"රුදුරු බියකරු නපුරෙන් ලොව ගලවා ගත හැක්කේ දෙවියන් වහන්සේට පමණි" - නත්තල් දා “urbi et orbi” දේශනය

"Only God can overcome 'monstrous' evil in the world : Pope says at "urbi et orbi" blessing 



(2015 දෙසැම්බර 26)
2015 දෙසැම්බර් 25 නත්තල් දා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රය පුරා නත්තල් සිරියත් නත්තල් බැතියත් ගලා යමින් තිබුනේය. එහෙත්  වෙනදා දක්නට නොලැබෙන විශේෂත්වයක් මෙවර  එහි තිබුනේය. එනම් චතුරශ්‍ර පුරා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබෙන් අයුරු පැහැදිලිව දක්නට ලැබීමයි.

කෙසේ නමුත්, නත්තලට වතිකානයට පැමිණෙන වන්දනාකරුවන් බියගැන්වීමට එම ආරක්ෂක විධිවිධාන සමත්ව තිබුනේ නැත. නත්තල් දා මධ්‍යාහ්නය වන විට 50,000කට අධික වන්දනා කරුවන් පිරිසක් පාප්වහන්සේගේ නත්තල් “urbi et orbi” විශේෂ ආශීර්වාදය ලබා ගැනීමට සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී සිටියහ. මෙය පාප් වහන්සේ නත්තල් දිනයේ "නගරයට හා ලෝකයට" දෙන විශේෂ ආශීර්වාදයයි.

මෙවර “urbi et orbi” ආශීර්වාදයට පෙර සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කල දේශනයේ දී ලෝකයේ ගැටුම් පවතින ප්‍රදේශ වෙනුවෙන් හා ත්‍රස්තවාදයෙන් හා දුප්පත්කමින් දුන් විඳින ජනතාව වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කළහ. උන්වහන්සේ අවධාරණය කලේ රුදුරු නපුර පරාජය කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණක් බවයි. එසේම දෙවියන් වහන්සේ උපදින තැන සාමය පවතින බවත්, සාමය පවතින තැන වෛරයටත් යුද්ධයටත් ඉඩක් නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

"ජේසු සමිඳුන් මානව වර්ගයා ගේ සිතිජය මත උදා වූ කාන්තිමත් 'දවස' " යැයි සිය දේශනය ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "උන්වන්සේ සිය විශිෂ්ට කරුණාව හා මෘදු බව  සමස්ත ලෝකයටම අනාවරණය කළ දයාවේ දවසයි උන්වහන්සේ බිය සහ සාංකාවේ අඳුර දුරු කරන ආලෝකයේ දවසයි; මුණගැසීම, සංවාදය හා සමගි සන්ධානය ඇතිකරන සාමයේ දවසයි."

ලෝකයේ එකම ගලවුම්කාරයාණන් ජේසු සමිඳුන් පමණක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය. "අප මුදා ගත හැක්කේ උන්වහන්සේට පමණක් ම ය. විවිධ මුහුණුවර ගන්නා නපුරෙන් -ඇතැම් විට රුදුරු ලෙස බියකරු වන නපුරෙන්-  ලෝකය ගලවා ගත හැක්කේ දෙවියන් වහන්සේට පමණකි. මානව සිත් පරිවර්තනය කොට, මිනිස් බලයෙන් විසඳිය  නොහැකි ගැටළු විසඳිය හැකි මාර්ගය පෙන්වා දිය හැක්කේ දේව වරප්‍රසාදයට පමණකි."



ජේසු සමිඳුන් උපදින තැන  ඇති වන සාමය, ශාන්තිය හා බලාපොරොත්තුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කලේ කවියක් ලෙසයි: "දෙවියන් වහන්සේ උපදින තැන බලාපොරොත්තුව උපත ලබන්නේ ය. දෙවිඳුන් උපදින තැන සාමය උපත ලබන්නේ ය. සාමය උපත ලබන තැන වෛරයට හෝ යුද්ධයට ඉඩක් නැත."

සැබෑව මෙය නමුදු වෛරයෙන් හා යුද ගින්නෙන් දීර්ඝ කාලීනව පීඩා විඳින්නේ ජේසු සමිඳුන් මෙලොව උපත ලැබූ දේශයේ  ජනතාව බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. ඊශ්‍රායෙලය හා පලස්තීනය රිජු සාකච්ඡා යලි ආරම්භ කොට දෙපාර්ශවයෙම ජනතාවට සංහිඳියාවෙන් ජීවත් විය හැකි ආකාරයේ සම්මුතියකට එළඹෙන්නට ඔවුනට හැකිවේවායි එතුමා ප්‍රාර්ථනා කලේ ය. මේ වන විට යුද බියෙන් වෙලී ඇති, සිරියාව, ලිබියාව, උප සහරා අප්‍රිකාව, ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය, බුරුන්ඩි, දකුණු සූඩානය සහ යුක්රේනය යන රටවල සාමය ඇති වන පිණිස ද පාප් වහන්සේ යාච්ඥා කළහ. ත්‍රස්තවාදී ප්‍රහාර වලට ගොදුරු වූ බීරූට්, පැරිස්, බමාකෝ සහ ටියුනිස් නගරද උන්වහන්සේ සිහිපත් කළහ.

ලෝකයේ විවිධ ප්‍රදේශ වල තමන් කිතුනුවන් වීම නිසා විවිධ වද හිංසාවලට ලක්වන ක්‍රිස්තියානි සහෝදර සහෝරියන් වෙනුවෙන් ද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ යාච්ඥා කළහ. :ජේසු බිලිඳුන් ඔවුනට සැනසීමත් ශක්තිය හා ධෛර්යයත් ලබාදේවා " යි උන්වහන්සේ සඳහන් කළහ.

දෙවියන් වහන්සේ සිටින තැන මානව ගරුත්වය ආරක්ෂා වන බව ද පාප් වහන්සේ පෙන්වා දුන්හ. එහෙත් අද ලොව තුළ විවිධාකාරයෙන් මානව ගරුත්වය කෙලෙසී ඇති අන්දම එතුමා පැහැදිලි කලේ ය. "දෙවියන් වහන්සේ උපත ලබන තැන, බලාපොරොත්තුව උපත ලබයි. බලාපොරොත්තුව උපදින තැන, මානව පුද්ගලයෝ සිය ගරුත්වය යලි දිනා ගනිති. එහෙත් වර්තමානයේ කාන්තාවන් හා මිනිසුන් විශාල සංඛ්‍යාවකට සිය මානව ගරුත්වය අහිමි කරනු ලැබ තිබේ. එසේම, ජේසු බිලිඳුන් ලෙසින් ඔවුහු ස සීතලෙන්, දුප්පත්කමින් සහ ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පීඩා විඳිති.  බොහෝ දුර්වල අයට අද අපගේ සමීප බව දැනේවා! විශේෂයෙන් ළමා සෙබළුන්ට, ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන කාන්තාවන්ට, මිනිස් ප්‍රවාහන ජාවාරම් හා මත්ද්‍රව්‍ය වෙළෙඳාමට ගොදුරු වූ අයට අපේ සමීප බව දැනේවා!" යි සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

සරණාගතයන් පිළිඋණුසුම්ව ගැනීමට විවිධ රටවල  ජනතාව තුළ  සෙනෙහස හා ආදරය ජනිත වන ලෙස ද විරැකියාවෙන් පීඩා විඳින්නන් තුළ බලාපොරොත්තුව පහල වන ලෙස ද පාප් වහන්සේ යාච්ඥා කළහ.

"දෙවිඳුන් උපත ලබන තැන දයා කරුණාව මල් ඵල දරයි. විශේෂයෙන් ම මේ ජුබිලි වසරේ දෙවි සමිඳාණන් අපට දෙන අති අමිල වූ තිළිණය දයාවයි. මේ වසරේ අප කැඳවනු ලබා සිටින්නේ අපගේ ස්වර්ගීය පියාණන් අප වෙත ඇති මෘදු ප්‍රේමය යළි අනාවරණය කර ගැනීමටයි. ...   තුවාල සුව කරන්නා වුත් , නපුර පරාජය කරන්නාවූත් දෙවි සමිඳුන් ගේ කරුණාබර ප්‍රේමය අත්දැකීමට මේ වසරේ දී අප සැම දෙනාටමත් විශේෂයෙන් සිරකරුවනටත් උන්වහන්සේ වරම් දෙන සේක්වා" යි පාප් වහන්සේ වැඩි දුරටත් ප්‍රාර්ථනා කළහ.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය