"යුද්ධයෙන් බෙදී බිඳ වැටුණු ලෝකයක ඉතිරි වන්නේ කුමක් ද? අසරණ වූ දරුවන්....මඩි තරවූ ආයුධ වෙළෙන්දන්......" සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

"What will be left of a world torn apart by war?" Pope asks the world community 


(2015 නොවැම්බර 19)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ යුද්ධ කරන්නන් හා යුද්ධය ඇති කරන්නන් විෂයෙහි අතිශයින් තදබල වචනයක් අද භාවිත කළහ. එනම් "ශාප ලද්දන්" යන්නයි. ලූක්‌ සුබ අස්නේ එන ජේසු සමිඳුන් ගේ ම වචන උපුටා ගනිමින් පාප්වහන්සේ මෙම වචන යොදා ගත්හ. අද (නොවැම්බර 19 වනදා) සුබ අස්නේ එන අකාරයෙන් ජේසු සමිඳුන් එදා ජෙරුසලෙම ගැන කඳුළු සැළු ආකාරයෙන් අද මුළු ලෝකය වෙනුවෙන් ම කඳුළු සලන බව පාප් වහන්සේ පැවසූහ. මන්ද ලෝකය සාමයේ මාර්ගය ප්‍රතික්ෂේප කර යුද්ධය තෝරාගෙන ඇති නිසායැයි එතුමා පෙන්වා දුන්නේ ය.

වතිකානයේ ඩෝමුස් සාන්තා මාර්තා නිවහනේ අද උදාසන දිව්‍ය පූජාවේ දේශනය කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. 

"ජේසු සමිඳුන් අදත් වැලපෙනවා. මන්ද අප යුද්ධයේ මාර්ගය, වෛරයේ මාර්ගය, සතුරුකමේ මාර්ගය තෝරාගෙන ඇති නිසා" එතුමා කීවේය.

නත්තල ලඟා වෙමින් ඇති ආකාරය සුදොතුම් පියතුමා විස්තර කළේය. "වෛවර්ණ විදුලි බුබුළු වලින් නිවෙස් ආලෝකවත් වෙද්දී, ගෙවල හා කාර්යාල වල සාද සංවිධානය කෙරෙද්දී, ආලෝකවත් නත්තල් ගස් පමණක් නොව නිවෙස් ජේසු උපත සිහිකෙරෙන ගවලෙන් වලින් සැරසෙද්දී, ලෝකය දිගටම යුද්ධ කරමින් සිටියි. ලෝකය සාමයේ මංපෙත ගැන තේරුම් ගෙන නැතිවා වාගේ ය"

ලෝකයම එක්වී විවිධ යුද්ධවලින් සිදුවූ ඛේදවාචක ගැන සිහිපත් කර එතරම් කාලයක් ගත වී නැති බව සුදොතුම් පියතුමා සිහිපත් කළේය.  පලමු ලෝක යුද්ධයේ සංවත්සරය, දෙවන ලෝක යුද්ධය අවසාන කර 50 වැනි සංවත්සරය, හිරෝෂිමා හා නාගසාකි පරමාණු බෝම්බ හෙලීම්, වැනි සංවත්සර මෑතකදී සමරනු ලැබීය. එහෙත් ලෝකය ඒවා ඉක්මනින් අමතක කර දමා ඇතිවා වැනි යයි පාප්වහන්සේ පැවසුහ.

ජේසු සමිඳුන් ජෙරුසලෙම පෙනෙන තෙක් මානයේ කන්දක සිට එම නගරය ගැන වැලපෙන්නේ " සාමයේ මාර්ගය එම ජනයාගේ දෑස් වලින් සඟවා ඇති බැවින්"  යැයි අදට නියමිත සුබ අස්නේ ලූක්‌ තුමා කියන බව එතුමා පෙන්වා දුන්නේ ය. එතුමා ජේසු සමිඳුන් ගේ එම වදන් යළිත් වරක් ප්‍රතිරාව නැංවුයේ ය:

"සාමය සඳහා අවශ්‍ය වන්නේ කුමක්දැයි නුඹ මේ පැයේ දී දැන සිටියා නම්..... එහෙත් එය දැන් නුඹගේ ඇස් වලින් සඟවා තිබේ."

 අතිශය අර්බුදකාරී කාලයක් වූ පළමුවන ලෝක යුද්ධ සමයේ පාප් වහන්සේ වූ 15 වන බෙනඩික්ට් පාප් වහන්සේ (1914-1922) එම සමයේ කල කතාවකින් කොටසක්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත්  කළේය.:" අද සෑම තැනකම යුද්ධය තිබෙනවා. සෑම තැනකම දකින්නේ වෛරයයි.මෙම යුද්ධය නිසා අපට කුමක් ඉතිරි වේවිද? "

"15 වන බෙනඩික් පාප් වහන්සේ පැවසු ලෙසම, මේ යුද්ධයෙන් පසුව අපට කුමක් ඉතිරි  වේවි ද?"  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විමසුවේය. "එය සුබවාදී දෙයක් නම් නොවේ. සුන් බුන්, අධ්‍යාපනයක් නොමැති දස දහස් සංඛ්‍යාත දරුවන්, යුද්ධයට ගොදුරු වූ අහිංසකයන් ලක්ෂ සංඛ්‍යාවක්, එසේම ආයුධ වෙළෙන්දන්ගේ සාක්කු පිරවූ අති විශාල මුදලක්.......යුද්ධයෙන් සිදුවන්නේ  එයයි."

යුද්ධයේ මාර්ගයට අවතීර්ණ වන්නේ දෙවියන් වහන්සේට නොව මුදලට හා වස්තුවට සේවාව කරන පුද්ගලයන් බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ. එසේම ජේසු සමිඳුන් ඔවුන් ගැන ඇති තක්සේරුව ද උන්වහන්සේ පෙන්වා දුන්හ:
"ඔවුන් පවසන්නේ මෙයයි: 'අපි ආයුධ හදමු. ඒ මගින් අපේ ආර්ථිකය දියුණු කර ගනිමු. අපි අපේ අභිලාෂයන් ලුහුබැඳ යමු.' එහෙත් ක්‍රිස්තුන් වහන්සේ මෙබඳු පුද්ගලයන්ට කතා කරන්නේ අතිශය අසුන්දර, අශෝභන වචනයකින්. එනම් "ශාප ලද්දෝ" යනුවෙන්."

ඒ අනුව සුදොතුම් පියතුමා අතිශය ප්‍රබල වචනයෙන් යුද මානසිකත්වයෙන් සිටින්නන් ගැන කතා කළහ.

"යුද්ධ කරන්නන් ශාප ලද්දන්ය. යුද්ධය හදන්නන් ශාප ලද්දන්ය. ඔවුන් අපරාධකාරයන් ය. මිනිසාට යුද්ධය යුක්තිසහගත කිරීම සඳහා ඕනෑම හේතුවක් දක්වන්නට පුළුවන්, එහෙත් සත්‍යය නම්, යුද්ධය නිසා දෙවියන් වහන්සේ වැලපෙනවා....මෙය භයානක යුද්ධයේ අංශු මාත්‍රයක් වුවත්, මිනිසුන් යුද්ධ කරන විට දෙවිඳුන් වැලපෙනවා...."

මිනිසකුට විවිධ තර්ක මගින් යුද්ධයක් යුක්තිසහගත කල හැකි නමුදු, අද සුබ අස්නේ මෙන්, යුද්ධය අබියස දෙවියන් වහන්සේ වැලපෙන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. එතුමා අවධාරණය කලේ, මේ අනුව, ඉතා කුඩා යුද්ධයක් වුවද යුක්තිසහගත කල නොහැකි බවයි.

යුද අවි වෙළෙන්දන්  ලෝකය අවුල් කරමින් යන අතර, සිය ජීවිතය සාමය ඇති කිරීම වෙනුවෙන් කැප කල  කල්කටාවේ තෙරේසා මව් තුමිය වැනි කාන්තාවන් හා මිනිසුන් ද සිටින බව එතුමා පෙන්වා දුන්නේය. " ඇය කලේ කුමක්දැයි ලෝක බලවතුන්  ප්‍රශ්න කරන්නට පුළුවන්. ඇය  දිනා ගත්තේ කුමක් ද?  ඇය කලේ  මහ මග මැරෙන්නට ආසන්න පුද්ගලයන්ට උදව් වෙමින් කාලය නාස්ති කිරීම පමණක් බව ඔවුන් පවසන්නට පුළුවන්. මන්ද, සාමයේ මග ඔවුනට නොතේරෙන නිසා......"

" මේ යුද්ධය නිසා ජේසු සමිඳුන් අදත් කඳුළු සලනවා. මේ නිසා, සාමයේ මාර්ගය නොපිළිගන්නා නූතන ලෝකය වෙනුවෙන් හඬා වැටෙන්නට කඳුළු වරප්‍රසාදය දෙන්නැයි ඉල්ලා අපි යාච්ඥා කරමු. යුද්ධයෙන් ජීවත්වෙමින් යුද්ධ නොකරන්නැයි කුහක ප්‍රකාශ කරන ලෝකය වෙනුවෙන් කදුළු සලන්නට වරම් ඉල්ලමු. අතීතයේදීත්  දැනටත් යුද්ධ වලින් සිදුවූ සහ සිදුවන අපරාධ වෙනුවෙන් දයාවේ ජයන්ති වසරේදී  වැළපීමට අවශ්‍ය පසුතැවුණු හදවතුත් කඳුලුත් ඉල්ලා යාච්ඥා කරමු"  යි සුදොතුම් පියතුමා ඇරයුම් කළේය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය