"ප්‍රචණ්ඩත්වයට හා අසාධාරණයට වඩා දයාව ප්‍රබලයි" සුදොතුම් පියතුමා නව අවුරුදු දිව්‍ය පුජාවේදී පහදයි

Mercy is stronger than violence and injustice - Pope says at the Feast of Mary, the Mother of God 




මානව වර්ගයාට නව යුගයක් උදා කරමින් මානව ඉතිහාසයට ඇතුළු වුණු දෙවියන් වහන්සේ ගේ දයාව ඉදිරියේ ලෝකයේ දුක්ඛ දෝමනස්සයන් බල රහිත බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

"ඉතිහාසය ක්‍රිස්තුන් වහන්සේ ගේ උපත තීන්දු නොකරයි. එහෙත් ඇත්ත වශයෙන් ම සිදුවන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය මගින් ඉතිහායට එහි පරිපූර්ණත්වයට පැමිණීමට හැකි වීමයි. මේ හේතුව නිසා ක්‍රිස්තුන් වහන්සේ ගේ උපත නව යුගයක් ආරම්භ කරයි; කාලයේ නව ආගණනයකට මුල පුරයි;ආදියේදී දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව ඉටුවීමට සාක්ෂි දැරීමේ නව යුගයක් ඇරඹෙයි."

2016 ජනවාරි 1 වැනි  දින සිකුරාදා උදාසන  දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව පවත්වමින් පාප් වහන්සේ මේ බව කියා සිටියහ. කතෝලික දින දර්ශනයේ අතිශය වැදගත් මංගල්‍යයක් සේ ම මරිය වහන්සේ ගේ මංගල්‍ය අතර පැරණිම මංගල්‍යය වන "දේව මාතාවන් වන මරිය වහන්සේ" ගේ මංගල්‍යය නිමිත්තෙන් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී මෙම දිව්‍ය පූජාව පැවැත්විණි. සෑම නව වසරක්ම දේව මාතාවන් වන මරිය වහන්සේට කැප කිරීම ද මෙම මංගල්‍යය ජනවාරි පළමුවන දා ට යොදනු ලැබීමේ අරමුණක් වේ.

මෙම ජනවාරි පළමුවන දා පාප් වහන්සේ සිය ධර්ම දේශනයට පාදක කර ගත්තේ එදින දේව වචනයට ඇතුලත් ව තිබු ශු.පාවුළු තුමා ගලාති වරුනට ලියූ ලිපියේ කොටසයි. එහි එන දෙවියන් වහන්සේ " කාන්තාවකගෙන් උපත ලැබ" හා "කාලය සම්පූර්ණ වූ විට" යන පද එතුමන්ගේ භාවනාවට කේන්ද්‍ර විය.

ඉතිහාසයේ ජේසු සමිඳුන් ගේ උපත සිදුවූ  මොහොත පාප් වහන්සේ සිහිපත් කළහ. එය සිදුවූයේ ඔගස්ටස් සීසර් රෝම අධිරාජයාගේ පාලන සමයේ ය. එහෙත් "කාලය සම්පූර්ණ වූ විට" සිදුවූ මෙම ජේසු උපත "භූ දේශපාලන සන්දර්භය තුළ " පමණක් නොදැකිය යුතු බව එතුමා පහදා දුන්නේය. මෙම උපත වඩාත් හොඳින් පැහැදිලි වන්නේ "මානව වර්ගයාට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව සම්පුර්ණ  වීමේ කාලය" ලෙස එය සැලකූ  විටය. 

"කාලය සම්පුර්ණ වීම යනු දෙවියන් වහන්සේ ඉතිහාසය තුළ වැඩසිටීමයි" යැයි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. "ගවලෙනක දුප්පත්කම  තුළ බැබලෙමින් ඇති උන්වහන්සේ ගේ මහිමය, දැන් අපට දැක ගත හැකිය. දරුවකු තුළ 'සුළු' කරන ලද උන්වහන්සේ ගේ ශ්‍රී වචනය මගින් දැන් අපට පෝෂණය ලැබිය හැකිය; ඒ මගින් දිරිමත් විය හැකිය. උන්වහන්සේට ස්තුති වන්නට අපගේ කාලය එහි පූර්ණත්වය ලබා තිබේ."



ගැටුම 
කෙසේ නමුදු, දෙවියන් වහන්සේ මානව ඉතිහාසයට ඇතුළත්වීමේ අබිරහස, දුර්වල සහ අහිංසක ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හා අයුතු  අසාධාරනකම් පිලිබඳ මානව අත්දැකීම් සමග එකිනෙක ගැටෙන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "යුද්ධයෙන්, කුසගින්නෙන් සහ වධ හිංසාවලින් ගැළවීම සහ  සිය මානව ගරුත්වයේ මූලික හිමිකම් මුණ ගැසීමේ   අරමුණින්, ඇතැම් විට තම ජීවිත තබා පරදුවට තබමින්, කාන්තාවන්, ළමයින් සහා පිරිමින් සමූහ වශයෙන් සිය උන්හිටිතැන් දමා පලා යමින්  සිටිනු අප දකින විට,කාලයේ සම්පුර්ණත්වය පැමිණ ඇතැයි අප පවසන්නේ කෙසේ ද?" පාප් වහන්සේ විමසුහ. එහෙත් උන්වහන්සේ පහදා දුන්නේ දේව දයාවේ බලයේ අබිරහස මෙම ගැටුම තුළ ම ගැබ්ව ඇති බවයි:" අපට පෙනෙන්නට ඇත්තේ පාපයේ අනෝරා වැස්සෙන් ඉදිමුණු විනාශයේ හා දුක්ඛිතභාවයේ ප්‍රචණ්ඩ  සැඩ පහර විසින්,  ක්‍රිස්තුන් වහන්සේ විසින් ගෙන එන ලද කාලයේ පුර්ණත්වය  ප්‍රතිරෝධනය කොට වලක්වා ඇති බවය. එහෙත් සැබෑව මෙයයි: අපගේ ලෝකය හරහා ගලා යන දෙවියන් වහන්සේ ගේ කරුණා සාගරය ඉදිරියේ මෙම ප්‍රචණ්ඩ සැඩ පහර බල රහිතය."

"මෙම කරුණා සාගරය තුළ ගිලෙන්නට අප සියලු දෙනා කැඳවීම් ලබා සිටිමු. එතුළ යළි උපත ලැබීමට, සහයෝගීතාවට බාධා කරන උදාසීනත්වය පැරදවීමට සහ බෙදාගැනීම වලක්වන ව්‍යාජ මධ්‍යස්ථභාවය ඉවතලන්නට අපි කැඳවීම් ලබා සිටිමු."

"අපගේ ගැලවීමේ බලාපොරොත්තුව සම්පූර්ණත්වයට පත් කරන ක්‍රිස්තුන් වහන්සේ ගේ වරප්‍රසාදය, වඩාත් යුක්තිසහගත, සාධාරණ හා සහෝදරත්වයෙන් යුත් ලෝකයක් ගොඩනැගීමට උන්වහන්සේ සමග සම්බන්ධ වීමට අප යොමු කරයි. ඒම ලෝකය වූ කලී සෑම පුද්ගලයකුටම හා සෑම මැවිල්ලකටම දෙවියන් වහන්සේ ගේ මූලික මැවිල්ලේ සංහිඳියාව තුළ සාමයෙන් විසිය හැකි ලෝකයකි" යැයි පාප් වහන්සේ කියා සිටියහ.

දේව මාතාවන් වන මරිය වහන්සේ 
සවැනි පාවුළු පාප් වහන්සේ විසින් ජනවාරි පළමුවන දිනය ලෝක සාම දිනය ලෙස ද නම් කෙරිණි. මේ අනුව ප්‍රැන්සිස් පාප් වහන්සේ දේව මාතාවන් දෙස අවධානය යොමු කරමින් එතුමිය හා සාමය අතර ඇති සම්බන්ධය පහදා දුන්හ.

"නව වසරේ උදාවත් සමග මරිය වහන්සේ ගේ දිව්‍ය මාතෘත්වය සාමයේ සංකේතයක් ලෙස සලකන්නැයි සභාව ලෝකයට ඇරැයුම් කරන " බව සුදොතුම් පියතුමා කියා සිටියේය. "එතුමිය තුළ දෙවි සමිඳාණන් ගේ ආදී පොරොන්දුව පුර්ණත්වයට පත් වන්නේ ය. දේව දූතයා ගේ වචනය කෙරෙහි විශ්වාස තැබූ ඕ තුමිය පුත්‍රයාණන් වහන්සේ පිළිසිඳ ගෙන ස්වාමීන් වහන්සේ ගේ මව   බවට පත්  වුවා ය. එතුමිය මගින්, එතුමිය ගේ 'ආමෙන්' යන පිළිගැනීමෙන් කාලයේ සම්පුර්ණත්වය පැමිණියේ ය."

"ඇය අපට පෙනෙන්නේ ජේසු සමිඳුන් පිලිබඳ මතකයෙන් මුවවිට දක්වා පිරුණු බඳුනක් ලෙසය. ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම නිවරැදිව අවබෝධ කරගැනීමට අපට සහාය විය හැකි ප්‍රඥාවේ ආසනයක් ලෙසය."

"නුතන ලෝකයේ අපට පෞද්ගලිකව බලපාන සිද්ධිවලත්, අපේ පවුල්වලට, අපගේ රටවලට හා සමස්ත ලෝකයට බලපාන සිද්ධිවලත් සැබෑ අර්ථය ග්‍රහණය කර ගැනීමට මරිය මව  අද  අපට හැකියාව ලබා දෙයි. දාර්ශනික තර්කයට හෝ දේශපාලන සාකච්ඡාවට ප්‍රවේශ විය නොහැකි තැනට විශ්වාසයේ බලයට ලඟා විය හැකිය. ක්‍රිස්තුන් වහන්සේ ගේ සුබ අස්නේ වරප්‍රසාදයෙන් පුර්ණ වූ මෙම විශ්වාසයේ බලයට බුද්ධිමය තර්කයේ හා සාකච්ඡාවේ නව මංපෙත් විවෘත කල හැකි" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය