ශුද්ධ දොරටුවෙන් ඇතුළුවීමේ අභියෝගය: පියාණන් සේ කරුණාබර වීම

The commitment of crossing the Gate of Mercy: To be merciful, like the Father


(2015  දෙසැම්බර 15)
ජේසු සමිඳුන් ගේ උපත සියලු දුක් කඳුළු පරාජය කරයි. උන්වහන්සේ ගේ උපත වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හටගන්නා දුක් වේදනා හා සිත්තැවුල් නිවයි. එබැවින් ජේසු සමිඳුන් ගේ උපත හා අප සමග වැඩසිටීම තුළ අපට දුක් වීමට ඉඩක්  නැත. උන්වහන්සේ සිටින තැන පවතින්නේ  ප්‍රීතියයි.

පසුගිය ඉරිදා (දෙසැම්බර 13) රෝමයේ සාන්ත ජෝන් ලැටෙරන් බැසිලිකා දෙව් විමනේ පැවැත්වූ දිව්‍ය  පුජාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කල ධර්ම දේශනයේ සාරාංශයයි ඒ. "ප්‍රීතියේ ඉරුදින" ලෙස හැඳින්වුණු මෙම ඉරුදින ලතින් බසින් කියවෙන්නේ Gaudete Sunday යනුවෙනි.

දිව්‍ය පුජාවට පෙර සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ පංච මහා බැසිලිකා දේවස්ථානවලින් එකක් වන සාන්ත ජෝන් ලැටෙරන් බැසිලිකාවේ ශුද්ධ ද්වාරය විවෘත කළහ. දිව්‍ය පුජාවේදී එතුමන් සිය ධර්මදේශනයට පාදක කර ගත්තේ එදිනට නියමිත දේව වචනය හා සුබ අස්නයි.

"නත්තල ආසන්න වත්ම අප විඩාවට හෝ අසහනයට අප යටපත් කරගැනීමට ඉඩ නොදිය යුතුයි. මේ කාලයේ අප කැළඹීමට හා කම්පනයට පත් කරමින් මානව සංහතියට රිදවන ප්‍රචණ්ඩ ක්‍රියා වැනි කනගාටුදායක දේ සිදුවූවත්, නත්තල ආසන්න වත්ම අපට ශෝක වීමට කිසිදු ඉඩක් නැතැ" යි  සුදොතුම් පියතුමා කීවේය. "ඒ වෙනුවට ස්වාමීන් වහන්සේ ගේ පැමිණීම අපගේ හදවත් ප්‍රීතියෙන් පිරවිය යුතුයි. මන්ද දෙවියන්වහන්සේ නිරන්තරයෙන් සිය ජනතාව ආරක්ෂා කරන තැනැන්වහන්සේ නිසයි .  එබැවින් සැකය, නොඉවසිල්ල හෝ ශෝකය නිසා අපගේ දෑත් දුර්වල වීමට ඉඩ නොදෙන ලෙස අද අපි ජේසු සමිදුන්ට යාච්ඥා කරමු."

දේව දයාව හා ප්‍රීතිය

සේපානියා දිවස්ප්‍රසාදිවරයාගේ පොතෙන් උපුටා ගත් ඉරුදින පළමු කියවීමෙන් කියවුනේ "ස්වාමීන් වහන්සේ ආසන්නව සිටින" බවයි. මේ නිසා ප සෑමවිටම ප්‍රීතියෙන් සිටිය යුතු ය. "එලෙස අප තුළ ඇති ප්‍රීතියෙන් හා අපගේ සුහද මිත්‍රශීලී බවින්,දෙවියන්වහන්සේ අපට සමීපව සිටින බවට හා උන්වහන්සේ අප සෑම කෙනකුම රැක  බලා  ගන්නා බවට අප සාක්ෂියක් විය යුතු" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ.

සේපානියා  දිවැසිවරයාගේ මෙම පණිවිඩය දයාවේ ජයන්ති වසරට සම්බන්ධ කල පාප් වහන්සේ කියා සිටියේ, ශුද්ධ ද්වාරය විවෘත කිරීම පවා ප්‍රීතියේ සංකේතයක්  බවයි. "මන්ද ඒ මගින් සමාවේ  විශිෂ්ට සමයක් ආරම්භ කරන නිසා ය. එනම් ජයන්ති වසරක් ආරම්භ කරන නිසාය. ජයන්ති වසරක් යනු දෙවියන් වහන්සේ ලෝකය තුළ වැඩසිටීම හා උන්වහන්සේ ගේ පිතෘක මෘදු ප්‍රේමය යළි අනාවරණය කරගන්නා සමයකි" යි එතුමා පෙන්වා දුන්නේ ය.

 ඊළඟට, ඉරුදින භාවනා කල ලුක් සුබ අස්නේ එන ස්නාවක ජුවාම්  තුමා අයකැමියන්, සෙබළුන් වැනි විවිධ සමාජ කොටස් වලට දුන් උපදේශ වෙත පාප්වහන්සේ අවධානය යොමු කලහ. මෙම ජන කොටස් ස්නාවක ජුවාම් තුමාගෙන් විමසුවේ විමුක්තිදායකයාණන් ගේ පැමිණීමට සුදානම් වීම සඳහා තමන් කුමක් කල යුතුද යන ප්‍රශ්නයයි.  

"මෙයට ස්නාවක ජුවාම් තුමා සැනින් පිළිතුරු දුන්නා" සුදොතුම් පියතුමා කීවේය. "එම පිළිතුරුවල ගැබ්ව තිබුනේ යුක්තිසහගතව, සාධාරණව ක්‍රියා කරන්න; එසේම ඔබ අතරේ සිටින අවශ්‍යතා ඇති ජනයාට උපකාර කරන්න යන පණිවිඩයයි. එම පණිවිඩය අද ජීවත් වන අපටත් එසේම යොමු වෙනවා. එහෙත් මේ මගින් අප වඩාත් රැඩිකල් කැපවීමකට යොමු කරනු  ලබනවා" යි එතුමා පෙන්වා දුන්නේ ය.

"මේ වසරේ අප ඇතුළුවන ශුද්ධ ද්වාරය දෙස බලා, කරුණාවේ  හා දයාවේ  උපකරණයක් වන ලෙස මේ ජයන්ති වසර අපෙන් ඉල්ලා සිටිනවා. මන්ද අප විනිශ්චය කරනු ලබන්නේ මේ කරුණ මත නිසයි. තමන් සතුව මහත් කැපවීමක්, බැඳීමක් තිබෙන බව ප්‍රසාද ස්නාපනය ලැබූ සෑම කෙනෙක්ම දන්නවා. එනම් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාසය ජීවිත කාලය පුරා පවතින ගමනකට අප කැඳවාගෙන යන බවයි. එම ගමන නම් පියාණන් සේ කරුණාබර වීමයි; දයාවන්ත වීමයි."

"දයාවේ දොරටුව තුළින් ගමන් කිරීම සිදුවන්නේ කැපවීමට ආරාධනයක් ද සමගයි. එනම් යුක්තියෙන් ඔබ්බට යන ප්‍රේමයකට, සීමාවක් නොදන්නා ප්‍රේමයකට සාක්ෂි දැරීමට හා එවැනි ප්‍රේමයක් වැළඳගැනීමටයි. අපගේ පරස්පරතා නොතකා අප කැපවිය යුත්තේ මෙම අනන්ත වූ ප්‍රේමයටයි" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කළහ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය