"ප්‍රාණ පරිත්යාගීන් ගේ එක්සත්කම කිතුනුවන් ගේ බෙදීම් වලට වඩා ප්‍රබලයි" - සුදොතුම් පියතුමා අන්තර් සභා හමුවට කියයි

"Unity of Martyrdom is stronger than Christian divisions" - Pope Francis points out


(2015 නොවැම්බර  6)
කිතුනුවන් අතර අනේක විධ බෙදීම් තිබුනත්  ලොව පුරා බොහෝ ප්‍රදේශ වල ක්‍රිස්තුන් වහන්සේ ගේ අනුගාමිකයන් ප්‍රාණ පරිත්‍යාගී භාවයේ සාක්ෂි දැරීම තුළ ප්‍රබල ලෙස එක්සිත් වන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. කිතුනුවන් විවිධ පදනම් මත බෙදී සිටියත් "ක්‍රිස්තු අනුගාමිකයන්' යන පොදු අනන්‍යතාව මත අද ලොව පුරා ඔවුන් වදහිංසාවටත් ඇතැම් විට මරණයටත් ලක් වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ස්වකීය ඇදහිල්ල නිසා කොන්කිරීමට, අයිතිවාසිකම් අහිමි කිරීමට හෝ හිංසාවට ලක්වීම නිසා කිතුනුවන් හෙලන  ලේ කඳුළු අපට මතක් කර දෙන්නේ ප්‍රසාද ස්නාපනය ලැබූ සියල්ලන් එකම ක්‍රිස්තු දේහයේ - ශාන්ත සභාවේ - සාමාජිකයන් බව යැයි උන්වහන්සේ අවධාරණය කළහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු සඳහන් කලේ ඉකුත් නොවැම්බර්  2 වනදා සිට 4 වනදා දක්වා ඇල්බේනියාවේ ටිරානා නුවර පැවැත්වුණු ලෝක ක්‍රිස්තියානි සම්මේලනයේ (Global Christian Forum) රැස්වීමට පණිවිඩයක් යවමිනි. මෙම සම්මේලනය ලොව විවිධ කිතුනු සභා සහ සංවිධාන එකමුතුවෙන් පිහිටුවා ගත් සංවිධානයකි. කිතුනු එකමුතුව ප්‍රවර්ධනය කිරීම පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව, ජගත් පෙන්තකොස්ත සහෝදරත්වය, ලෝක කිතුනු සභා සම්මේලනය සහ ලෝක ඉවන්ජලිකල් සන්ධානය යන සංවිධාන හා ආයතන එහි සාමාජිකත්වය දරයි. "වෙනස් කොට සැලකීම, වදහිංසාවට ලක්කිරීම සහ පරිත්‍යාගී භාවය: එකට එක්ව ක්‍රිස්තුන් වහන්සේ අනුගමනය කිරීම" යන්නයි.

"ලෝකයේ විවිධ ප්‍රදේශවල ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂි දැරීම, ඇතැම් විට සිට ලේ සැලීමෙන් පවා සාක්ෂි දැරීම, කතෝලික, ඕතඩොක්ස්, ඇන්ග්ලිකාන, ප්‍රොතෙස්තන්ත, ඉවැන්ජලිකල් සහ පෙන්තකොස්ත කිතුනුවන් ගේ පොදු  අත්දැකීම බවට පත්ව තිබේ" යැයි මෙම හමුවට යැවූ පණිවිඩය ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කියයි. "මෙම පොදු ලේ සැලීම, අපගේ සභා සහ කිතුනු ජන සංඝ තවදුරටත් බෙදා තබා ඇති වෙනස්කම් වලට වඩා ශක්තිමත්ය. ඊට  වඩා ගැඹුරු ය"  යි එතුමා පෙන්වා දෙයි.
"ප්‍රාණ පරිත්‍යාගීන් ගේ එක්සත්භාවය  අප අතර ඇති වෙනස්කම් නොතකා අපගේ පොදු වන්දනාගමන සිහිපත් කරන විශිෂ්ටතම  සලකුණයි"

කතෝලික නොවුව ද ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇති ඇදැහිල්ල නිසා වදහිංසා සහ දුක් වේදනා වලට ලක්වන කිතුනු ජන කොට්ඨාස නියෝජනය කරන මෙම හමුවේ සාමාජිකයනට සුදොතුම් පියතුමා විශේෂයෙන් සිය සුබ පැතුම් පිරිනැමුවේ ය. ලොවපුරා කිතුනුවන් වෙනස්කොට සැලකීමත් ඔවුන්  හිංසාවට ලක් කිරීමත් වර්ධනය වීම ගැන තමන් මහත් ශෝකයට පත්ව සිටින බව එතුමා කීවේය. විශේෂයෙන් මැද පෙරදිග, ආසියාව සහ අප්‍රිකාවේ කිතුනුවන් මුහුණ දෙන ගැටළු ගැන තමන් කම්පාවට පත්ව ඇතැයි එතුමා සඳහන් කලේ ය.

"වෙනස් කිතුනු සම්ප්‍රදායයන් රැසකගේ සාමාජිකයන් එක ස්ථානයක මෙලෙස මුණගැසීම, මෙලෙස අයුක්තියේ  අසාධාරණයේ ගොදුරු බවට පත් වූ කිතුනුවනට හඬක් වනු ඇත. එසේම, මානව පවුල දැන් මුහුණ දී සිටින ඛේදනීය තත්වයෙන් ගොඩ ඒමට යොමු කරන මාර්ගය මෙම හමුව මගින් පෙන්නුම් කරනු ඇතැ" යි එතුමා බලාපොරොත්තු පල කළේය.

මෙම හමුවට එක්වන සියල්ලන් සමග තමන් සිතින් හා ආධ්‍යාත්මිකව සමීප වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය. "ප්‍රසාද ස්නාපනය ලැබූ සියල්ලන් ම එකම ක්‍රිස්තු දේහයේ සාමාජිකයන් බව තේරුම් ගැනීමට වෙනස් කිතුනු සම්ප්‍රදායනට අයත් නූතන ප්‍රාණ පරිත්‍යාගී වරු අපට උපකාර කරත්වායි මම යාච්ඥා කරමි. මෙම ගැඹුරු සත්‍යතාව තේරුම් ගනිමින් අපි අපගේ වන්දනා ගමන එක් ව ගමන් කරමු.  එසේම,  වඩ වඩා ප්‍රේමයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් වර්ධනය වෙමින් අවසන් දෘශ්‍යමාන සහභාගීත්වය දක්වා අපි ගමන් කරමු" යි සුදොතුම් පියතුමා සිය පනිවිඩය  අවසානයේ සඳහන් කරයි.

මෙම රැස්වීමේ දී ශුද්ධෝත්තම පියතුමා නියෝජනය කරන ලද්දේ කිතුනු එකමුතුව ප්‍රවර්ධනය කිරීම පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ ප්‍රධානි අති උතුම් කර්ට් කෝච් කාදිනල් හිමිපාණන් විසිනි.

කිතුනුවන් අතර එකමුතුව ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතම අංගයකි. "කිතුවන් අතර ඇති බෙදීම් අපකීර්තියක් හා අවාදර්ශයක්" බව උන්වහන්සේ කිහිප වතාවක් ප්‍රකාශ කර තිබේ. ප්‍රධාන කිතුනු සභා පමණක් නොව කිතුනු එකමුතුව ශ්‍රී ලංකාවේ අප 'බයිබල් කාරයන්' සේ හඳුන්වන පෙන්තකොස්ත සහ ඉවැන්ජලිකල් සංඝ වෙත ද යොමු විය යුතු බව ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ස්ථාවරයයි.

එසේ නම්, අපගේ ගම්මාන වල මීසම් වල සිටින විවිධ කිතුනු නිකායිකයන් කරෙහි අප  දැක්විය යුතු ආකල්පය ගැන යලි සලකා බැලිය යුතු කාලය පැමිණ තිබේ. ඔවුන් දෙස බැලිය යුතු දෘෂ්ටි කෝණය පාප් වහන්සේ මෙසේ පෙන්වා දෙති:

"ප්‍රසාද ස්නාපනය ලැබූ සියල්ලන් ම එකම ක්‍රිස්තු දේහයේ සාමාජිකයන් බව තේරුම් ගැනීමට වෙනස් කිතුනු සම්ප්‍රදායනට අයත් නූතන ප්‍රාණ පරිත්‍යාගී වරු අපට උපකාර කරත්වායි මම යාච්ඥා කරමි. මෙම ගැඹුරු සත්‍යතාව තේරුම් ගනිමින් අපි අපගේ වන්දනා ගමන එක් ව ගමන් කරමු.  එසේම,  වඩ වඩා ප්‍රේමයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් වර්ධනය වෙමින් අවසන් දෘශ්‍යමාන සහභාගීත්වය දක්වා අපි ගමන් කරමු"

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය