"අවි විසිකරමු; ආදරයෙන් සන්නද්ධ වෙමු" පාප් වහන්සේගෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජ ජනතාවට ඇරැයුම්

Lay down weapons; Arm yourselves with love and mercy" Pope message to Central African Republic 

පාප් වහන්සේ බෙන්ගී ආසන දෙව්මැදුරේ ශුද්ධ ද්වාරය විවෘත කල අවස්ථාව

(2015 නොවැම්බර  30)
" බෙන්ගී නගරය අද ලෝකයේ ආධ්‍යාත්මික අගනුවර බවට පත්වෙනවා" යැයි බෙන්ගුයි පදවියේ ආසන දෙව්මැදුරේ පිහිටුවන ලද ශුද්ධ ද්වාරය විවෘත කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ.

ශුද්ධ ද්වාරයක් විවෘත කෙරෙන්නේ කතෝලිකයන්ගේ ශුද්ධ වසරක් හෙවත් ජයන්ති වසරකදීය. ශුද්ධ ද්වාරයේ අරමුණ විශ්වාසිකයිනට ගැලවීම ලබා ගැනීම සඳහා "අතිවිශේෂ  මාර්ගයක්" ලබා දීමයි. මෙම දොරටුවෙන් ඇතුළුවන විශ්වාසිකයනට ගැලවීමේ ඵල (පූර්ණ ඵල) ලබා ගත හැකිය.

ඉතිහාසයේ මෙතෙක් පැවැති ශුද්ධ වසර වලදී  සාම්ප්‍රදායික වශයෙන් ශුද්ධ දොරටු පැවැතියේ රෝමයේ ප්‍රධාන දෙව්මැදුරු පහේ පමණි. එහෙත් මෙම දොරටුව හා සම්බන්ධ දේවධාර්මික පදනමට වඩාත් ගැඹුරු අරුතක් දෙමින් 2016 ශුද්ධ වසරේදී ලොව පුරා සෑම රදගුරු පදවියකම ශුද්ධ දොරටුවක් පිහිටුවන්නැයි පාප් වහන්සේ සියලුම රදගුරු හිමිවරුනට උපදෙස් දුන්හ. ඒ මගින් රෝමයට පැමිණිය නොහැකි සෑම කතෝලිකයකුටම තමාට  සමීපතම දොරටුව පිහිටි දෙව්මැදුරට ගොස් ගැලවීමේ ඵල ලබා ගත හැකිය.

රෝමයේ සාන්ත පීතර ආසන දෙව්මැදුරේ පිහිටි ශුද්ධ දොරටුව විවෘත වන්නේ ජයන්ති වසර ආරම්භ වන දෙසැම්බර මස 8 වනදා යි. එසේ වූවත් මධ්‍යම  අප්‍රිකානු ජනරජයේ බෙන්ගී පදවියේ ශුද්ධ ද්වාරය තමා එහි අපෝස්තලික සංචාරයේ යෙදෙන අවස්ථාවේ විවෘත කරන බව පාප් වහන්සේ පවසා තිබිණි. එතුමා කියා සිටියේ,වසර ගණනාවක සිට ආගමික අන්තවාදයේ යුද අඳුරින්, භීතියෙන් හා වේදනාවෙන් මිරිකී සිටින එරට සමග ඇති සහෝදරත්වය ප්‍රකාශ කිරීම සඳහා මෙසේ කරන බවයි.

මේ අනුව ඉකුත් සෙනසුරාදා (28) මධ්‍යම අප්‍රිකානු ජනරජයට පැමිණි ප්‍රැන්සිස් පාප් වහන්සේ, නොවැම්බර් 29 ඉරිදා දිව්‍ය පුජාවට පෙර  බෙන්ගී ආසන දෙව්මැදුරේ ශුද්ධ ද්වාරය ආසිරි ගන්වා විවෘත කළහ.  මෙය පාප් වහන්සේ නමක් රෝමයෙන් පිටත ශුද්ධ ද්වාරයක් විවෘත කල පළමුවන අවස්ථාවය.

 අවි විසිකරමු; ආදරයෙන් සන්නද්ධ වෙමු.

"අපි  සෑම දෙනෙක්ම සාමය වෙනුවෙන්, දයා කරුණාව වෙනුවෙන්, සමගි සන්ධානය වෙනුවෙන්, සමාව දීම වෙනුවෙන් සහ ආදරය වෙනුවෙන් යාච්ඥා කරමු" යි දොරටුව විවෘත කරමින් ප්‍රැන්සිස් පාප් වහ්සේ පැවසුහ. "මධ්‍යම අප්‍රිකානු ජනරජය පුරාත්,
යුද්ධයෙන් වේදනා විඳින ලෝකයේ සියලු රටවල් පුරාත් අපි සාමය වෙනුවෙන් දෙවිඳුන් අයදිමු. අපි හැමෝම එක්සත්ව සාමය හා ප්‍රේමය වෙනුවෙන් යාච්ඥා කරමු. අපි එකට එකාවන්ව දෙවිඳුන් අයදිමු."



මධ්‍යම අප්‍රිකානු ජනරජය ලෝකයේ සක්‍රීය උණුසුම් යුද කලාපයකි. මෙවැනි අතිශය උණුසුම් යුද කලාපයකට පාප් වහන්සේ නමක් සැපත් වූ ඉතිහාසයේ ප්‍රථම වතාව මෙයයි. එරට දැනට පවත්නා ආගමික ජනකොටස් අතර යුද්ධය ආරම්භ වූයේ 2012 දීය. මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනකොටස්  අතර බොහෝ අමානුෂික ගැටුම් හටගෙන තිබේ.

ඉරිදා දිව්‍ය  පුජාවේ ධර්මදේශනය පවත්වමින් ප්‍රැන්සිස් පාප්වහන්සේ කියා සිටියේ අනපේක්ෂිත විනාශයක් මැඩපැවැත්විය හැක්කේ දෙවියන්වහන්සේ ගේ ප්‍රේමයේ බලයට පමණක් බවයි. දයාව සමාව හා සමගි සන්ධානය දැක්වීමේ නායකයන් වන්නැයි එතුමා කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. සිය ආයුධ බිම දමන්නැයි "අයුක්ති සහගත ගැටුම් වලට සම්බන්ධ වී සිටින " සියලු කොටස් වලට එතුමා ආයාචනා කළේය.

" ඒ වෙනුවට ඔබ  ධර්මිෂ්ට කමින්, දයා කරුණාවෙන් සහා ආදරයෙන් සන්නද්ධ වන්න. නියත වශයෙන්ම සාමය සහතික කල හැක්කේ එම බලවේග වලට පමණයි" යි එතුමා අවධාරණය කලේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය