"කතිකාව පාර්ලිමේන්තුවක් නොවේ...." සිනොඩ් ආරම්භක දේශනය

Pope: Synod is not a parliament; but a place to listen to Holy Spirit 

සිනොඩ් කතිකාව යාච්ඥාවකින් ආරම්භ වූ අවස්තාව


(2015 ඔක්තෝබර 5)
පවුල පිලිබඳ සාමාන්‍ය රදගුරු සිනොඩ් කතිකාව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ  ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර 5 වැනිදා (ඊයේ) වතිකානයේ දී ආරම්භ විය. සිය ආරම්භක දේශනය කරමින් පාප් වහන්සේ ඊට එක්වන සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ කතිකාව දේශපාලිනකරණය නොකරන ලෙසයි. ඒ වෙනුවට ශුද්ධාත්මයාණන් ගේ මගපෙන්වීමට ඉඩ දෙන්නැයි උන්වහන්සේ සාමාජික රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.

කතිකාවේ ප්‍රථම සැසිය ආරම්භ වීමට පැය  කාලකට  පමණ කලින් පාප් වහන්සේ එය පැවැත්වෙන සවැනි පාවුළු ශාලාව අබියසට පැමිණ සිටියහ. එතැන සිට උන්වහන්සේ  කතිකාවට පැමිණෙන සිනොඩ් සාමාජිකයන්, කිතුනු ප්‍රජා නියෝජිතයන් සහ විශේෂඥයන් හා නිරීක්ෂකයන් ලෙස පැමිණෙන ගිහියන් පිළිගත්හ. කාදිනල් හිමිවරුන්, අගරදගුරු හා රදගුරු හිමිවරුන්, පුජකවරුන් ඇතුළු 270 දෙනකු කතිකාවේ නිගමන වලට චන්දය ප්‍රකාශ කිරීමේ වරම් ලබා සිටිති.

"සිනොඩ් කතිකාව අප එකඟතාවකට එන සාලයක් හෝ සම්මන්ත්‍රණයක් හෝ පාර්ලිමේන්තුවක් හෝ සෙනෙට් සභාවක් හෝ නොවේ" යි සුදොතුම් පියතුමා කතිකාව අමතමින් කියා සිටියේ ය. "එය, සභාවේ ප්‍රකාශනයකි; විශ්වාසයේ දෑසින් හා දෙවියන් වහන්සේ ගේ හදවතින් යථාර්ථය තේරුම් ගැනීම සඳහා සභාව එක්සත්ව යන ගමනකි. එබැවින් ශුද්ධාත්මයානන් ගේ ක්‍රියාකාරීත්වයට ඉඩ සලසනු සඳහා, සිනොඩ් සාමාජිකයන්, ධර්මදානීය බැහැපත්කමේ සහ නිසැක යාච්ඥාවේ අපෝස්තලික දිරිය වඩවා ගත යුතු ය. මානව හදවත් වලින් සත්‍යයේ ආලෝකය නිවා දැමීමට තැත් කරන ලෞකික කෙලෙසීම් හෝ දුෂ්‍ය කිරීම් මගින් අපෝස්තලික ධෛර්යය බිය ගැන්විය හැකි නොවේ."

සිනොඩ් සාමාජිකයන් විශ්වාසයේ නිධිය වන සභා ඉගැන්වීම්වලට විශ්වාසවන්ත විය යුතු යයි පාප් වහන්සේ පෙන්වා දුන්හ. "මෙම විශ්වාසයේ නිධිය වූ කලි නැරඹීම සඳහා තිබෙන හෝ සංරක්ෂනය කර තැබිය හැකි  කෞතුකාගාරයක් නොව ජීවමාන දිය උල්පතකි. සභාව සිය පවස නිවා ගැනීම සඳහා එම උල්පතින් පානය කරන අතර ජනතාව ද ආලෝකවත් කරන්නීය."

සිනොඩ් ශාලාව හා කුඩා සාකච්ඡා කණ්ඩායම් ශුද්ධාත්මයානන් ගේ ක්‍රියා කාරීත්වයට ඉඩ සලසන අවකාශයන් බවට පත් කරන්නැයි පාප් වහස්නේ ඉල්ලා සිටියහ. "යාච්ඥාවේ  ආත්මීය ගුණය තුළ, තමන් දෙවියන් වහන්සේගේ මගපෙන්වීමට යටත් කරන සෑම කෙනකු තුලින් ම ආත්මයාණන් වහන්සේ කතා කරනු ඇත. ඒ දෙවියන් වහන්සේ සෑම විටම අප මවිතයට පත් කරන තැනැන්වහන්සේ ය; තමන් බුද්ධිමතුන් හා ප්‍රඥාවන්තයන් ගෙන් සඟවන දේ ඉතා කුඩා වුවනට හෙළිදරව් කරන තැනැන්වහන්සේ ය; සබත මනුෂ්‍යයා සඳහා මිස මිනිසා සබත සඳහා නොමවන ලද තැනැන්වහන්සේ ය ; ඒ දෙවියන් වහන්සේ බැටළුවන් 99 දෙනෙක් හැර දමා නැති වූ බැටළුවා සොයා යන තැනැන්වහන්සේ ය; ඒ දෙවියන් වහන්සේ අපගේ තර්ක ශාස්ත්‍රයට හා ගණිතයට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ වන තැනැන්වහන්සේ ය."

සිනොඩ් සාමාජිකයන් අපෝස්තලික දිරිය වඩවා ගත යුතු යැයි පාප් වහන්සේ පෙන්වා දුන්හ. "එවිට  මානව හදවත් වලින් සත්‍යයේ ආලෝකය නිවා දැමීමට තැත් කරන ලෞකික දුෂ්‍ය කිරීම් මගින් ඔවුන් බිය ගැන්විය හැකි නොවේ. අනෙක් අතින්  ජනතාව දෙවියන් වහන්සේ වෙතින් තව දුරටත් ඈත් කරන දැඩි සිත් ඇත්තන් ඉදිරියේ අපෝස්තලික දිරිය ඇත්තවුන් බියෙන් වෙව්ලන්නේ නැති බව ද එතුමා සඳහන් කලේ ය.

තම අභිමතයන් හා මනාප දෙවියන් වහන්සේ ඉදිරියේ නිහඬ කර ගත්  විට දෙවියන් වහන්සේ ගේ  මෘදු හඬ නිහඬතාව තුලින් අපට ඇසෙනු ඇතැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ සිනොඩ් කතිකා පියවරුන්ට කියා සිටියහ.

පවුල පිලිබඳ මෙම රදගුරු කතිකාව කරා සභාව පා නැගු ගත වූ වසර දෙක ඇතුලත විවධ අංශ වලින් ඊට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබිණ. දරුණු බලපෑමක් එල්ල වුයේ සභාවට බාහිර ජනමාධ්‍ය ඇතුළු ලෞකික බලපෑම් කණ්ඩායම් වලිනි. විවාහය හා පවුල පිලිබඳ සභා ඉගැන්වීම් යල් පැන  ගිය නෂ්ටාවශේෂ ලෙස හැඳින් වූ ඔවුන් කියා සිටියේ යුගයට ඔබින ලෙස ඒවා වෙනස් විය යුතු බවයි.ඊට ප්‍රති විරුද්ධව සිටියේ සභාව තුල සිටින දැඩි මතධාරී කණ්ඩායමයි. කවර හේතුවක් මත හෝ නීතියේ ඉස්පිල්ලක් පාපිල්ලක් තරම් වත් වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවට ඔවුහු තර්ක කළහ. එහි ගැබ් වී තිබුනේ "මනුෂ්‍යයා සබත සඳහා ය " වැනි මතයකි.

කතිකාව ඇරඹීමට පෙර  තමන් කල මෙම මග පෙන්වීමේ කතාවෙන් පාප් වහන්සේ පෙන්නුම් කිරීමට උත්සාහ කර ඇත්තේ අන්තවාදී මාර්ග හෝ ලෞකික ජනප්‍රිය මාර්ග හෝ නොව "දෙවියන් වහන්සේ අපට පෙන්වන මාර්ගය " තෝරාගැනීම කතිකා පියවරුන් අබියස ඇති අභියෝගය බවයි.

(CNS/CNA)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය