"දයාවෙන් තොර වූ සභාව සිය ආයතනවල වහලෙක් පමණයි" - බදාදා පොදු හමුව

"If the Church forgets mercy even for a moment, all its work is totally useless" - General Audience



(2015  දෙසැම්බර 12)
දෙවියන් වහන්සේ ගේ දයාව කේන්ද්‍ර කරගැනීමකින් තොරව  කතෝලික සභාව තුළ සිදුකිරීමට උත්සාහ කෙරෙන කවර ප්‍රතිසංස්කරණයක් හෝ නවීකරණයක් වුවද නිෂ්ඵල ප්‍රයත්නයක්  වන බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. "දීප්තිමත් වන්නේ කරුණාබර සභාවක් පමණයි" යැයි උන්වහන්සේ අවධාරණය කරති. ශුද්ධ වසර උදාවීමෙන් පසු ප්‍රථම වරට පසුගිය දෙසැම්බර 9 වන බදාදා සතිපතා පොදු හමුවට එක්වෙමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය.

මෙවර පොදු හමුවේ දී  ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ධර්මෝපදේශ දේශනයට පාදක වූයේ දයාවේ ශුද්ධ වසරයි. මෙහිදී එතුමා පෙන්වා දුන්නේ දෙවියන්වහන්සේ දයාව වන්නා සේ ම සභාව ද සභාවේ සෑම සාමාජිකයකුම ද දයාවන්ත හා කරුණාබර විය යුතු බවයි. නුතන ලෝකය වෙනස් කල හැක්කේ ඒ මගින් බව එතුමා  අවධාරණය කළේය.

"මෙම අතිවිශේෂ මොහොතේ දී කතෝලික සභාවට වැදගත් කාර්යයක් තිබේ. ගැඹුරු වෙනස්කම් සිදුවෙමින් පවතින අපගේ යුගයේ දී කතෝලික සභාව ද සිය සුවිශේෂී දායකත්වය ඊට ලබා දීමට කැඳවීම් ලබා සිටියි. එම කැඳවීම නම්, දෙවියන්වහන්සේ අප සමග සිටින බව සහ උන්වහන්සේ අපට සමීපබව දෘශ්‍යමාන සලකුණු මගින් පෙන්වා දීමයි" යි පොදු හමුව ආරම්භ කරමින් පාප් වහන්සේ පැවසූහ.

"ජයන්ති වසර මේ සඳහා යහපත් කාල වකවානුවකි. මේ සමය තුළ,  සෑම මානව දුර්වලකමක්ම ජයගන්නා වූත්, සෑම මානව සීමාවක්ම ඉක්මවා යන්නාවූත් පාපයේ අඳුර බිඳහැර බබලන්නාවූත් දේව දයාව ගැන මෙනෙහි කරමින්, වඩාත් ප්‍රත්‍යක්ෂ සහ සාර්ථක සාක්ෂිකරුවන් වීමට අපට හැකියාව ලැබේ."

කතෝලිකයන් මෙලෙස ප්‍රායෝගික ලෙස සාක්ෂිකරුවන් වන්නේ කෙසේදැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පැහැදිලි කළහ.

"කරුණාබර පියාණන් වන දෙවියන් වහන්සේ දෙසත්  කරුණාව අවශ්‍යව සිටින අපගේ සහෝදර සහෝදරියන් දෙසත්  ස්ථිරව බලා සිටීම යනු සුබ අස්නේ (ශුද්ධවූ සුවිශේෂයේ ) අත්‍යවශ්‍ය අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කිරීමයි. එම අත්‍යවශ්‍ය අන්තර්ගතය වූ කලී මාංශ ගත වූ දේව දයාව වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය. දෙවියන්වහන්සේ ගේ ත්‍රිත්වයික ප්‍රේමයේ  මහා අබිරහස අපගේ නෙත් අබියස දෘශ්‍යමාන කරන ජේසු සමිඳාණෝ ය."

"මෙම ජයන්ති වසර දෙවියන් වහන්සේ අතිශයින්ම කැමැති දේ කරන වරප්‍රසාදීය සමයක් කරගැනීමට සභාව කටයුතු කල යුතුයි" යි පාප් වහන්සේ කියා සිටියහ. "දෙවියන් වහන්සේ වඩාත් කැමති දේ කුමක්ද? ස්වකීය දරුවන්ට සමාව දීමයි. ඔවුන්ට කරුණාව හා දයාව දැක්වීමයි. ඔවුන් ද පෙරළා ලෝකය තුළ දෙවියන් වහන්සේ ගේ කරුණාවේ දීප්තිය පතුරුවන ආලෝක ටැම් වීමේ අපේක්ෂාවෙන් පසුවීමයි" යි පාප් වහන්සේ පැහැදිලි කළහ.

දෙවිඳුන්- මිනිසා - සමාව දීම 

සිව්වැනි සියවසේ ජීවත් වූ රදගුරු තුමකු හා දේවධර්මවේදියකු වූ ශු. අම්බ්‍රෝසි තුමා උත්පත්ති පොතේ එන මැවිල්ලේ කතාව ගැන ඉදිරිපත්කල අදහසක් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිහිපත් කළහ. "දෙවියන් වහන්සේ ඉර-හඳ, සතා සිව්පාවන්, ගස් වැල් මවා වදාරා. ඒවා දැක 'එය යහපත්' බව දුටු සේකැ යි උත්පත්ති පොත කියන බව අම්බ්‍රෝසි තුමා පවසයි. එහෙත්  'එය ඉතා යහපත්' බව දෙවියන් වහන්සේ පවසන්නේ මිනිසා මැවීමෙන් පසුව පමණකි. මිනිසා ඉතා යහපත් බව දෙවියන් වහන්සේ දකින්නේ ඇයි ? මන්ද,  අවසානයේ දී  සමාව දිය හැකි කෙනෙකු උන්වහන්සේට සිටින බැවිනි" යි අම්බ්‍රෝසි තුමා පැවසු බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ.

"එය බොහෝ සුන්දරයි නේද? දෙවියන්වහන්සේ ගේ සත්තාව දයාවයි. (God's Being is mercy)  උන්වහන්සේ ගේ සතුට සමාව දීමයි. මේ වසරේ දී, දෙවියන්වහන්සේ ගේ මෙම ප්‍රේමයට, උන්වහන්සේ ගේ මෙම සතුටට, උන්වහන්සේ ගේ දයාවත් සමග අප පුරවන්නට හැකි වන ලෙස අපි අපගේ හදවත් විවෘත කර ගනිමු."

සභාව තුළ මෙම දේව දයාව යතාර්ථයක් කල යුතු බව ද පාප් වහන්සේ පෙන්වා දුන්හ. දයාව හා කරුණාව නොමැති සභාව නිෂ්ඵල ආයතනයක් බව උන්වහන්සේ අවධාරණය කළහ. " සභාවේ ආයතන හා ව්‍යුහයන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ට ලක් කිරීමේදී  හා නවෝදාවකට පත් කිරීමේ දී, දෙවියන් වහන්සේ ගේ දයාව හා කරුණාව ජීවගැන්වීමේත් ප්‍රබෝධවත් කිරීමේත් අත්දැකීමට අප පිවිසිය යුතු ය. සභාව ජනතාවට පෙනෙන ලෙස කන්දක් මත ගොඩනැගුනු නුවරක් බවට සහතික විය හැක්කේ එවිටය. 'දයාව දෙවියන් වහන්සේ අතිශයින්ම කැමති දේ' බව අපට මොහොතකටවත්  අමතක වුවහොත්, අපගේ සියලු ප්‍රයත්න, සියලු වෙහෙස මහන්සි වීම් සැනෙකින් අර්ථශුන්‍ය බවට පත් වනු ඇත. මන්ද දයාව නැති වුවහොත් අප අපගේ ආයතන හා ව්‍යුහයන් නවීකරණය කරනු වෙනුවට ඒවායේ වහලුන් බවට පත් වන නිසා" යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

මේ වසර තුළ අප සෑම කෙනකුම දයාව අත්දකිමින් උන්වහන්සේ අතිශයින්ම කැමති දේට සාක්ෂි කරුවන් වෙමුයි පාප් වහන්සේ සියල්ලන්ට ආරාධනා කළහ. ලෝකය වෙනස් කල හැක්කේ දයාවෙන් බව එතුමා සඳහන් කළේය.

"මේ මගින් ලෝකය වෙනස් කල හැකි යැයි විශ්වාස කිරීම බොළඳ දෙයක් ද?" යි එතුමා ප්‍රශ්න කලේ ය.

"ඇත්තෙන් ම! ඔව්! මිනිස් කෝණයෙන් බලන්නේ නම් එය මෝඩ කමක්. එත් දෙවියන් වහන්සේගේ මෝඩ කම මානව බුධියට වඩා  ප්‍රඥාවන්තයි.  ඒ වගේම දෙවියන්වහන්සේ ගේ දුර්වලකම මානව ශක්තියට වඩා ප්‍රබලයි"  එතුමා අවධාරන කලේ ය.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය