"ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනය තිබෙනවා. එහෙත් ශුද්ධාසනය බියෙන් හැකිළෙන්නේ නැහැ" - වතිකාන රාජ්‍ය ලේකම් කියයි

"Vatican may be a (ISIS) target; But we won't back down" - Cardinal Parolin 

වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව මුදුනේ ඇති "මහා පර්වතය", ශු. පේදුරු තුමන් ගේ ප්‍රතිමාව

(2015 නොවැම්බර  21)
වතිකානය අන්තවාදීන් ගේ ප්‍රහාර වලට ලක්වීමේ අවදානමක පවතින නමුදු තමන් එයින් බියෙන් අඩපන වන්නේ නැතැයි වතිකාන රාජ්‍යය පවසයි.

"ගිය සතියේ ප්‍රංශයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තහවුරු වන්නේ කිසිදු රටක් ත්‍රස්තවාදී තර්ජනයෙන් ඉවත්ව නැති බවයි. වතිකානයේ පවතින ආගමික වැදගත්කම නිසා එම රාජ්‍යය ත්‍රස්තවාදී ඉලක්කයක් විය හැකියි " යැයි වතිකානයේ රාජ්‍ය ලේකම් (වෙනත් රටවල අග්‍රාමාත්‍යධුරයට සමානය) අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමි කියා සිටියේ ය. "වතිකානය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා පියවර ගැනීමට අපට් පුළුවන්. එහෙත් අපි කිසිවිටෙකත් බියෙන් අප අකර්මන්‍ය කිරීමට ඉඩ දෙන්නේ නැහැ" යි එතුමා අවධාරණය කලේ ය."පාප් වහන්සේ උන්වහන්සේ දින චරියාවන් වෙනස් කරන්නෙත් නැහැ. උන්වහන්සේ ගේ සාමාන්‍ය එදිනෙදා සිදුවීම් එසේම සිදු කෙරෙනවා" එතුමා කීවේය"

කාදිනල් පැරොලිනි හිමි මේ බව කියා සිටියේ ප්‍රංශයේ පලවන  La Croix පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.

රෝමයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඇමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීය. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් විය හැකි බව රෝමයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. පැරිසියේ ප්‍රහාරයෙන් පසුව ISIS සංවිධානය නිකුත් කල වීඩියෝ නිවේදනයකින් කියා සිටියේ ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන් ගුවන් ප්‍රහාරවලට සම්බන්ධ සියලු රටවලට ප්‍රහාර එල්ල කරන බවයි. මෙම නිවේදනයේ ඔවුන් සඳහන් කර ඇති නගර අතර ලන්ඩනය, වොෂින්ටනය, රෝමය හා ඉරානයේ නගර ද වේ. 

පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා හැඟුම් බරව අදහස් අදක්වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ එය "කැබලි" යුද්ධයක් (“piecemeal”) බවයි. "කැබලි යුද්ධයක්" යන්නෙන් උන්වහන්සේ අදහස් කලේ අන්තවාදීන් ගේ ප්‍රහාර අප දන්නා සාමාන්‍ය යුද්ධ රාමුවෙන් පිටත පවතින යුද්ධ බව යයි කාදිනල් පැරොලිනි හිමි කියා සිටියේ ය. "ඒවා අප්‍රකාශිත යුද්ධයි. ඒවා යුදබිමක සිදු නොවන, නොගැලපෙන, අසමිමිතික යුද්ධයි. ඒවායින් මියයන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවයි. ඒ නිසයි පාප් වහන්සේ එම වචනය යොදා ගත්තේ" එතුමා විස්තර කළේය." ඒ වගේම මීළඟ ප්‍රහාරය කොහේ සිදුවේදැයි කිව නොහැකි බවත් එයින් අදහස් වුනා. මෙය හුදෙක් ආරම්භයක් පමණයි."

ත්‍රස්තවාදයට ප්‍රතිචාරය 

මෙහිදී ලෝකය ත්‍රස්තවාදයට ප්‍රතිචාර දක්වන  ආකාරය සම්බන්ධයෙන් ද  La Croix පුවත් පත වතිකාන පුර රාජ්‍යයේ අගමැතිවරයාට සමාන  රාජ්‍ය ලේකම් පියෙත්රෝ පැරොලිනි හිමියන ගෙන්  ප්‍රශ්න  කළේය. "මා මෙය (ISIS ප්‍රහාර) දකින්නේ අයුතු, නීත්‍යනුකුල නොවන ආක්‍රමණයක් ලෙසයි. ආක්‍රමණිකයකු නැවත්වීමට පියවර ගැනීම, නීත්‍යනුකුල යුක්ති සහගත ක්‍රියාවක්" බව පාප් වහන්සේ දකුණු කොරියාවේ සිට පැමිණෙන විට ගුවනේ දී මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා තිබිණි. "මෙතැන, 'නැවැත්වීම' (stop) යන වචනය මා අවධාරණය කරනවා. මා  කියන්නේ 'බෝම්බ දමන්නට' හෝ 'යුද්ධ කරන්නට' කියා නොවේ. 'නවත්වන්නට' කියා" පාප් වහන්සේ සඳහන් කර තිබිණි.

කාදිනල් පැරොලිනි හිමි 

මෙම ස්ථාවරයට එකඟ වන්නේ දැයි පුවත් පත කාදිනල් හිමියන්ගෙන්  විමසීය."ඇත්ත වශයෙන්ම. මන්ද, එහි ආරම්භය කවරක් වූවත්, අන්ධ ප්‍රචණ්ඩත්වය ඉවසිය නොහැකියි" එතුමා පිළිතුරු දුන්නේ ය. "පාප් වහන්සේ මෙහිදී අළුතින් යමක් කීවේ නැහැ. උන්වහන්සේ කලේ කතෝලික ධර්මොපදේශයේ එන ඉගැන්වීම උපුටා දැක්වීමයි. මේ කරුණ කතෝලික ධර්මොපදේශයේ 2308 වැනි වගන්තියේ කියැවෙනවා. මේ අනුව, යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට  ලෝකයේ සියලු පුරවැසියන්ටත් සියලු ආණ්ඩුවලටත් වගකීමක් තිබෙනවා. එහෙත් යුද්ධයක අනතුර පවතිද්දී, සාමය සඳහා ගත සියලුම ක්‍රියා මාර්ග අසාර්ථක වූ විට සහ මේ සම්බන්ධයෙන් ක්‍රියා කල හැකි ජාත්‍යන්තර අධිකාරියක් නොමැති වූ විට , 'ස්වකීය රාජ්‍යයේ අරක්ෂාව සඳහා' පියවර ගැනීමට ආණ්ඩුවලට අයිතිවාසිකමක්  තිබෙනවා. මෙහිදී ආක්‍රමණිකයා පාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ නම් ආයුධ භාවිත කිරීමටත් ආණ්ඩුවලට අයිතිවාසිකමක් තිබෙනවා" යි එතුමා සඳහන් කළේය."මෙහිදී ශුද්ධාසනයේ කාර්යභාරය වන්නේ මේ කොන්දේසි සිහිපත් කර දීමයි.ආක්‍රමණිකයකු  'නැවත්වීමේ' ක්‍රියාමාර්ග නිශ්චය කිරීම වතිකානයේ කාර්යභාරය නොවේ" එතුමා සඳහන කළේය.

1992 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් සම්මත කරන ලද "කතෝලික ධර්මෝපදේශය', කතෝලික සභාවේ ඉගැන්වීම වල සාරාංශයයි. ( එහි එන මෙම ඉගැන්වීම ඇතැම් විචාරකය පෙන්වා දෙන්නේ "සාධාරණ යුද්ධය " පිලිබඳ සංකල්පය ලෙසයි. වර්තමානයේ ඇතැම් රාජ්‍යයන් තම විරුද්ධවාදීන් මෙල්ල කිරීමට යොදා ගන්න ක්‍රම වේද නිසා මෙය අද විවාදයට භාජනය වී තිබේ. මේ නිසා ප්‍රනිස් පාප් වහන්සේට මේ සඳහා නිර්වචනයක් කිරීමට සිදුවිය.)

2014 දී ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම ඉගැන්වීම් ගැන කල ප්‍රකාශයක දී කියා සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමේ ක්‍රියා මාර්ග තක්සේරු කල යුතු බවයි. "වෙනත් අරමුණු දිනා ගැනීමේ ව්‍යාජ හේතුවක් ලෙස ප්‍රචණ්ඩත්වය යොදා නොගත යුතුයි. අයුතු ආක්‍රමණිකයකු නැවත්වීම සඳහා කටයතු කිරීම යුක්ති සහගතයි. එහෙත්, බොහෝ විට ඇතැම් රාජ්‍ය යුක්ති සහගත ආක්‍රමණිකයකු නැවැත්වීමේ ව්‍යාජයෙන් ජාතීන් යටත් කරගෙන පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා" උන්වහන්සේ පෙන්වා දී තිබිණ.

පැරිසියේ සිදු වූ දේ කිසිසේත් යුක්තිසහගත කල නොහැකි බව කාදිනල් පැරොලිනි හිමි පෙන්වා දුන්නේ ය. මේ නිසා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝකයේ සියලු බලවේග එක්රැස් කලයුතු බව එතුමා කියා සිටියේය.

"ත්‍රස්තවාදයේ නපුර මුලිනුපුටා දැමීම සඳහා ලොව සතු සියලු ක්‍රියාමාර්ග , එනම්,පොලිසිය, ආරක්ෂක හමුදා, තොරතුරු වැනි සියලු මාර්ග එක්රැස් කල යුතුයි. එමෙන්ම මෙහිදී ආධ්‍යාත්මික සම්පත් පවා ඒකරාශී කල යුතුයි. නපුරට හා අයහපතට එරෙහිව යහපත් අධිෂ්ඨානයේ හා ප්‍රාර්ථනයේ ප්‍රතිචාරයක් දැක්විය හැක්කේ එවිටයි.මෙම ක්‍රියාමාර්ගයේ දී අධ්‍යාපනය විශාල වැදගත්කමක් දරනවා. තරුණයන් තම ගෙවල් අතහැර අන්තවාදී ත්‍රස්තවාදයට එක්වීම නවත්වා ගන්නට  අධ්‍යාපනයට පුළුවන්. මෙම ක්‍රියාවලියට, ජාතික ජාත්‍යන්තර, දේශපාලනික හා ආගමික වැනි සියලු මට්ටම් වල ජනයාඒකරාශී  විය යුතුයි. සියල්ලන් එකාවන්ව මෙම තර්ජනය පරාජය කල යුතුයි.මෙම එක්සත් කම නොමැතිව මේ සටන ජය ගත නොහැකියි" කාදිනල් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමි වැඩි දුරටත් සඳහන් කලේ ය.








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය