දයාවේ ශුද්ධ වසර ඇරඹේ !

The Year of Mercy begins today!


(2015  දෙසැම්බර 8)
දයාවේ ශුද්ධ වසර අද ඇරඹේ.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නියම කර ඇති ආකාරයෙන් මේ වසර ආරම්භ වන්නේ දේව මාතාවන් වන මරිය මෑණියන්ගේ නිර්මල පිළිසිඳීමේ මහා මංගල්‍යය  දී ඇති අද දින ය.පාප් වහන්සේ වතිකානයේ පවත්වන විශේෂ දේව මෙහෙයකින් පසු ජයන්ති වසරේ ශුද්ධ ද්වාරය විවෘත කිරීමත් සමග ශුද්ධ වසරට මුල පිරේ. පාප් වහන්සේ ගේ උපදෙස් මත මෙම වසර සැබෑ ශුද්ධ වසරක් කර ගැනීම සඳහා වතිකානයේ නව ධර්මදානය පිලිබඳ සසුන් නියෝජනය විසින් පුළුල් වැඩ පිළිවෙලක් හා ආධ්‍යාත්මික වැඩසටහන් ගණනාවක් සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන් ලොව පුරා රදගුරු පදවි මට්ටමින් සිදු කෙරේ.

දයාවේ වසරක් ඇයි?

ඇත්තෙන්ම සමස්ත මානව වර්ගයාටම දේව දයාව අතවශ්‍ය බව හා සෑම මනුෂ්‍යයකුම තම සහෝදර මනුෂ්‍යයනට දයා කරුණාව දැකිවිය යුතු බව පවසන්නට ආගමක් කෙරෙහි විශ්වාසයක් අවශ්‍යම නොවේ. වෛරය, තේරුම් නොගැනීම, ඊර්ෂ්‍යාව, අහංකාරකම වැනි විවධ හේතුන් නිසා ලොව පුරා දැනට ඇවිලෙමින් ඇති යුද ගිනි පමණ වුව දයාවේ අවශ්‍යතාව අවධාරණය කරන්නේ ය. එහෙත් දයා කරුණාව හුදෙක් ස්වයංජාතව පවතින්නක් නොවේ. එය හුදෙක් මිනිසාගේ උත්සාහයෙන් පමණක් දිනා ගත හැක්කක් ද නොවේ. මන්ද දයා කරුණාව වූ කලී දෙවියන්වහන්සේ ගේ ම ස්වභාවයක් (attribute) නිසා ය. ඇත්තෙන් ම දෙවියන් වහන්සේ දයා කරුණාව වන සේක. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වූ කලි මාංශගත වූ දෙවියන්වහන්සේ ගේ දයා කරුණාව යැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ නිසාය.

මේ නිසා මේ වසර අපගේ පාප වලට දෙවිඳුන් ගෙන්  සමාව ලබා ගැනීමටත් එසේම, අපට වරද කර ඇති අයට  සමාව දීමටත් වසරක් කර ගත යුතු යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. පැරැණි ගිවිසුමේ සිට ජයන්ති හෙවත් ජුබිලි වසරක සිදුවන එක් අංගයකි, ස්වකීය ණය කාරයින්ට සමාව දීම. එබැවින් මේ වසරේදී, පරමණ්ඩල යැදුමේ කියන ලෙස, "අපේ ණය කාරයින්ට සමා කරන"අතර, එම වසරේ දී විවර වන සුවිශේෂී දොරටුවෙන් ඇතුළුවී අප වෙත ද දේව දයාව ඉල්ලා සිටිනු හැකි වනු ඇත.

එපමණක් නොව මෙම වසර තුළ සමස්ත කතෝලික සභාව සතුව ද වගකීමක් ඇති බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. එම කාර්යභාරය නම් "මෝසස් ගේ අසුනින් ඉවත්ව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ හදවතින් හා දෙනෙතින්" ලෝකය දෙස බැලීමයි. මෙහි අරුත නම්, සභාව නීතියට නව අරුතක් දී ජේසු සමිඳුන් ගේ ජීවිතය වූ ප්‍රේමයෙන් හා කරුණාවෙන් සිය ජනතාව දෙස බැලීමට පටන් ගැනීමයි. ඔවුන් ගේ ජීවන අරගල හා එක් වීමයි. මේ අනුව සභාව ජනතාව බැහැර කරන ස්ථානයක් නොව ජනතාව ප්‍රේමයෙන් ඇතුලත් කරගන්නා "පියාණන් ගේ ගෙදර" බවට පත් කල යුතුව තිබේ. සිය අකීකරු පුත්‍රයාට සමාව දුන් කරුණාබර පියාණන්ද,ගල් ගසා මරා දැමීමට තමන් ඉදිරියට ගෙනා පව්කාර ස්ත්‍රියට හා පසුතැවුණු දකුණේ සොරාට සමාව දුන් නාසරෙතයේ ජේසු සමිඳාණන් ද සභාවේ ආදර්ශය විය යුතු බව පාප් වහන්සේ පවසති.



මේ කරුණු දයාවේ ඇති විශේෂ ජයන්ති වසර ප්‍රකාශයට පත් කරමින් පාප් වහන්සේ නිකුත් කල හසුනේ සඳහන් වන්නේ මෙසේය:

"දයාව, දේව පුත්‍රයාණන් වන ජේසු සමිඳුන් ගේ මිහි මත ජීවිතයේ මෙහෙවර විය. එබැවින් එය සභාවේ දූත මෙහෙවර ද වන්නේය.

:ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පියාණන් වහන්සේ ගේ දයාවේ වත මඬලයි. මේ වචන වලින් කිතුනු ඇදහිල්ලේ අබිරහස සාරාංශ කල හැකිය. නාසරෙත් හි ජේසුන්  වහන්සේ තුළ දයාව ජීවමාන විය; දෘශ්‍යමාන විය. උන්වහන්සේ තුළ දයාව මස්තකප්‍රාප්තියට පත් විය."

"අපි නිරන්තරයෙන් ම  දයාවේ අබිරහස ගැන මෙනෙහි කල  යුත්තෙමු. දයාව  වූ කලී ආනන්දයේ, ශාන්තියේ සහ සාමයේ නොසිඳෙන දිය උල්පතකි.......දයාව යනු  දෙවිඳානන් අප හමු වීමට එන අත්‍යන්තවූ ද අති උත්තරීතර වූ ද ක්‍රියාවයි. දයාව යනු ජීවිත මාර්ගයේ තමන්ට මුණගැසෙන සොයුරන් සොයුරියන් ගේ දෙනෙත් දෙස අවංකව නෙත් යොමන සෑම  පුද්ගලයකු ගේ ම හද ගැබ තුළ ක්‍රියාත්මක වන  මුලික නීතියයි. දයාව යනු අපගේ පව්කාර බව නොතකා දෙවිඳානන් සදහටම අපට ප්‍රේම කරන බව දැනීමෙන්, අප හදවත් බලාපොරොත්තුවෙන් විවෘත කොට දෙවිඳුන් හා මිනිසා යා කරන පාලමයි.

අප තුළ ක්‍රියාත්මක වන පියාණන් වහන්සේගේ ක්‍රියාකාරිත්වයේ ජීවමාන සාක්ෂිකාරයන් බවට අප පත්වනු පිණිස,  මෙම දයාවේ අබිරහස කරෙහි අපි වඩාත් අවධානයෙන් යුතුව නෙත් යොමු කල යුත්තෙමු."

අප මේ ඇතුළුවන්නේ එම අබිරහස ගැන වඩා ගැඹුරින් මෙනෙහි කරන දයාවේ අතිවිශේෂ ජයන්ති වසරටයි.

(වතිකාන හඬ සංස්කාරක)


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය