"ගවලෙන: දේව දයාවේ සජීවී සංකේතය" - පාප් වහන්සේගෙන් ගවලෙන ගැන භාවනාවක්

We contemplate God's Mercy in the Nativity Scene - Pope Francis' meditation on the Crib 



(2015 දෙසැම්බර 23)
ක්‍රිස්තුන් වහන්සේ ගව ලෙනක් තුළ උපත ලැබීම අපට පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේ කිසිවිටක තමන් වහන්සේව බලහත්කාරයෙන් අපවෙත නොපවරන බවයි. ගවලෙන ඉදිරියේ අප භාවනා කරන්නේ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවයි.

වතිකාන චතුරශ්‍රයේ ඉදිවූ නත්තල් ගවලෙන හා නත්තල් ගස විදුලි බුබුළු දල්වා විවෘත කිරීමේ මෙහෙයට සහභාගී වෙමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කල භාවනාවේ සාරාංශයයි ඒ. නත්තලේ සම්ප්‍රදායන් දෙකක් වන මෙම සංකේත විවෘත කොට වතිකාන චතුරශ්‍රය නත්තල් සිරිය ගෙන ඒමේ මෙහෙය දෙසැම්බර් 18 වනදා පැවැත්වින.

"ඇත්ත වශයෙන්ම ජේසු සමිඳුන් ඉතා සරලව පොළොව මත දර්ශනය වුවා නොවෙයි. එසේ නැතහොත් උන්වහන්සේ ගේ කාලයෙන් සුළු වේලාවක් අප වෙනුවෙන් වෙන් කළා  ද නොවෙයි" දේව පුත්‍රයාණන් ගේ මෙලොව උපත ගැන භාවනා කරමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ. "ඇත්ත වශයෙන් ම සිදුවූයේ, අප සමග, අප වෙනුවෙන් ජීවත් වීමට උන්වහන්සේට අවශ්‍ය වූ නිසා, තවමත් අවශ්‍යව පවතින නිසා, අපේ ජීවිතය බෙදා ගැනීමටත්, අපගේ ප්‍රාර්ථනා පිළිගැනීමටත් අප වෙතට පැමිණීමයි. නත්තලේ දී උන්වහන්සේගේ  ලෝකය බවට පත්වූ අපගේ ලෝකය උන්වහන්සේට අතිශයින් වැදගත්. එබැවින් ගවලෙන අපට මතක් කර දෙන්නේ මෙයයි: දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ දයාවෙන් අප සමග වාසය කිරීම සඳහා අප වෙතට වැඩම කළ බවයි."

ක්‍රිස්තුන්වහන්සේ තමන්වහන්සේව කිසිදාකත් බලහත්කාරයෙන් නොපවරණ බව සුදොතුම් පියතුමා කීවේය. ජනතාව ඇදගන්නා විප්ලව හෝ ඉන්ද්‍රජාල උන්වහන්සේ ගේ ගැලවීමේ මාර්ගය නොවන බවද එතුමා පෙන්වා දුන්නේ ය. "මෙය මතක තබා ගන්න; ස්වාමීන් වහන්සේ කිසිවිටෙක තමන්ව බලහත්කාරයෙන් අපට ආරුඪ කරන්නේ නැහැ. අප ගලවා ගැනීම සඳහා උන්වහන්සේ ආකර්ශනීය ප්‍රාතිහාර්යයක් කරමින් ඉතිහාසය වෙනස් කලේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ කලේ සරලබවින්, බැහැපත්කමින්, මෘදුබවින් යුත් ජීවිතයක් ගත කිරීමයි. ලෝකයේ බලවතුන් විසින් සිදුකරන ලද දැවැන්ත විප්ලවවලට දෙවියන් වහන්සේ කැමැත්තක් නොදක්වන සේක. එසේම උන්වහන්සේ අවස්ථාවන් හෝ ඉතිහාසය වෙනස් කිරීම සඳහා ඉන්ද්‍රජාලික යෂ්ටියක් භාවිත නොකරන සේක. ඒ වෙනුවට උන්වහන්සේ කරන්නේ තමන්වහන්සේව කුඩා කරගැනීමයි; ස්වකීය ප්‍රේමයෙන් අප ආකර්ෂණය කර ගැනීම සඳහාත් තම නිහතමානී යහපත් බවින් අප හදවත් ස්පර්ශ කිරීම සඳහාත් කුඩා බිලිඳකු බවට පත්වීමයි.ලෝකයේ ව්‍යාජ වස්තු එක් රැස් කරනා පුද්ගලයන් සිය දුප්පත්කමට ආකර්ෂණය කර ගනිමින්,තමන්වහන්සේව කුඩා කරගැනීමයි."

 ගවලෙන සෑදීමේ සම්ප්‍රදාය ආරම්භ කලේ ශු. ප්‍රැන්සිස් අසීසි තුමා බව ප්‍රැන්සිස් පාප් වහන්සේ සිහිපත් කළහ. (ප්‍රැන්සිස් අසීසි තුමා විසින් සජීවී ගවලෙන් මුලින්ම සාදන ලද බව ඉතිහාසය සඳහන් කරයි. මිනිසුන්, කාන්තාවන්, ළමයින් සේම ගවයන් වැනි සතුන් ද යොදාගෙන එතුමන් ගවලෙන සැදුවේ සැරසිල්ලකට හෝ ප්‍රදර්ශනයකට හෝ නොව ජේසු සමිඳුන් ගේ දුප්පත් උපත පෙන්වීම සඳහා ය.) ප්‍රන්සිස්කාන නිකායේ මුලාශ්‍ර උපුටා දක්වමින් පාප් වහන්සේ කියා සිටියේ, අලුත උපන් බිලිඳකුට අත්‍යවශ්‍ය මූලික පහසුකම්වත් නොමැතිව ජේසු ළදරුවා උපන් ආකාරය මිනිස් ඇසින් දැක භාවනා කිරීම සඳහා ප්‍රැන්සිස් අසීසි තුමා ගවලෙන සෑදූ බවයි.

"එබැවින් ගවලෙන ඉදිරියේ අප සරලබව ගෞරවයට පමුණුවනවා; දුප්පත්කම උත්තමභාවයට පත්කරනවා; බැහැපත්කම ප්‍රශංසාවට ලක් කරනවා" එතුමා අවධාරණය කළේය.

"මේ නිසා, ගවලෙන ඉදිරියේ මොහොතක් නැවැතී භාවනා කරන්නට මා ඔබට ආරාධනා කරනවා" ප්‍රැන්සිස් පාප් වහන්සේ සියල්ලනට ඇරැයුම් කළහ. "මන්ද දෙවියන්වහන්සේගේ මෘදුබව හා මොලොක්බව අපට කතා කරන්නේ මෙතැනයි; උන්වහන්සේ ගේ කරුණාවන්තකම අපට කතා කරන්නේ මෙතැනයි; දේව දයාව මාංශගත වුයේ මෙතැනයි. උන්වහන්සේ මෙතැන සිට අපගේ හදවත් වෙනස් කරන්නට බලාපොරොත්තුවෙන්  සිටිනවා."


වතිකාන චතුරශ්‍රයේ මෙවර ගවලෙන අපූර්වත්වයක් ද පෙන්නුම් කරයි.




මේ අපූර්වත්වයට හේතුව ගවලෙනට යාබදව ඉදි කර ඇති තවත් සුවිශේෂි නිර්මාණයකි. මෙම නිර්මාණයේ පෙන්නුම් කෙරෙන්නේ අම්බලමක් තුළ  අසරණයකුට හෝ විපතට පත්වුවකුට උවටැන් කරන තැනැත්තකු ය. එම උවැටන් කරන තැනැත්තා ගේ දෙනෙත් ගවලෙනේ සිටින ජේසු බිලිඳා වෙත යොමුව තිබේ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ පිළිබඳව ද සිය භාවනාවේ දී කතා කළහ.

"මේ නිර්මාණයේ අපට දක්නට ලැබෙන්නේ නැවතී වැඩිහිටි තැනැත්තකුට උවැටන් කරන අයෙකි. ඔහු දෙවියන් වහන්සේ දෙස බලා සිටිනවා පමණක් නොව උන්වහන්සේව අනුකරණය කරයි. දෙවියන් වහන්සේ මෙන් ඔහු අවශ්‍යතාවෙන් සිටින කෙනෙකුට සහය වීම සඳහා දයා කරුණාවෙන් පහත් වෙයි. අද අප ආලෝකවත් කරන මේ ගවලෙනේ  පණිවිඩය මේ නත්තලේ දී ඔබගේ ජීවිතය ද ආලෝකවත් කරත්වා" යි ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රාර්ථනා කළහ.

ඔබ හෙට මැදියම් රෑ දේව මෙහෙයට ගිය විට ඔබේ දෙව්මැදුරේත්, ගෙදරත් ඉදිවන ගවලෙන අබියස පාප් වහන්සේ සමග මේ නත්තල් ගවලෙන පිලිබඳව භාවනා කරන්න.  




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය