පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය ගැන සුදොතුම් පියතුමා ශෝක වෙයි: "මේ තෙවන ලෝක යුද්ධයක බියකරු බවයි..."

Pope calls Paris terrorist attacks part of "piecemeal WW III" 



(2015 නොවැම්බර  14)
පැරිසියට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කම්පා වෙති. මෙය "තුන්වන ලෝක  යුද්ධයක බියකරු බව" කියා පාන්නක් බව උන්වහන්සේ පවසති.

නොවැම්බර 13 වන දා රාත්‍රියේ  පැරිස් නුවර  ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් හා ස්වයං ඝාතක ප්‍රහාර සම්බන්ධයෙන් ඉතාලියේ TV 2000 රුපවාහිනි නාලිකාව කල දුරකථන සාකච්ඡාවකදී පාප් වහන්සේ මෙම අදහස් පල කළහ.

පැයක පමණ කාලයක් තුළ ප්‍රංශයේ ස්ථාන කිහිපයක මෙම ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවිය. ජර්මනිය හා ප්‍රංශය අතර සුහද පාපන්දු තරගයක් පැවැත්වෙමින් තිබු ක්‍රීඩාංගනයක් අසල, රඟහලක් තුළ සහ ආපාන ශාලා හා සමාජ ශාලා කිහිපයක් ඇතුළු ස්ථාන හයක පමණ එක දිගට දාමයක් ලෙස මෙම පිපිරීම් සහ වෙඩි තැබීම් සිදු වූ බව ප්‍රංශ පොලිසිය කියයි. වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ආසන 1500 කින් සමන්විත බටක්ලාන් රඟහල තුලයි. ත්‍රස්තවාදීන් තමන්  අත තිබු අර්ධ ස්වංක්‍රීය ගිනි අවි වලින් එහි සිටි ප්‍රේක්ෂකයන්ට වෙඩි තැබීමෙන් 80කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. මෙම ත්‍රස්තවාදීන් "අල්ලාහු- අක්බර්' යයි හඬ නගා ප්‍රකාශ කරමින් වෙඩි තැබූ බව දිවි ගලවාගත් පිරිස් හා සිද්ධි ඇසින් දුටු ය අවසති. සිද්ධි දාමයෙන් මිය ගියවුන්ගේ සංඛ්‍යාව 140 කට ආසන්න බව පොලිසිය පවසයි. රෝහල් වාර්තා අනුව තුවාල  ලැබුවන් ගේ සංඛ්‍යාව 300කට ආසන්නය. පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා හොලාන් ද පාපන්දු තරගය නරඹන්නන් අතර සිටියේය. වහාම ඔහු ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යන ලදී. පැරිසිය පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, දේශ සීමා වසා දමා තිබේ.  පොලිසිය හා යුද හමුදාව පරීක්ෂණ හා ආරක්ෂක කටයුතු මෙහෙයවයි. මෙය දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රංශයට මෙවැනි යුද බියක්  ඇති වූ  ප්‍රථම අවස්ථාවයි.

"යුද බියෙන් ගිණිගත් ලොව සනහාලන ප්‍රේමය": බෝම්බ හඬින් බියෙන් කම්පිතවී ක්‍රීඩාංගනය මැදට දිව ආ ක්‍රීඩා ලෝලීන් අතර වූ යුවලක් තමන් සනසා ගත් අයුරු

මෙම සිද්ධි දාමය ගැන ඇසීමෙන් තමන් මහත් කම්පාවටත් වේදනාවටත් පත් වූ බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ.  එහි බලපෑමට ලක්වූවන්ට තමන් හදවතින් හා යාච්ඥාවෙන් සමීප වන බව එතුමා කියා සිටියේය.

"මම ප්‍රංශ ජනතාව වෙතත්, විශේෂයෙන් මේ සිද්ධිවලට ගොදුරුවූවන් ගේ පවුල් වෙතත් හදවතින් සමීප වෙනවා. ඔවුන් සියලු දෙනා වෙනුවෙන්ම මා යාච්ඥා කරනවා. මිනිසුන් මේ ආකාරයේ අමානුෂික දේ කරන්නේ කෙසේදැයි  තේරුම් ගත නොහැකියි. මම ප්‍රංශයට බොහෝ ආදරෙයි " යි එතුමා TV 2000 නාලිකාවට කියා සිටියේ ය. මෙම නාලිකාව ඉතාලි රදගුරු මණ්ඩලයට අයත් මාධ්‍ය ආයතනයකි.

මේ අතර වතිකාන රාජ්‍ය ලේකම් අති උතුම් පියෙත්‍රෝ පැරෝලිනි කාදිනල් හිමිපාණන්  පැරිසියේ අගරදගුරු අති උතුම් අන්ද්‍රේ වින්-ත්‍රෝයි කාදිනල් හිමිපාණන් වෙත පාප් වහන්සේ වෙනුවෙන් මේ සම්බන්ධයෙන් පණිවිඩයක් යවා තිබේ. "සුදොතුම් පියතුමා ඉතා දැඩි ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකියි. ප්‍රචණ්ඩ ක්‍රියා මගින් කිසිවක් විසඳා ගත නොහැකි බව එතුමන් ගේ විශ්වාසයි. සියල්ලන් තුළ සාමයේ සහ සහයෝගිතාවයේ සිතිවිලි ජනිත කරන්නැයි එතුමා දෙවි සමිඳාණන්ගෙන් ඉල්ලා සිටිති. එසේම, මෙම සිද්ධියෙන් විපතට පත් පවුල් වලටත් සමස්ත ප්‍රංශ ජනතාව වෙතත් දෙවි සමිඳානන් ගේ බහුල වූ ආශීර්වාද ලබා දෙන ලෙස ද සුදොතුම් පියතුමා යාච්ඥා කරයි" යැයි එම විදුලි පණිවිඩයේ සඳහන් වේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය