"තනිකමින් අප මුදන්නේ කවුද? පවුල යි " බදාදා පොදු හමුව

"Who saves us from loneliness ? Family ! " Pope says 



(2015 ඔක්තෝබර 7)
පවුල තනිකමින් හා උදාසීන කමින් අප මුදා ගනියි. ජීවිතයට අත්‍යවශ්‍ය දේ අපට උගන්වන්නේ ද පවුලයි. සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (ඔක්තෝබර 7 බදාදා) සාතන පීතර චතුරශ්‍රයේ පැවැති සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි.

වසරක කාලයක් පවුල පිලිබඳ ධර්මෝපදේශ ඉගැන්වීම් බදාදා පොදු හමුවේ තේමාව කර ගත් පාප් වහන්සේ ඉකුත් සැප්තැම්බර මුල් සතියේ එය නිමාවට පත් කළහ. මෙම බදාදා සිට පවුල පිලිබඳ නව ධමොපදේශ කතා මාලාවක් ආරම්භ කරන බව එතුමා පැවසීය. මෙම කතාවලට කේන්ද්‍ර වන්නේ සභාව සහ පවුල අතර ඇති වෙන් කල නොහැකි සම්බන්ධතාවයි. සමස්ත මානව පවුලේ යහපත අරමුණු කරගනිමින් මෙම ධර්මෝපදේශය ආරම්භ කරන බව සුදොතුම් පියතුමා කීවේය.

සුදොතුම් පියතුමා මෙම දේශනය ආරම්භ කලේ දැන් වතිකානයේ පැවැත්වෙමින් ඇති පවුල පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව කෙරෙහිද අවධානය යොමු කරමිනි. එහි තේමාව "සභාව සහ නුතන ලෝකය තුළ පවුලේ කැඳවීම හා දුත මෙහෙවර බව පාප් වහන්සේ පෙන්වා දුන්හ.

පවුල අපේ අවධානයටත් සැලකිල්ලටත්  අද යොමුවිය යුතුව තිබෙනවා. සිනොඩ් කතිකාව මෙම ඉල්ලුමට ප්‍රතිචාර දැක්විය යුතුයි."එතුමා කීවේය."පවුලක් සමිඳුන් ගේ මාර්ගයේ ගමන් කරන විට එම පවුල දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයට මූලිකව සාක්ෂි දරයි. එවැනි පවුලකට සභාවේ සහයෝගය ද පුර්ණ කැපවීම ද ලැබිය යුතු ය"

දුෂ්කරතාවන් ඇති අවස්ථාවලදී පවා අප එකමුතු කරන විශ්වාසවන්තකම, අවංකකම, සත්‍යවාදිබව,සහයෝගිතාව සහ ගෞරවය වැනි ගුණාංග අප ඉගෙන ගන්නේ පවුල තුළින් බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "කෙනෙකු ගේ වචනයට ගරු කිරීම, සෙසු අයට ගෞරව කිරීම, කෙනකු ගේ සීමා තේරුම් ගැනීම වැනි දේ පවුල අපට උගන්වයි. එසේම ඉතාම කුඩා, ඉතා දුර්වල, පහසුවෙන් තුවාල කල හැකි, තුවාල ලද , බොහෝ කලකිරුණු සාමාජිකයන් කෙරෙහි පවුල හිලව් කල නොහැකි අවධානයක් යොමු කරයි."

පවුල මෙතරම් වැදගත් සාරධර්ම සමුහයක් සමාජයට ලබා දෙන්නේ නමුදු දේශපාලන හා ආර්ථික අංශවලින් ඊට නිසි ආධාරයක් සහයෝගයක් නොලැබෙන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.මේ අනුව පවුලේ ගුණධර්ම පොදු සමාජයට අන්තර්ග්‍රහණය කිරීමට එම අංශ අපොහොසත් වී ඇති බවක් පෙනී යන්නේ යැයි එතුමා කියා සිටියේ ය.

"කතෝලික සභාව සිය දුත මෙහෙවර ජීවත් කල යුත්තේ මෙතැන දී යැ"යි  ප්‍රැන්සිස් පාප් වහන්සේ කිවේය. "තමන් දෙවියන් වහන්සේ ගේ පවුල ලෙස ජීවත් වන්නේ කෙසේදැයි සභාව මෙහිදී පළමුව කල්පනා කල යුතුයි. ශු. පාවුළු තුමා මේ බව පැහැදිලිව පෙන්වා දෙයි. කලක් බොහෝ දුරස්ථව සිටියවුන් තව දුරටත් නාඳුනන්නන් හෝ අමුත්තන් නොව සාන්තුවරුන් හා දෙවිඳුන් ගේ පවුලේ සාමාජිකයන් බව පාවුළු තුමා කියයි."

මේ තත්වය තුළ පවුල සභාවට සම්බන්ධ වන ආකාරය පාප්වහන්සේ විස්තර කළහ.

"දෙවියන්වහන්සේ අප අමතක කර නොමැති බව අපට පැවසීමට  ජේසු සමිඳාණෝ  සභාව තුළින් යළිත්  අප පසුකරගෙන යති. අනෙක් අතින්, මිනිසුන් තනිකමේ සහ උදාසීනත්වයේ මුහුදේ ගිලී යාමෙන් වැලැක්වීම සඳහා සභාව 'මිනිසුන් අල්ලන්නට' යන්නේ සභාව පවුල තුළිනි. "

දිනක් අග්‍රශ්‍රාවක පේදුරු තුමා මුහුණ දුන් සිද්ධිය පාප් වහන්සේ සිහිපත් කළහ. රාත්‍රිය පුරා ගලීල මුහුදේ මසුන් අල්ලන්නට වෙහෙස වූ පේදුරුතුමාට එකදු මාළුවකු හෝ අල්ලාගන්නට නොහැකි විය. ආපසු හැරී එන්නට පිටත් වූ ඔහු වෙත ජේසු සමිඳාණෝ පැමිණියහ. "ගැඹුරට දැල හෙලල්ලන්නැයි" උන්වහන්සේ පේදුරු තුමාට උපදෙස් දුන් සේක. තම අත්දැකීම අනුව එම රාත්‍රියේ මාළු නොමැති වුවත්, ජේසු සමිඳුන් කෙරෙහි විශ්වාස කල ඔහු ගැඹුරට දැල හෙලුවේය. එවිට දැල ඉරෙන තරමට මාළු හසු වූ බව සුබ අස්නේ සඳහන් වේ. "එසේම දැල පිරෙන්නට  මාළු අල්ලාගන්නට ඕනෑ නම් සභාවත් ගැඹුරට දැල එලිය යුතු යැයි" පාප් වහන්සේ අවධාරණය කළහ.

"  දේව වචනය කෙරෙහි විශ්වාසයෙන් ගැඹුරට දැල් හෙලන ලෙස සභාවට උපදෙස් දීමට සිනොඩ් කතිකාවේ පියවරුන්ට ශුද්ධාත්මාලෝකයෙන් පුර්ණව ලැබේවා " යි යාච්ඥාවක් ඔප්පු කරමින් එතුමා සිය පොදු හමුව අවසන් කළේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය