පවුල් ජීවිතය සෙනෙහසේ සහ යාච්ඥාවේ වන්දනා ගමනක් - ශුද්ධවූ පවුලේ මංගල්‍ය දින භාවනාව

 "Family life is a pilgrimage of life and prayer" - Pope's meditation on the Feast of the Holy Family 


2015 දෙසැම්බර 28

"පවුල් ජීවිතය සෙනෙහසේ සහ යාච්ඥාවේ දෛනික වන්දනා ගමනකි. තේරුම් ගැනීම, සමාවදීම හා විවෘත වීම තුළ එම ගමන වඩා සුන්දර වෙයි." දෙසැම්බර් 27 වැනිදා ඉරිදාට යෙදුනු ජේසු-මරිය-ජුසේ ශුද්ධවූ පවුලේ මංගල්‍යය නිමිත්තෙන්පැවැති දිව්‍ය පූජාවේ ධර්මදේශනය කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියහ.

"පවුලක සියලු සාමාජිකයන් එක් ඉලක්කයක් කරා එකට ගමනේ යෙදීම කෙතරම් වැදගත් ද? එකට ගමන් කිරීම සඳහා අපට මාර්ගයක් ඇති බව අප දන්නවා. මේ මාර්ගයේ දුෂ්කරතා හා ප්‍රශ්න අපට හමුවෙනවා. එහෙත් ඒ ගමන තුළ අප සතුට සහ සැනසීම රසවිඳින අවස්ථා අපමණයි," සාන්ත පීතර බැසිලිකාවේ පැවැති මෙහෙයේ දී පාප් වහන්සේ පෙන්වා දුන්හ.

පවුල් ජීවිතය නමැති වන්දනා ගමන ජීවිතය පුරා ජීවත් කල යුත්තක් බව එතුමා කියා සිටියේ ය: "අප අපගේ ගමනාන්තය වෙත පැමිණි පමනින්  වන්දනාගමනක් අවසන් නොවේ. එහෙත් එය පුර්ණත්වයට පැමිණෙන්නේ, අප යළිත් අපගේ ගෙදරට පැමිණ අපගේ දෛනික ජීවිතය ආරම්භ කර,  වන්දනා ගමනින් අප ලැබූ ආධ්‍යාත්මික ඵල සහ අත්දැකීම් එදිනෙදා ජීවිතයේ ජීවත් කරන විට ය."

වර්තමානයේ විවිධ ගැටළු තිබුනත් පවුල කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නැයි පාප් වහන්සේ ඉල්ලා සිටියහ. "කිසිවක් සඟවා තබා නොගනිමින්, අපගේ හදවත් සෑම වීම එකිනෙකාට විවෘත කිරීමට අපට හැකි වූ විට පවුල් ජීවිතය සොඳුරු වන්නේය. ආදරය ඇති තැන, තේරුම් ගැනීම සහ සමාව දීමද පවතින්නේ ය."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ශුද්ධවූ පවුලේ මංගල්‍යය කතෝලික සභාව මේ වසරේ සමරන දයාවේ ජුබිලි වසරට ද සම්බන්ධ කළේය: "දයාවේ වසර තුළ සෑම කිතුනු පවුලකටම සමාව දීමේ ප්‍රීතිය අත්දකිමින් වන්දනා ගමනේ යෙදෙන වරප්‍රසාද ලත් ස්ථානයක් බවට පත් විය හැකිය. ප්‍රේමයේ හරය සමාවදීමයි. අත්වැරදීම තේරුම් ගෙන ඒවාට පිළියම් යෙදීමේ හැකියාව ඇත්තේ සමාවදීමටයි. දෙවියන් වහන්සේ අපට සමාව නොදුන් සේක් නම් අප කෙතරම් දුක්ඛිත තත්වයකට වැටෙන්නේ ද? පවුල තුළ අප එකිනෙකාට සමාවදීමට ඉගෙන ගනිමු. මන්ද අප අතින් කවර අත්වැරැද්දක් වුවත් පවුල තුළ අප තේරුම් ගන්නා බවටත් අත්වැරැද්ද නිවැරදි කර ගැනීමට අපට සහයෝගය දෙන බවටත් නිශ්චිත විශ්වාසයක් අප තුල තිබේ."

පවුලක් ලෙස එකට යාච්ඥා කිරීමේ වැදගත්කම ද ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී අවධාරණය කළහ. පවුලක් ලෙස එකට නිතර දෙවිඳුන් යදින්නැයි එතුමා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. "සෑම දිනෙකම දවස ආරම්භයේ සහ අවසානයේ ප්‍රසාද ස්නාපන දිනයේ කරන්නාක් මෙන් දෙමාපියන්  සිය දරුවන්ගේ නළල මත කුරුසිය අඳිමින් ඔවුන් ආශීර්වාද කරන්නේ නම්, එය කෙතරම් සුන්දර ද? මෙය දෙමාපියන්ට සිය දරුවන් වෙනුවෙන් ඔප්පු කල හැකි සරලම යාච්ඥාවයි. ආහාර ගැනීමට පෙර පවුලේ සියලු දෙනා එක් වී පුංචි යාච්ඥාවක් ඔප්පු කිරීමත් වැදගත්.අපට ලබා දී ඇති දේවලට ස්වාමීන් වහන්සේට ස්තුති කිරීමටත්, අපට ලැබුණු දේ වඩා වැඩි අවශ්‍යතාවෙන් සිටින අය සමග බෙදා ගැනීම සඳහාත් මෙම යැදුම වැදගත් වෙයි. ජීවිතයේ වන්දනා ගමන සඳහා පවුල සතු පුහුණු කිරීමේ කාර්යභාරය මෙයයි."

ශුද්ධවූ පවුල මෙම කාර්යභාරය ඉටුකළ අන්දම ගැනද පාප් වහන්සේ භාවනා කළහ. මරියතුමිය හා ජුසේ තුමා ජේසු පුතනුවන්ට යාච්ඥා කිරීමට ඉගැන්වූ අන්දම සිතට මහත් සැනසිල්ලක් ගෙන එන බව එතුමා කීවේය. සුවිශේෂයේ මේ කරුණු එකින් එක විස්තර කර නොතිබුනත් එදා චාරිත්‍ර අනුව යහපත් ජුදා පවුල ලෙස ඔවුන් දවස තුළ පවුලක් ලෙස යාච්ඥා කරන්නට ඇති ආකාරය සුදොතුම් පියතුමා සිහිපත් කළේය. " ඒ වගේම සෑම සබත් දිනයකම, නීති පොත් සහ දිවසිවරුන්ගේ පොත්වල කියවීම වලට සවන් දීමටත්, ජනතාව සමග දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමටත් මේ පවුල ධර්ම ශාලාවට ගියා."

"එබැවින් දයාබර කිතුනු පවුල්වල සාමාජිකයිනි, මේ මහඟු මෙහෙවර මා ඔබට භාර කරනවා" පාප් වහන්සේ පැවසුහ. "එම මෙහෙවර නම්, දෛනික පවුල් ජීවිතයේ ගෘහ වන්දනා ගමනයි. සභාවට සේ ම සමස්ත ලෝකයටම මෙම මෙහෙවර වෙනදාටත් වඩා අද  බොහෝ සෙයින් අවශ්‍යව තිබෙනවා."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය