"සුඛවිහරණයෙන් මත් වූ ලොවක් තුළ සරල, සන්සුන්, ධාර්මික ජීවිතයකට සාක්ෂි දරමු" නත්තල් මැදියම් රෑ දේශනයෙන් පාප් වහන්සේ ඉල්ලා සිටිති

"In a society intoxicated by consumerism and extravagance, this Child calls us to act soberly"


(2015 දෙසැම්බර 25)
"පාපයට ඉඩදෙන අතර පව්කාරයාට අකාරුණික ලෙස සලකන අපේ ලෝකය තුළ, උදාසීනත්වයටත් සැකයටත් ප්‍රවිරුද්ධව ක්‍රියා කිරීමේ බලය ජේසු සමිඳුන් ගේ උපත තුළ ගැබ්ව ඇති"  බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. "සැකයට කිසිදු ඉඩක් නැත. සැකකිරීම, සෑම දෙයක්ම තර්කයට හා බුද්ධියට පමණක් සීමා කිරීම නිසා කිසිදාක සත්‍යය සොයා නොගන්නා  සංශයවාදීන්ටත් හේතු ඵලවාදීන්ටත් අපි භාර කරමු. එසේම යමක් අපට අහිමි වේ යැයි සිතීම නිසා ප්‍රේම කිරීමට නොහැකි හදවත් ඇති අයගේ උදාසීනත්වයට  ද කිසිදු ඉඩක් නොමැත. .......මෙම රාත්‍රියේ අබිරහස පැමිණෙන්නේ දෙවියවහන්සේ ගෙන් ම පමණකි. මේ රාත්‍රියේ දී  අපට ලැබුණු ආනන්දයේ හා ප්‍රීතියේ පණිවිඩය ඒ බව ඔප්පු කෙරෙන ප්‍රබලම සාක්ෂියයි.."

වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී 2015 නත්තල් දින මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජා යාගය ඔප්පු කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව පැවසූහ.

මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවේ දී ප්‍රකාශ වූ ලූක් සුබ අස්නේ එන ජේසු උපතේ කතාව යළි යළිත් අපට සිහිපත් කර දෙන්නේ ජේසු සමිඳුන් ගවලෙනක් තුළ දුප්පත් ලෙස ලොවට ජනිත වූ බවයි. මෙම ඓතිහාසික සිද්ධිය අපට දෙන උපදේශය වන්නේ, පාරිභෝගිකවාදී හා සුඛපරමවාදී (hedonistic) නුතන ලෝකයේ සැප සම්පත් "උදාසීනත්වයේ හා ඇල්මැරුණුභාවයේ සංස්කෘතිය" සේ සලකා අප විසින් ප්‍රතික්ෂේප කල යුතු බව යැයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

"පාරිභෝගිකවාදයෙන් හා පරමසුඛවාදයෙනුත්, ධනය හා ප්‍රමාණය ඉක්ම වූ සුඛ විහරනයෙනුත්, ප්‍රදර්ශනාත්මකභාවයෙන් හා ස්වරූපරාගයෙනුත් (narcissism) මත්වූ සමාජයක් තුළ බෙත්ලෙහෙමේ දරුවා අපට ආරාධනා කරන්නේ මධ්‍යස්ථව  හා සන්සුන්ව  ජීවත්වන ලෙසයි. වෙනත් වචන වලින් කියන්නේ නම් සරල, සමතුළිත, වෙනස් හෝ ප්‍රතිවිරුද්ධ නොවන, අත්‍යවශ්‍ය වූ දේ පමණක් දකින හා කරන ආකාරයෙන් ජීවත් වන ලෙසයි. පාපයට සැහැල්ලුවෙන් සලකන අතර අතර පව්කාරයාට අකාරුණික ලෙස සලකන ලෝකයක්  තුළ දේව කැමැත්ත තේරුම් ගැනීම සඳහා යුක්තිය පිලිබඳ  ප්‍රබල හැඟීමක් හා අවබෝධයක් අප වැඩිදියුණු කරගත යුතුය. නිතරම පාහේ අකාරුණික බවට පත් වන උදාසීනත්වයේ සංස්කෘතියක් මැද, ඒ වෙනුවට ආදාරයෙන්, අනුකම්පාවෙන් හා කරුණාවෙන් පිරුණු ධාර්මික වූ දිවිපෙවෙතක් ගත කිරීම වෙත අප යොමුවිය යුතු ය. මෙවැනි ධාර්මික ජීවිතයකට අවශ්‍ය දිරි පැන් අප ඇදගත යුතු වන්නේ යාච්ඥාවේ දිය උල්පතෙනි."

පැරැණි සහ නව ගිවිසුමෙන් උපටා ගත් දේව වචනය ගෙනහැර දක්වමින්, සිය ධර්මදේෂණයෙන් පාප් වහන්සේ තවදුරටත් කියා සිටියේ ආනන්දයේ සමිඳාණන් වන ක්‍රිස්තුන් වහන්සේ සිය මිහිමත උපත මගින් සියලු දුක'ඳුරු පහකොට මානව සිත් සතන් සිය ආනන්දයෙන් ආලෝකවත් කොට පහන් කර ඇති බවයි:

"සියලු දුක් දොම්නස් තුරන් කරනු ලැබ තිබේ. මන්ද, ජේසු බිලිඳුන් සෑම හදවතකටම අව්‍යාජ සතුට සොම්නස රැගෙන එන නිසා ය. අපගේ මානව ස්වභාවයේ පංගුකාරයකු වන දේව පුත්‍රයාණන් සිය උපත මගින් සියල්ල වෙනස් කර තිබේ. මේ උපත නිසා අප තවදුරටත් හුදෙකලා වී නැත. අත්හැරදමනු ලැබ නැත. ... "

කන්‍ය මරිය මෑණියන් සිය පුතනුවන් අපට ලබා දෙන්නේ නව ජීවිතයක ආරම්භයක් ලෙස බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය:"නිතරම පාපයේ අඳුරින් ආකුල වන අපගේ ජීවිත එළිය කිරීම සඳහා සැබෑ ආලෝකයාණන්  පැමිණ තිබේ. මේ රාත්‍රියේ දී අප කවුදැයි අප විසින් යලිත් අනාවරණය කරගනු ලැබ තිබේ.  අපගේ ගමනාන්තයට යාමේ මග මේ රාත්‍රියේදී අපට යලිත් පෙන්වා දුනේ ලබා තිබේ. අලසව නොසිට, අපගේ බිය ඉවත දමා 'ගව ඔරුවක බාවා සිටින ' දරුවා බැලීමට අප හනික යා යුතු"  බව ද පාප් වහන්සේ අවධාරණය කළහ.

බිලිඳු ජේසු පෙරහැර 

සාන්ත පීතර බැසිලිකාවේ දිව්‍ය පුජාවට පෙර "කැලෙන්දා" නමැති සාම්ප්‍රදායික නත්තල් ගීතිකා සජ්ඣායානා කෙරිණි.

ඉන් පසුව ජේසු බිලිඳුන් ගේ කුඩා ප්‍රතිමාව නිරාවරණය කර  දුම් පුජා කල පාප් වහන්සේ එය ඉදිරියේ මොහොතක් නැවතී යාච්ඥා කළහ. එම ප්‍රතිමාව තැන්පත් කර තිබුනේ දේව වචනය වැඩහිඳුවන  වාක්‍යාසනයක් මතය. එයින් සංකේතවත් වූයේ ජේසු බිලිඳා යනු මාංශගත වූ දේව වචනය යන්නයි. පාප් වහන්සේගේ දුම් පුජාවෙන් පසු ළමුන් පිරිසක් ප්‍රතිමාවට මල් පුජාකළහ. එම ළමයින් තෝරාගනු ලබා තිබුනේ 2015 වසර තුළ පාප් වහන්සේ අපෝස්තලික ගමන්වල යෙදුණු, ශ්‍රී ලංකාව, පිලිපීනය, කෙන්යාව, කියුබාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලිනි.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය