"පොළොව කොටන තැන-පාර හදන තැන -හාමත්, රෝගී ,පීඩිත දන තුළ දෙවියෝ වැඩ ඉන්නේ...." නිවාස රහිත වුවන්ගේ නිවහනකත් ජුබිලි ශුද්ධ දොරටුවක් විවෘත කෙරේ

"Look for God in the poverty, the sick and the hungry" - Pope opens a Holy Door at a homeless shelter

සුදොතුම් පියතුමා ගෙවල් නැති අයගේ නිවහනේ ශුද්ධවූ දොරටුව විවෘත කල අවස්ථාව 
(2015 දෙසැම්බර 19)

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (දෙසැම්බර 18 සිකුරාදා) තවත් ප්‍රබල සංකේතාත්මක කාර්යයක් කළහ.

එනම්, රෝමයේ ගෙදරක් නොමැති ජනතාව සඳහා වන තාවකාලික නිවහනක (Shelter for the Homeless) දයාවේ ජයන්ති වසර වෙනුවෙන් ශුද්ධ ද්වාරයක් විවෘත කිරීමයි. ජේසු සමිඳුන් ගේ යටහත් පහත් සහ නිහතමානි උපත පෙන්නුම් කරන්නේ මානව  වර්ගයාට දෙවියන් වහන්සේ සොයා ගත හැක්කේ දුප්පත්කම තුළ බව යැයි එය විවෘත කිරීමේ මෙහෙයේ දී පාප් වහන්සේ පැවසුහ.

කතෝලික සභාවේ ජයන්ති වසර වලදී ශුද්ධ දොරටුවක් විවෘත කිරීම සම්ප්‍රදායයකි. විශ්වාසිකයනට ගැලැවීම ලබා ගැනීමේ තවත් මාර්ගයක් විවෘත කිරීම ශුද්ධ දොරටුව විවෘත කිරීමේ අරමුනයි. මෙම දොරටුව ඔස්සේ ගමන් කරන විශ්වාසකයනට සුවිශේෂ ගැලවීමේ ඵල ලබා ගත හැකි බව සභාව උගන්වයි.

සභා ඉතිහාසය තුළ මේ දක්වා ශුද්ධ ද්වාරයක් විවෘත වුයේ රෝමයේ පංච මහා බැසිලිකා දෙව්මැදුරුවල පමණි. එහෙත් දයාවේ ශුද්ධ වසරේ දී ලොව පුරා සෑම පදවියකම ශුද්ධ දොරටුවක් විවෘත කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුනට උපදෙස් දුන්නේ ය. එහි අරමුණ ශුද්ධ වසරේ දී රෝමයට පැමිණිය නොහැකි ජනතාවට පවා සිය පදවියේ හෝ රටේ ආසන්නතම සිද්ධස්ථානයට ගොස් එම ගැලැවීමේ ඵල ලබාගැනීමට හැකියාව ලබා දීමයි.

එතෙකින් නොනැවතුණු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දේවස්ථානයක් නොවන ස්ථානයක ද ශුද්ධ ද්වාරයක් විවෘත කළේය. එය රෝමයේ ගෙදරක් නොමැති ජනතාව සඳහා ඉදිවූ නිවහනක් වන දෙවන ජුවාම් පාවුළු දුම්රිය ස්ථාන නිවහනයි (Homeless Shelter in Rome's Termini-John Paul II train station).

ප්‍රැන්සිස් පාප්  වහන්සේ මෙවැනි ස්ථානයක ශුද්ධ දොරටුවක් විවෘත කලේ ඇයි? එහි පැවැති මෙහෙයේදී එතුමන් පැවැත්වූ දේශනයෙන් මෙම ප්‍රබල සංකේතයේ අර්ථය තේරුම් ගත හැකි වන්නේ ය.

"මෙය ස්වාමීන් වහන්සේ ගේ දොරටුවය. යුක්තියේ දොරටු විවෘත කරන්න. මන්ද, ස්වාමීනි, ඔබවහන්සේ ගේ මහා කරුණාව ඔබවහන්සේ ගේ නිවාස තුළට ඇතුළුවන්නේ ය" යි යාච්ඥා කරමින් සුදොතුම් පියතුමා දොරටුව විවෘත කළේය.

එහි පැවැති දිව්‍ය  පුජාවේදී ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කලේ ජේසු සමිඳුන් මාලිගාවක කුමාරයකු ලෙස උපත නොලැබූ  බවයි. ඒ වෙනුවට, රෝම අධිරාජ්‍යයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ජීවත් වූ සරල තරුණ ළඳක තුළින් උන්වහන්සේ ඉතා යටහත් පහත් ලෙස මෙලොව උපන් බව එතුමා පෙන්වා දුන්නේ ය.  "මෙය අපට එක වැදගත් පාඩමක් උගන්වයි. එනම් අපට දෙවියන් වහන්සේ සොයා ගත හැක්කේ කොහේද යන පාඩමයි" එතුමා කියා සිටියේ ය.

"ඔබට දෙවියන් වහන්සේ සොයාගැනීමට අවශ්‍ය නම්, බැහැපත් වීම තුළ, යටහත් පත්වීම තුළ උන්වහන්සේ සොයන්න. ඔබට දෙවියන් වහන්සේ සොයාගැනීමට අවශ්‍ය නම් දුප්පත් කම තුළ උන්වහන්සේ සොයන්න. උන්වහන්සේ සැඟවී සිටින තැන්වල උන්වහන්සේව සොයන්න. බොහෝ අවශ්‍යතාවලින් පෙලෙන්නන් තුළ,රෝගීන්, කුසගින්නෙන් පෙලෙන්නන් හා සිරකරුවන් තුළ උන්වහන්සේ සොයන්න. මෙය සුඛෝපභෝගීත්වය නොවේ. මෙය විශාල ධනයේ  මාර්ගය නොවේ. මෙය බලයේ මාර්ගය ද නොවේ. මෙය බැහැපත්කමේ මාර්ගයයි" යැයි පාප් වහන්සේ එය විස්තර කළහ.

"මේ නත්තලේ දී ජේසු සමිඳාණෝ  කාටත් නොදැනෙන ලෙස රහසේ අප එකිනෙකා ගේ හදවත් තුළ උපත ලබත්වා යි මා ප්‍රාර්ථනා කරනවා" යි සිය ධර්මදේශනය නිමා කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය