතාවට රැකියා හා ආරක්ෂාව නොමැති වීම වැඩිවන තරමට සිය රටට සාංක්‍රමණිකයන් පැමිණීම ද වැඩි වෙමින් ඇති බව කියා සිටියේ ය.

මැක්සිකෝවට සාංක්‍රමනිකයන් බහුතරයක් පැමිණෙන්නේ මධ්‍යම ඇමෙරිකාවේ උතුරු ත්‍රිකෝණයේ රටවල් වන හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් සහ ගෝතමාලාවෙනි. ඊට අමතරව, කියුබාව, ඉන්දියාව හා චීනය යන රටවලින් ද සාංක්‍රමණිකයන් පැමිණෙන බව රදගුරුතුමා සඳහන් කළේය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය