"කිතුනුවන් හා මුස්ලිම්වරුන් යනු සොයුරු සොයුරියන්; ඔවුන් එක්සත්ව වෛරයත් ප්‍රචණ්ඩ ක්‍රියාත් ප්‍රතික්ෂේප කල යුතුයි" මධ්‍යම අප්‍රිකා ජනරජයේ මුස්ලිම් පල්ලියක දී පාප් වහන්සේ කල ආරාධනය

"Christians and Muslims are brothers and sisters; They must unite to say 'no' to violence" Pope says at Bagui mosque


(2015 දෙසැම්බර 2)
"දෙවියන්වහන්සේ ගේ වත මඬල විකෘති කරන ඉගැන්වීම් හා ක්‍රියා, සාමය ප්‍රවර්ධනය කිරීම මගින් පරාජය කිරීම සඳහා කිතුනුවන් හා මුස්ලිම්වරුන් එක්සත්විය යුතු යැ" යි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

"දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන බව ප්‍රකාශ කරන්නන් සාමයේ මිනිසුන් සහ කාන්තාවන් විය යුතුයි. කිතුනුවන්, මුස්ලිම්වරුන් හා සාම්ප්‍රදායික ආගම් අදහන්නන් ඈත ඉතිහාසයේ සිට මේ දේශය තුළ සාමකාමීව ජීවත්වී තිබේ. මෑත කාලය තුළ ඔබගේ මේ රට සසල කළ ප්‍රචණ්ඩ ක්‍රියා සැබෑ ආගමික අරමුණුවලින් හටගත් ඒවා නොවන බව අපි හොඳින් දනිමු. එබැවින් ඒවා පරාජය කොට සාමය ඇති කිරීමට අපි සියල්ලොම අත්වැල් බැඳ ගනිමු" යි උන්වහන්සේ ඇරයුම් කරති.

ඉකුත් සතියේ අප්‍රිකාවේ රටවල් තුනක අපෝස්තලික ගමන් වල යෙදුනු පාප් වහන්සේ එම ගමන අවසන් කලේ මධ්‍යම අප්‍රිකානු ජනරජයෙනි. එහි ගතකල අවසන් දිනයේ (නොවැම්බර 30 දා) එතුමා එරට  අගනුවර වන බන්ගීහි  කුඩෝකු මුස්ලිම් පල්ලිය බැහැදකින්නට ගියේය. එතුමා මෙම ප්‍රබල ආරාධනය කෙළේ එහිදීය.

CAR යන කෙටි නමින් හැඳින්වෙන මධ්‍යම අප්‍රිකානු ජනරජය දැනට පවතින අතිශය බිහිසුණු යුද ගැටුම් තත්වයට පිවිසියේ 2012 සිටය. ඊට කලින් සංවිධාන කිහිපයක් ලෙස සිටි මුස්ලිම් කැරලිකාර කණ්ඩායම් "සෙලේකා" නම් එක කණ්ඩායමක් බවට පත්වී, උතුරේ ඔවුන් ගේ සාම්ප්‍රදායික බිම්  වලින් ඉවත්ව දකුණට පැමිණ, ජනාධිපති ප්‍රන්ශුවා බොසී ගෙන් බලය පැහැර  ගත්හ. එතැන් සිට ඇතිවූ යුද්ධයෙන් 6000කට අධික පිරිසක් මියගොස් තවත් දස දහස් සංඛ්‍යාත පරිසක් අවතැන්ව සිටිති. ප්‍රචණ්ඩ ක්‍රියා අවම කොට තරමක ස්ථාවර තත්වයක් පවත්වා ගැනීමට වත්මන් අන්තර්වාර ජනාධිපති කැතරීන් සම්බා-පන්සා සමත් වුවද තවමත් දැඩි භීෂණකාරී වාතාවරණයක් මුළු රට තුළම පවතියි.



බන්ගී මුස්ලිම් දේවස්ථානයට යාම සම්බන්ධයෙන් ආරක්ෂක අනතුරු ඇඟවීම් ලැබී තිබුනත්, පාප් වහන්සේ  එහි වැඩම කලේ ඒවා නොතකමිනි.

"කිතුනුවන් හා මුස්ලිම්වරුන් යනු සහෝදර සහෝදරියන්.එබැවින් අප එය සිත තබා ගෙන ඒ අනුව ක්‍රියා කල යුතුයි" මුස්ලිම් පල්ලියට එක් වූ මුස්ලිම්-කිතුනු බැතිමතුන් හා පූජක උතුමන් අමතමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ.

"එබැවින් ඔවුන්, කවර පාර්ශවයකින් වූවත් සිදුකෙරෙන දෙවියන් වහන්සේ ගේ වත මඬල විකෘති කරන්නාවූ ද, පොදු යහපතට හානි කරමින් හුදෙක් තමන් ගේ ම පටු අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා සිදුකරන්නාවූ ද සියලු ක්‍රියා තුරන් කිරීම සඳහා සමගි විය යුතු අතර ඒ සඳහා එක්සත්ව වැඩ  කල යුතුය.අපි එකාවන්ව වෛරයටත්, පළිගැනීමටත්, ප්‍රචණ්ඩ හෝ හිංසන ක්‍රියා වලටත් එරෙහි විය යුතු ය. විශේෂයෙන් ම ආගමේ නාමයෙන් හෝ දෙවියන්වහන්සේ ගේ නාමයෙන් සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහි විය යුතු ය. දෙවියන් වහන්සේ සාමය, 'සලාම්' වනසේකැ" යි  සුදොතුම් පියතුමා පැවසීය.

තම නගර හා ගම්මාන වල සංහිඳියාවත් සහෝදරත්වයත් ගොඩනැගීමට කටයුතු කරන මුස්ලිම් හා කිතුනු නායකයිනට එතුමා ස්තුති කළේය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වලින් සෙසු ආගමික ජනයා බේරා ගැනීම සඳහා ආගම් දෙකටම අයත් ජනතාව කැපවීමෙන් ක්‍රියා කල අවස්ථා රැසක් ද දක්නට ලැබිණ. ප්‍රැන්සිස් පාප් වහන්සේ ඔවුන් ද සිහිපත් කළහ.

"අනෙක් ආගමට අයත් සහෝදර සහෝදරියන් හිංසාවලින් ගලවා ගැනීම සඳහා මුස්ලිම් හා කිතුනු ඔබගෙන් බොහෝ දෙනකු සහෝදරත්වයෙන් යුතුව ගත් ක්‍රියා මාර්ග මා අගය කරනවා. ලොව පුරා සෑම ප්‍රදේශයකම ජනතාව අතර සමගි සන්ධානයත් සහෝදරත්වයත් ඇති වේවායි යාච්ඥා කරන්න. ඒ වගේම ඒ වෙනුවෙන් වැඩ කරන්න. මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් බොහෝ සෙයින් දුක් වේදනා විඳි ජනතාව අමතක නොකරන්න" යි උන්වහන්සේ ඉල්ලා සිටියහ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ CAR දේශයට පැමිණි දෙවැනි පාප්වහන්සේ යි. ශු. දෙවැනි ජුවාම් පාවුල් පාප්වහන්සේ 1985 දී ඉතා කෙටි සංචාරයක් සඳහා එහි පැමිණියේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය