පාප්වහන්සේට සාමය පිලිබඳ කීර්තිමත් ෂාලමේන් ත්‍යාගය පිරිනැමේ

Pope Francis awarded the prestigious Charlemagne prize for peace work 



(2015 දෙසැම්බර 23)
2016 යුරෝපීය ෂාලමේන් ත්‍යාගය සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේට පිරිනැමීමට එම ත්‍යාග කමිටුව තීරණය කර තිබේ. ලෝක සාමය හා සංස්කෘතීන් අතර අවබෝධය ගොඩනැංවීම සඳහා පාප් වහන්සේ ගන්නා ප්‍රයත්නය වෙනුවෙන් මෙම ත්‍යාගය එතුමනට පිරිනැමීමට තීරණය  කල බව ත්‍යාග කමිටුව අද,දෙසැම්බර් 23 බදාදා, දහවල් ජර්මනියේ ආහන් නුවර දී ප්‍රකාශ කළේය.

යුරෝපයේ කීර්තිමත් සාම ත්‍යාගය ලෙස සැලකෙන ෂාලමේන් ත්‍යාගය පිරිනැමෙන්නේ ජර්මනියේ ආහන් නගරය විසිනි. ලෝක සාමය, මානුෂවාදය, ජාතීන් හා සංස්කෘතීන් අතර සුහදතාව ගොඩ නැංවීම සඳහා සහ යුරෝපයේ සාමය හා එක්සත් කම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කරන පුද්ගලයන්ට වාර්ෂිකව මෙම ත්‍යාගය පිරිනැමේ.

ප්‍රැන්සිස් පාප් වහන්සේට 2016 ෂාලමේන් ත්‍යාගය පිරිනැමීමේ පුවත වතිකාන ප්‍රකාශක ජේසු නිකායික ෆෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමා තහවුරු කළේය. මෙම ගෞරවය පිළිගැනීමට පාප්වහන්සේ තීරණය කර ඇති බව ද එතුමා අනාවරණය කළේය. මෙවැනි ත්‍යාග හෝ ගෞරව පිළිගැනීම පාප් වහන්සේගේ සිරිතක් නොවන නමුත් ලෝකය පුරා විවිධ ප්‍රදේශවල සාමය වෙනුවෙන් කැපවී කටයුතු කරන සියල්ලන් දිරිගැන්වීමත් ඔවුනට ගරු කිරීමත් සඳහා එය පිළිගැනීමට එතුමා තීරණය කර ඇති බව ලොම්බාඩි පියතුමා කීවේය.

ප්‍රැන්සිස් පාප් වහන්සේට ෂාලමේන් ගෞරවය පුද කිරීමට හේතුව දීර්ඝ හේතු පාඨයක් මගින් කමිටුව පෙන්වා දී තිබේ. එම කමිටුව විශේෂයෙන් පවසන්නේ, යුරෝපයට අයත් නොවන දේශයක සිට (ආජන්ටිනාවේ සිට) යුරෝපයට පැමිණි අයකු වුවද පාප්වහන්සේ යුරෝපයේ මුතුන් මිත්තන් තුළ යුරෝපයත් ලෝකයත් පිලිබඳව තිබූ දැක්ම පාප් වහන්සේ වෙතින්  විද්‍යමාන වන බවයි. එතුමා 2014 නොවැම්බර මාසයේ  යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් කල දේශනයේ එතුමන්ගේ මෙම දැක්ම පැහැදිලි ලෙස පෙනෙන්නට ඇති බව කමිටුව සඳහන් කරයි. එසේම සිය ජීවිතය හා ක්‍රියා මාර්ග මගින් එම වටිනාකම් සාක්ෂාත් කිරීමට එතුමා ගන්නා උත්සාහය කමිටුවේ පැසසුමට ලක් වී තිබේ.



ෂාලමේන් ත්‍යාගය (Charlemagne Prize; ජර්මන්: Karlspreis) මුලදී හැඳින්වුණේ ආහන් නුවර ජාත්‍යන්තර ෂාලමේන් ත්‍යාගය වශයෙනි. 1950 සිට මෙම ත්‍යාගය පිරිනමන ලද්දේ ලෝක සාමය වැනි යුරෝපීය වටිනාකම් වෙනුවෙන් සේවා කල පුද්ගලයන් පිළිගැනීම සඳහාය.

මෙම ත්‍යාගය නම් කර ඇත්තේ 8 වන සියවසේ යුරෝපය එක්සත් කල ෂාලමේන් රජතුමාගේ නමිනි. "මහා චාල්ස්" සහ "පළමුවන චාල්ස්" යනුවෙන් ද හැඳින්වෙන ඔහු නූතන ජර්මනියත් ප්‍රංශයත් ගොඩ නැගීමේ පුරෝගාමියා වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහුගේ පාලන සමය කිතු දහමට හා කතෝලික සභාවට ද සාමකාමී හා යහපත් කාල වකවානුවක් විය.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ෂාලමේන් ත්‍යාගය ලැබු දෙවැනි පාප්වහන්සේ ය. 2004 දී එම ත්‍යාගය ලැබූ අයර්ලන්ත ජාතික පැට් කොක්ස්ට අතිරේකව "අතිවිශේෂ ත්‍යාගයක්" ලෙස එය දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේට එම ත්‍යාගය පිරිනැමිණ. ෂාලමේන් ත්‍යාගය ලැබූ සෙසු කීර්තිමත් නායකයන් අතර ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්  (1956), ස්පාඥ්ඥයේ පළමුවන ජුවාන් කාර්ලොස් රජු (1982), හෙන්රි කිසින්ජර් (1987) සහ බිල් ක්ලින්ටන් (2000) ද වෙති.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය