"සමාව දීම: ලොව සුවපත් කොට ඉදිරියට යා හැකි මාර්ගය" - සාන්ත ස්තේවන් මංගල්‍ය දින සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

"Forgiveness is the way forward from Christmas" - Pope says on the Feast of St. Stephen


(2015 දෙසැම්බර 27)

නත්තල් දාට පසුදා -දෙසැම්බර් 26 වැනිදා- සැමරෙන්නේ සාන්ත ස්තේවන් තුමා ගේ මංගල්‍ය දිනයයි. සාන්ත ස්තෙවන් තුමා ප්‍රථම කිතුනු ප්‍රාණ පරිත්‍යාගී වරයායි. එනම්, ජේසු සමිඳුන් ගේ ස්වර්ගාරෝහනයෙන් පසුව ස්වකීය ක්‍රිස්තියානි විශ්වාසය නිසාත් එය අත්හැරීම ප්‍රතික්ෂේප කිරීම නිසාත් කිතුනු විරෝධීන් විසින් මරා දමන ලද ප්‍රථම ක්‍රිස්තු අනුගාමිකයා ස්තේවන් තුමායි. ඔහු ප්‍රාණ පරිත්‍යාගී වරයට ලක් කරන ලද්දේ ගල් ගසා මරා දැමීමෙනි.

එතුමන් ගේ මංගල දින සාන්ත පීතර චතුරශ්‍රයේ පැවති තුන්කාල ආරාධනා යාච්ඥාවේදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්නේ නත්තලේ සිට ඉදිරියට යා හැකි මාර්ගය සාන්ත ස්තේවන් තුමාගේ ප්‍රාණපරිත්‍යාගී භාවය තුළ ගැබ්ව ඇති බවයි. තමන් වද හිංසාවට ලක් කරන්නන්ට සමාව දෙන්නැයි එතුමන් කල සිත් හරවන යැදුම හා එම ක්‍රියාව තුළ මෙම නත්තලේ මාර්ගය ගැබ්ව ඇති බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"විශ්වාසයෙන් ඉදිරියට ගමන් කිරීමට නම්, ප්‍රථමයෙන් ම අප දෙවියන් වහන්සේගෙන් සමාව  ලබා ගත යුතුයි. සෑමවිටම, සියල්ලටම සමාව දීමට සුදානම්ව සිටින දෙවියන් වහන්සේව අප හමුවිය යුතුයි. සමාවදීම හදවත් සුවපත් කොට ආදරය යළි ජීව ගන්වයි. අප කිසිවිටෙකත් දෙවියන්වහන්සේගෙන් සමාව ඉල්ලා වෙහෙසට පත් විය යුතු නැත. මන්ද අප සමාව දීමට ඉගෙනගන්නේ අපට සමාව ලැබුණු විටය; අපට සමාව ලැබුණු බව දැනුනු විට" යැයි දෙසැම්බර් 26 වැනිදා තුන්කාල ආරාධනා යැදුමට සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් අමතමින් පාප් වහන්සේ කියා සිටියහ.

දෙසැම්බර් 25 වැනි දා සැමරූ නත්තලේත් 26 වැනිදා සැමැරෙන සාන්ත ස්තේවන් මංගල්‍ය දිනයේත් ඇති අන්‍යොන්‍ය සම්බන්ධය පාප් වහන්සේ පැහැදිලි කළහ: "ඊයේ අප භාවනා කලේ අප වෙනුවෙන් මාංශගත වූ දෙවියන් වහන්සේ ගේ කරුණාබර ප්‍රේමය පිළිබඳවයි. අද අප දකින්නේ ස්වකීය ජීවිතය පූජා කිරීම මගින් උන්වහන්සේ ගේ ශ්‍රාවකයා දක්වන උන්වහන්සේට අනුරූප, ස්ථිර ප්‍රතිචාරයයි. ඊයේ ගැලවුම් කාරයානන්  වහන්සේ මිහිමත උපත ලැබූ සේක. අද උන්වහන්සේ ගේ විශ්වාසවන්ත සාක්ෂිකරු ස්වර්ගයෙහි උපන්නේ ය. ඊයේ ද අද සේ ම ජීවිතය ප්‍රතික්ෂේප කිරීමේ අන්ධකාරය දක්නට ලැබේ. එහෙත් ඊට වඩා බොහෝ සෙයින් ප්‍රබලව බබළන්නේ, වෛරය පරාජය කොට නව ලෝකයක් උදා කරන ප්‍රේමයේ ආලෝකයයි." 

සාන්ත ස්තේවන් තුමාගේ ක්‍රිස්තියානි කමේ උපරිම සාක්ෂිය එදා කිතුනු පීඩකයන් විසින් එතුමන් මරා දැමුණු මොහොතේ ප්‍රබලව ප්‍රදර්ශනය වූ බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. තමාගේ ඝාතකයන් මත මෙම පාපය  නොපවරන්නැයි ද ඔවුනට සමාව දෙන්නැයි ද තමාට ගල් පහර වදින අතර ස්තේවන් තුමා දන ගසා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. මෙහිදී ස්තේවන් තුමා ක්‍රියා කලේ ජේසු සමිඳුන් සේ බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. " එතුමා ප්‍රේම කරනවා; එතුමා දානය කරනවා; විශේෂයෙන් ම එතුමා සමාව දානය කරනවා. සමා දානය හෙවත් සමාව දීම යනු දානයේ ඉහළම ප්‍රකාශනයයි."

සාන්ත ස්තෙවන් තුමාගේ මරණය සමාව දීමේ බලය ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නක් බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. ස්තේවන් තුමාට ගල් ගසා මරණයට පත් කරන ලද ස්ථානයේ එක් වැදගත් පුද්ගලයෙක් සිටියේය. ඔහු දැඩි කිතුනු විරෝධී පීඩකයකු ලෙස කුප්‍රකටව සිටි සාවුල් නමැති රෝමානු ජුදෙව්වා ය. (සටහන: කිතුනුවන්  ජුදෙව් දහමට නිගා කරන බව ඇදහූ සාවුල් කිතුනුවන් ඇදගෙන  ගොස්  හිංසා කළේය. ඔවුන් මරා දැමුවේය. එහෙත් පසුව ජුදෙව්වන්ගෙන් බැහැර අන්‍ය ජාතිකයනට ක්‍රිස්තු ධර්මය හෙවත් සුබ අස්න ගෙන යන අපොස්තුලුවරයා ලෙස ජේසු සමිඳුන් විසින් ම තෝරා ගන්නා ලද්දේ සාවුල් ය. පසුව ඔහු පාවුළු නමින් බව්තීස්මය ලැබුවේය.) පාප්වහන්සේ කියා සිටියේ සාවුල්, පාවුළු බවට සිදුවූ පරිවර්තනයට පාදක වුයේ ස්තෙවන් තුමා ගේ සාමාව  දීම බවයි:

"පාවුළු තුමා උපත ලැබුවේ දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදයෙන් සහ ස්තේවන් තුමා ගේ සමාව දීමෙන් බව අපට කිව හැකියි. අප ද උපත ලබන්නේ දෙවියන් වහන්සේ ගේ සමාවෙනි. ප්‍රසාද ස්නාපනයේදී පමණක් නොව අපගේ  පාපවලට සමාව ලැබෙන සෑම මොහොතකම අපගේ හදවත් යළි උපත ලබයි."

ක්‍රිස්තුන් වහන්සේ අනුකරණය කිරීමේ මාර්ගය සාන්ත ස්තෙවන් තුමා සේ යාච්ඥා කිරීම බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. අප සෑම කෙනෙකුටම එක් එක් දිනයේ  (අප අසල්වැසියන් හෝ මිතුරන් හෝ නෑසියන් අතින්) සිදුවන ලොකු හෝ කුඩා වැරදි වලට සමාව දීම මගින් මෙය අපට පටන් ගත හැකිය: "එය ඔබගේ හදවතින් නැගෙන යාච්ඥාවකින් පටන්ගත හැකියි. කෙනෙකු අපට කරන වැරැද්ද නිසා අපගේ හදවත තුළ හටගන්නා අමනාපය හෝ තරහව, එම නපුර කර පුද්ගලයන් දෙවියන් වහන්සේ ගේ දයාවට භාර කිරීමේ යාච්ඥාවක් බවට පරිවර්තනය කරගන්න" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"ආදරය හා යාච්ඥාව, ඇතුළාන්ත අමනාපයෙන්, තරහවෙන් හා කේන්තියෙන් අප නිදහස් කරයි. සෑම දිනකම සමාව දීමට අප පුහුණු කරගැනීමට අපට  අවස්ථාවක්  උදා වේ. සමාව දීම ජීවත් කිරීම මගින් මිනිසා දෙවියන් වහන්සේ  වෙත  සමීප  වෙයි.ඒ මගින් අපගේ ස්වර්ගීය පියාණන් සේ අපි දයා කරුණාවෙන් පිරුණු අය  බවට පත්වෙමු. මන්ද සමාව දීමමගින් අප නපුර යහපතින් ජයගන්නා නිසා ය; වෛරය ප්‍රේමය බවට පරිවර්තනය කරන නිසා ය; මේ මගින් ලෝකය වඩාත් පිරිසිදු තැනක් බවට පත්වන නිසා"  යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය