"පාප් වහන්සේ සභා 'ප්‍රතිසංස්කරණ සටනට' සූදානම් " - ඔස්කා රොඩ්රිගුවෙස් කාදිනල් හිමි

Pope Francis "Prepared to Battle" over reforms - Senior Cardinal says 

අති උතුම් ඔස්කාර් රොඩ්රිගුවෙස් කාදිනල් හිමි

(2015 නොවැම්බර  16)
ඇතැම් සංස්ථිතික මත වාදීන් ගේ ප්‍රතිරෝධයත්, වතිකානයෙන් වාර්තා වී ඇති අලුත්ම 'වැටිලීක්ස්' අපචාර සිද්ධියත් නොතකා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ ප්‍රතිසංස්කරණ මාවතේ සිත් ශාන්තියෙන්, අධිෂ්ඨාන පූර්වකව  ගමන් කරන බව වතිකානයේ ප්‍රමුඛ පෙලේ කාදිනල් හිමිනමක් පවසයි.  එතුමා පෙන්වාදෙන්නේ වතිකානයේ අධික වියදම් පිලිබඳව  හා වතිකාන  පරිපාලන ව්‍යුහය වන රෝම ක්‍යුරියාවේ   'දේශපාලන' බලපෑම් පිලිබඳ හෙළිදරව් වී ඇති නවතම තොරතුරුවලින් පෙනී යන්නේ වතිකාන පාලන තන්ත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම දැඩි අවශ්‍යතාවක් වී ඇති බවයි.

පාප් වහන්සේ ගේ සමීපතම උපදේශකයකු  වන හොන්ඩියුරාස් හි අති උතුම් ඔස්කා රොඩ්රිගුවෙස් මරදියාගා කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ  සුදොතුම් පියතුමා ගේ පරිසර විශ්ව ලේඛනය පිලිබඳව ඇමෙරිකාවේ ෆෝර්ඩ්හැම් විශ්වවිද්‍යාලයේ දී පැවැති සම්මන්ත්‍රනයක දී ය. ඉකුත් නොවැම්බර 3 වැනි දා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

"යහපත් දෙයක් කරන්නට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට විරෝධතා එල්ලවෙනවා" වතිකාන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කාදිනල් හිමි කියාසිටියේ ය. " බයිබලයේ පොත්- විශේෂයෙන් ම ප්‍රඥාව පොත - කියනවා 'සමිඳුන් අනුගමනය කිරීමට ඔබ කැමැති නම්, සටන් කිරීමට සුදානම් වන්න' කියා. ඉතින්, පාප් වහන්සේ සටනට සුදානම්" යැයි එතුමා කීවේය.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ ගැන මරදියාගා කාදිනල් තුමා විස්තර කළේය. "වතිකානය තුළ සිදුවෙමින් පවතින්නේ විප්ලවයක්. එය ඇත්තෙන්ම ප්‍රේමයේ සහ බලාපොරොත්තුවේ විප්ලවයක්. ප්‍රතිසංස්කරණ සිදුවන්නේ ඒ ආකාරයටයි" එතුමා සඳහන් කළේය.

ලතින් ඇමෙරිකාවේ හොන්ඩියුරාස් හි ටෙගුචිගල්පා පදවියේ අගරදගුරුතුමන් වන සලේසියානු නිකායික රොඩ්රිගුවෙස් කාදිනල් හිමි, වතිකාන ප්‍රතිසංස්කරණය පිලිබඳ පාප් වහන්සේගේ උපදේශකයෙකි. වතිකාන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් 2013 දී පත් කරන ලද නව පුද්ගල කාදිනල් මණ්ඩලයේ ප්‍රධානියා එතුමා ය. එම කාදිනල් මණ්ඩලයේ තවත් හමුවක් දෙසැම්බර මුල් සතියේ පැවැත්වේ.

මෙම හමුවේ දී ඔවුනට බොහෝ දේ කතා කිරීමට ඇතැයි වතිකාන වාර්තා පවසයි.

'වැටිලීක්ස් -2'

ඉන් ප්‍රමුඛස්ථානය ගන්නේ ඉකුත් සතියේ  වතිකානය සසල කල 'වැටිලීක්ස් -දෙවැනි" සිද්ධිය යි. රෝම කියුරියාවේ නිලධාරියකු වන මොන්සින්ඥෝර් (මාහිමි) තුමකු සහ මුල්‍යය කටයුතු පිළිබඳව පාප් වහන්සේට උපදෙස් දෙන ගිහි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීම මෙම සසල වීමට හේතුවයි. ඔවුනට එරෙහිව තිබූ චෝදනාව: ශුද්ධාසනයේ මුල්‍ය අක්‍රමිකතා පිලිබඳ රහස්‍ය ලිපි ලේඛන නීති විරෝධී ලෙස පත්‍ර කලාවේදීන්ට ලබා දීමයි. මෙලෙස පිටකරන ලද තොරතුරු පාදක කර ගනිමින් ඉතාලි ජාතික මාධ්‍යවේදියකු ලියූ  පොත් දෙකක් මේ මාසයේ නිකුත් වීමට නියමිතයි. මේ ප්‍රවෘත්තිය හේතුවෙන් මාධ්‍ය  උද්වේගයක් ඇතිවිය. ඒ අතර සොළොස්වන බෙනඩික් විශ්‍රාමලත් පාප්වහන්සේ ගේ ධුර කාලයේ අවසන් කාල පරිච්ඡේදයේ බඳු අර්බුදකාරී හැඟීමක් වතිකානයේ ඇතිවිය.

මේ සම්බන්ධයෙන් ඉකුත් බදාදා පැවැති මාධ්‍ය හමුවේ දී වතිකාන ප්‍රකාශක ෆෙඩරිකෝ ලොම්බාර්ඩි පියතුමා කියා සිටියේ,නිකුත් කිරීමට නියමිත පොත් දෙකට පදනම් වී ඇත්තේ වතිකානයේ පැවැති මුල්‍ය දූෂණ සම්බන්ධයෙන් පියවර ගැනීමේ අරමුණින් ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ඉල්ලා තිබූ තොරතුරු පදනම් කරගෙන බවයි. කෙසේ නමුත් මෙම තත්වය නිසා  වතිකානය තුළ නිරන්තර අවුල්සහගත තත්වයක් පවතින බව පැවසීම පදනම් විරහිත බව එතුමා අවධාරණය කලේ ය. ප්‍රැන්සිස් පාප්වහන්සේ යටතේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යමින් ඇති බව පියතුමා පෙන්වා දුන්නේ ය. "පාප් වහන්සේ මෙම තත්වය ගැන දන්නවා. කලයුත්තේ කුමක් දැයි එතුමා දන්නවා.එසේම ඉදිරියට යා යුතු ආකාරයත් එතුමා දන්නවා" යැයි ලොම්බාර්දී පියතුමා කීවේය. 
"එම කනගාටුගායක ප්‍රවෘත්තිය ප්‍රීතිය ගෙන දෙන්නක් නොවේ. ඒ නිසාම ඊට ප්‍රතිචාරයක් දැක්වීම අවශ්‍ය වන්නේත් නැහැ. එහෙත් එකක් අවධාරණය කල යුතුයි. එනම්, මේ සිද්ධියෙන් පාප්වහන්සේ අධෛර්යයට පත් වෙලා නැහැ. සුපුරුදු ශාන්තිමත් බැවින් එතුමා සිය කටයුතු කැරගෙන යනවා" ලොම්බාදී පියතුමා සඳහන් කළේය.

"පාප් වහන්සේ සසල් වී හෝ අධෛර්යයට පත් වී නැහැ. රෝමය පිරිසිදු කිරීමේ කටයුතු උන්වහන්සේ නොකඩවා කරගෙන යනවා..." ඔස්කා රොඩ්රිගුවෙස් කාදිනල් හිමි ද ෆෝර්ඩ්හැම් සාසවියේ දී කියා සිටියේ ය.

"පාප් වහන්සේ දෙවිඳුන් ගේ මිනිසෙක් නිසා, යාච්ඥාවේ මිනිසෙක් නිසා උන්වහන්සේ මේ සිද්ධි වලින් අධෛර්යයට පත් වන්නේ  නැහැ. උන්වහන්සේ බිය වන්නේත් නැහැ. තමන් කරන්නට ඇත්තේ  කුමක්දැයි උන්වහන්සේ පැහැදිලිව වටහාගෙන තිබෙනවා. තමන් කරන දේ ගැන භාවනාවෙන් හා යාච්ඥා කිරීමෙන්  තොරව එතුමන් කිසිවක් කරන්නේ නැහැ" කාදිනල් හිමි පෙන්වා දුන්නේ ය.

රදගුරු සිනොඩ් සමුළුව ආරම්භයේ දී කාදිනල් හිමිවරුන් 13 දෙනෙකු (එම සමුළුවේ ක්‍රමවේදය විවේචනය කරමින්) පාප් වහන්සේට රහසිගත ලිපියක් යැවූ අවස්ථාවේ එතුමන් ශෝකයට පත් වනු ඇතැයි තමා සිතූ බව රොඩ්රිගුවෙස් කාදිනල් හිමි කීවේය. එහෙත් පාප් වහන්සේ එම ලිපිය ගැන විවෘතව හා අවංකව අදහස් දැක්වුහ. කෙසේ නමුත් විවධ වාද  විවාද තිබුනත් සමුළුව ඉතා සාර්ථකව අවසන් විය. මේ නිසා එම ලිපියට අත්සන් තැබූ කාදිනල් හිමිවරු අපහසු තත්වයකට පත්වුහ. මන්ද එවැනි ලියුමක් අවශ්‍යව නොතිබූ නිසා යැයි එතුමා පෙන්වා දුන්නේ ය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය