"නපුරු මිනිසුන් සශ්‍රීක වන්නේ ඇයි" සුදොතුම් පියතුමා විමසයි

 "Why do good things happen to bad people? " Pope explains from the Holy Scriptures



(2015 ඔක්තෝබර 9)
"අපේ නෙත් මානයේ යහපත් දැහැමි ජනයා අනේක විධ දුම් කම් කටොලු වලට මුහුණ දෙද්දී ,නපුරු අදමිටු මිනිසුන් සශ්‍රීක වන්නේ කොහොමද?"  යහපත ගැන කතා කරන සෑම මොහොතකම එය අප තුළ ගටගන්නා ප්‍රශ්නයකි. "අයහපත් මිනිසුනට යහපත් දේ සිදුවන්නේ කොහොමද?"  සාන්තා මාර්තා නිවහනේ ඊයේ උදාසන දිව්‍ය පුජාවේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ද එම ප්‍රශ්නය ඇසූහ. එසේ ප්‍රශ්න කල එතුමා ඊයේ (ඔක්තෝබර 8 බ්‍රහස්පතින්දා)දිව්‍ය පුජාවේ දේව වචනය විග්‍රහ කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය.

"තම සැමියා හා දරු තිදෙනා සමග ප්‍රේමයෙන් ජීවිතය ගත කල යොවුන් මවක් පිළිකාවකින් ඔත්පල වෙනවා. ඈ සිය පවුලේ අය රැක බලාගත නොහැකිව ඇඳටම වැටෙනවා. ඇයි ? හදවතින් බැතිමත්ව දෙවිඳුන් සරණ ගිය වැඩිහිටි මවක ගේ එකම පුතා මාෆියා සාමාජිකයන් විසින් ඝාතනය කරනු ලබනවා. ඒ ඇයි ?"

එදිනෙදා ජීවිතයේ දකින අයුක්‌තිය හා අසාධාරණයත්, දිව්‍ය සංරක්ෂණය, යුක්තිය සහ දයා කරුණාවත් අතර ඇති සම්බන්ධතාවත් ගැන යහපතට ප්‍රේම කරමින් තම ජීවිතය පිලිබඳ දේව සැලැස්ම ගැන විශ්වාස කරන මිනිසුන් ගේ හදවත් තුළ නිරන්තරයෙන්  හට ගන්නා මෙම ප්‍රශ්නයෙන් සුදොතුම් පියතුමා සිය මෙනෙහි කිරීම ආරම්භ කළේය.

මිනිස් සිතේ පහල වෙන මෙම හැඟීම ම මෙදින පළමුවන දේව ප්‍රකාශනයේ මලාකි දිවස්ප්‍රසාදීවරයා ද ප්‍රතිරාව නඟන බව එතුමා පෙන්වා දුන්නේ ය. 'ඔබට විරුද්ධව අපි කුමක් කීවෙමු ද? දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලය. උන්වහන්සේ ගේ අණ පනත් ඉටු කිරීමෙන්වත් උන්වහන්සේ ඉදිරියේ පසුතැවිල්ලේ සළු පැළඳ ගැනීමේත් වත් වැඩක් ඇද්ද? අපට පෙනෙන ලෙසට නම් වාසනාව ඇත්තේ උඬඟු අයටය. දියුණු වන්නේ නපුරු  කම් කරන අය ය. මන්ද නපුරුකම් කරන්නෝ සශ්‍රීක වෙති. ඔවුහු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් දඬුවමින් නිදහස්ව සිටිති' යන්න එදා මලාකි දිවැසිවරයා තුළින් ප්‍රතිරාව වූ ජුදා ජනතාවගේ  ප්‍රශ්නය  බව පාප් වහන්සේ විස්තර කළහ.

"මෙම යථාර්ථය අයහපත් මිනිසුන් තුළ අප කොයි තරම් දකිනවා ද?" එතුමා ප්‍රශ්න කළේය. "නපුරු දේ කරන මිනිසුන් ජීවිතයේ ඉතා සශ්‍රීක වනු අයුරු අප දකිනවා. ඔවුන් සතුටින් සිටිනවා. ඔවුන්ට කිසි දෙක අඩු පාඩුවක් නැහැ. සියල්ල තිබෙනවා.ඇයි සමිඳුනේ? මෙය අප සතු ප්‍රශ්න ගණනාව අතරින් එකක්.මේ සිත් පිත් නැති, ලජ්ජා නැති නපුරු කම් කරන්නා...දෙවියන් හෝ තමන් ගේ අසල්වැසියා කිසිසේත් මායිම් නොකරන පුද්ගලයා දියුණු වෙද්දී, යහපත කරන්නට උත්සාහ කරන අපට සියලු ප්‍රශ්න එන්නේ ඇයි?" අප දකින යථාව පාප් වහන්සේ විස්තර කළහ.

එහෙත් උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ ගැටලුවට පිළිතුර තෙහිළි ගී (ගීතාවලිය) පොතේ පළමුවන ගීතිකාවේ එන බවයි. එම ගීතිකාවේ මෙසේ කියවෙයි: "දුදනන් ගේ උපදෙස් අනුව නොයන, පව් කරුවන් ගේ මග නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, සමිඳුන් ගේ විනයෙහි ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය."

මෙලෙස දුක් විඳින ජනතාව ගේ - මෙලෙස කුරුසිය දරා සිටින අයගේ - ඵල අප නොදකින බව එම ගීතයේ පණිවිඩය විග්‍රහ කරමින් පාප් වහන්සේ පැවසුහ. "එය එදා මහ සිකුරාදා කුරුසිය මත දුබලව, බල රහිතව මියගොස්  සෙනසුරාදා වන විටත් නිහඬව සිටි ජේසු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තිය බඳුයි. එතුමන් ගේ දුක්ප්‍රාප්තියේ ඵල දක්නට ලැබුනේ පසුවයි.'ඔහු  කරන සැම දෙයක් ම සඵල වන්නේ ය' කියා පළමු ගීතිකාවේ සඳහන් වෙනවා...."

ගීතාවලියේ පළමු ගීතිකාවට අනුව නපුරුකම් කරන්නාට වන විපත සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. එහි මෙසේ කියවෙයි: "පවිටු දන එසේ නොවෙති. කිසි සේත් එසේ නොවෙති.ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වෙති. මන්ද යහපත් අයට සමිඳාණෝ සරණ වන සේක. පවිටු අයගේ මාර්ගය විනාශයට යන්නේ ය."

මෙදිනට නියමිත සුබ අස්නේ එන ලාසරස් සහ ධනවතා  ගේ උපමාවෙන් නාට්‍යමය ලෙස අවධාරණය කෙරෙන්නේ පවිටුන් ගේ මෙම විනාශය, අභාවය සහ මතකයෙන් ගිලිහී යාම බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.
 "මේ උපමාවේ ජේසු සමිඳුන් කතා කරන ලාසරස්, ගැලවිය නොහැකි දුක්ඛිතභාවයේ සංකේතයක් බඳුයි. එසේ වූ ලාසරස්ට, ප්‍රීතියෙන් පිරි ජීවිතයක් ගත කල ධනවතා අවම වශයෙන් තම මේසයෙන් වැටෙන පාන් කැබැල්ලක් හෝ දුන්නේ නැත."

"ජේසු සමිඳුන් වදාළ මෙම උපමාවේ එන ධනවතාට නමක් නැත.එය කුතුහලය දනවන අපුර්ව සිදුවීමක්"  සුදොතුම් පියතුමා කීවේය." ඔහු හුදෙක් විශේෂණයක් පමණයි. 'ඔහු ධනවත් මිනිසෙක් විය.' එය විශේෂණ පදයක් පමණයි. දෙවියන් වහන්සේ ගේ වාර්තා පොතේ නපුරු, අයහපත් මිනිසුනට නමක් නැහැ.ඇත්තේ විශේෂණ පදයක් පමණයි.  'ඔහු නපුරු මිනිසෙක්; රැවටිලිකාරයෙක්....'."

එහෙත් ඊට ප්‍රතිවිරුද්ධව දැනට දුන් විඳින නමුත් යහපත් මිනිසුන් ගේ  අනාගතය ප්‍රැන්සිස් පාප් වහන්සේ විස්තර කළහ:

"එහෙත් ස්වාමින් වහන්සේ ගේ මාර්ගයේ ගමන් කරන ජනතාව උන්වහන්සේ ගේ පුතනුවන් සමග සිටිති. උන්වහන්සේට නමක් තිබේ. එනම් ජේසුස් ක්‍රිස්තුන් යන්නයි. අප වෙනුවෙන් කුරුසිය මත විඳි වේදනාවේ පරීක්ෂණය ගැන සිතන විට එම  නම තේරුම් ගැනීම අමාරු නාමයකි" යි එතුමා සඳහන් කලේ ය.







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය