"කළමණාකරුවන් නොව එඬේරුන් වන්න" - පාප්වහන්සේ ඇමෙරිකාවේ දී රදගුරු හිමිවරුනට කී දේ

"We are Shepherds- only shepherds" : What Pope said to American Bishops 

වොෂින්ටන් නුවර සාන්ත මතෙව් ආසන දෙව්මැදුරේදී රදගුරුහිමිවරුන් හමුවී

(2015 ඔක්තෝබර 6)
ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් දා ඇමෙරිකාවේ කල සංචාරයේ දී එරට රදගුරු හිමිවරුන් වෙනම හමු වූහ.

එහිදී උන්වහන්සේ රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ නිරන්තරයෙන් එඬේරුන් වීමට උත්සාහ කරන ලෙසයි. නිතර පුද්ගලයන් මුණගැසීමට ද  සංවාදයට ද බිය නොවන්නැයි උන්වහන්සේ ඔවුනට උපදෙස් දුන්හ.

පාප් වහන්සේ ඇමෙරිකානු රදගුරු හිමිවරුන් මුණගැසුනේ ඉකුත් සැප්තැම්බර් 23 වනදා වොෂින්ටන් නුවර සාන්ත මතෙව් ආසන දෙව්මැදුරේ පැවැති සන්ධ්‍යා මෙහෙයේ දී ය. සිය ගණනක් වන එක්සත් ජනපදයේ රදගුරු හිමිවරු ඒ සඳහා පැමිණ සිටියහ. මෙහිදී පාප්වහන්සේ රදගුරු හිමිවරුනට කල දෙසුම, මෝසැසි පෙරේරා මාහිමිපාණන් ගේ වදන්වලින් කියන්නේ නම්, මනහර "උපමා සිත්තම් ලකරින්" විචිත්‍ර වී තිබුනේ ය.

තමන් පැමිණියේ රදගුරුවරුන් කල යුත්තේ කුමක්ද යන්න ගැන නිශ්චිත අවවාද හෝ උපදේශ දීමට  නොවන බව පාප්වහන්සේ අවධාරණය කළහ. "මා පැමිණියේ ඔබ විනිශ්චය කිරීමටවත්  ඔබට දේශනයක් කිරීමටවත් නොවේ. ඔබට සැලැස්මක් දීමවත් ක්‍රමෝපායයන් ඉදිරිපත් කිරීමවත් මගේ අදහස නොවේ. ඒ වෙනුවට මා  උත්සාහ කරන්නේ  සහෝදරයන් අතර සහෝදරයකු ලෙස ඔබට කතා කිරීමටයි."

අභියෝගය

ධර්මදානයේ දී ඇමෙරිකානු රදගුරුවරුන් මුහුණ දෙන අභියෝග මහත්ය. ඔවුනට සේවා කිරීමට සිදු  වී ඇත්තේ වෙන කවරදාටත් වඩා ලෞකීකරණය වූත්, ධනවාදය 'නිල ආගම' වී පාරිභෝගිකවාදය තුළ සුඛ විහරණය හඹායාමත් ද්‍රව්‍ය වාදයත් නිසා විශ්වාසයට අන්ධ වූත් පරිසරයකය. එවන් පරිසරයකට මුහුන් හා ලවණ විය හැකි ආකාරය ප්‍රැන්සිස් පාප්වහන්සේ ඉඟි කළහ

"ඔබ මුහුණ දෙන බොහෝ ගැටළු ගැන මා දන්නවා. ඔබට  වපුරන්නට ඇති කුඹුර එතම් අස්වනු ලබා නොදෙන එකක් බවත්, බියට ඉඩ දී පසුබසින්නට යොමුකෙරෙන දුර්පරීක්ෂාවත්,එකිනෙකාගේ තුවාල ගැන කතාකිරීමට හෝ අතීතයේ සාර්ථකත්වයන් ගැන කතා කිරීමට හෝ විරෝධතාවලට දැඩි ප්‍රතිචාර දැක්වීමට හෝ සිතෙන වාරත් ඔබේ ජීවිතයේ සාමාන්‍ය දේ බවට පත්ව තිබෙනවා."

"එහෙත් අපි 'මුණගැසීමේ සංස්කෘතිය' (Culture of Encounter)  ප්‍රවර්ධනය කරන්නෝ වෙමු" යි සුදොතුම් පියතුමා කිවේ ය. "අපි දෙවියන් වහන්සේ ගේ පොහොසත් කමත් අපගේ දුප්පත්කමත් අතර සිදුවන වැළඳගැනීමේ ජීවමාන සක්‍රමේන්තු වෙමු. අපි ප්‍රේමයෙන් අපගේ සෑම ප්‍රතිචාරයක්ම බලාපොරොත්තුවන දෙවියන්වහන්සේ ගේ නිහතමානි වීමේ හා අවමානයට පාත්‍ර වීමේ සාක්ෂිකරුවෝ වෙමු."

"අපගේ ක්‍රම වේදය සංවාදයයි" සුදොතුම් පියතුමා පැහැදිලි කළේය."එසේ කරන්නේ ක්‍රමෝපායයක් හැටියට නොවේ. අවසන් හෝරාවේ දී පවා කඩ වීදියට ගොස් තමන්වහන්සේ ගේ  ප්‍රේමයේ ආරාධනය කරන්නට තරම් ඉවසිලිවන්ත වන තැනැන්වහන්සේට විශ්වාසවන්ත වීම සඳහා ය."

එඬේරික - සේවක - නායකත්වය 

රදගුරු හිමිවරුන්ගේ ජීවිතය හා සබැඳුනු කාර්යභාරය ප්‍රැන්සිස් පාප් වහන්සේ විස්තර කලේ ජේසු සමිඳුන් ම ඉදිරිපත් කල යහපත් එඬේරා ගේ චිත්ත රූපයෙනි.

"රදගුරුතුමන්ලා ලෙස අපගේ මහත් ම ප්‍රීතිය වන්නේ එඬේරුන් වීමයි - එඬේරුන් පමණක් ම වීමයි. නොබෙදුණු හදවතින් හා ස්වාර්ථකාමී නොවූ ඇල්මකින් යුත් එඬේරුන් වීමයි" යි එතුමා පැහැදිලි කලේ ය. "එඬේරුන් තණ බිමෙන් තමන් ම පෝෂණය වනවා වෙනුවට, ක්‍රිස්තුන් වහන්සේ සමග දෙවියන් වහන්සේ ගේ පවුල පෝෂණය කිරීම සඳහා, මධ්‍යයෙන් මදක් ඈත් වී, තමන් 'සුළු' කර ගැනීම  වඩාත් යෝග්‍ය වෙයි.එවැනි එඬේරු තමන් ගැන ද අවදියෙන් සිටිති. එසේ තමන් ගැන අවදියෙන් සිටින්නේ එඬේරැකු ගේ දෑස් අන්ධ කොට,හඳුනාගත නොහැකි ලෙස ඔහුගේ හඬ වෙනස් කොට, ඔහු ගේ ක්‍රියා නිෂ්ඵල කල හැකි ආත්මරාගයේ  ( narcissism) දුර්පරීක්ෂාවට හසු නොවනු සඳහා" යැයි පාප් වහන්සේ කියා සිටියහ.

සේවය වෙනුවට කළමනාකරණය කේන්ද්‍ර වූ නුතන ලෝක පරිසරය තුළ පරිපාලකයන් වීමේ හා බලය හඹායාමේ අනතුර ගැන ද සුදොතුම් පියතුමා අනතුරු ඇඟවුයේ ය. "ශක්තියේ බලය සහ දෙවියන් වහන්සේ අප ගලවා ගත් බල රහිත වීමේ ශක්තිය පටලවා ගතහොත් අප අපේක්ෂා විරහිත භාවයට ඇද වැටිය හැකි යැයි" එතුමා සඳහන් කලේ ය.

සංවාදයේ මාර්ගය 

සෑම විටම සංවාදයේ මාර්ගය තෝරා ගන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියහ.

"ඉදිරියේ ඇති මාර්ගය සංවාදයයි. ඔබ අතර සංවාදය, ඔබ ගේ පූජකතුමන්ලා සමග සංවාදය,ගිහියන් සමග සංවාදය, පවුල් සමග සංවාදය සහ සමාජය සමග සංවාදය එම මාර්ගයට ඇතුලත් වෙයි. නිර්භීතව සංවාදයේ දෙන්නැයි මා ඔබ දිරිමත් කරනවා"

"සියලු අව්‍යාජ සංවාද සඳහා අවශ්‍ය සාධකයක් වන තමන් වෙතින් 'නික්ම යාමට' බිය නොවන්නැ"යි  ද පාප් වහන්සේ ඉල්ලා සිටියහ. "එසේ නැතහොත් සෙසු අය ගේ සිතිවිලි තේරුම් ගැනීම අපට දුෂ්කර වනවා ඇත. එසේම  ප්‍රේමයේ බලයෙන් සහ සමීප බැවින් යුතුව අප ගලවා ගැනීමට උත්සාහ දරන සහෝදරයා හෝ සහෝදරිය ගේ අගය අප සිතනවාට වඩා වැඩි බව වටහා ගැනීමට ද අපට නොහැකි වනු ඇත."

සේවා මං පෙත

තම සේවා සඳහා යොදා ගත හැකි නිර්දේශ  කිහිපයක් ද සිය "හදවතින්ම" ඉදිරිපත් කරන බව සුදොතුම් පියතුමා පැවසීය.

පළමුවන නිර්දේශයෙන් එතුමන්  රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ  එඬේරුන් වන ලෙසයි."ජනතාවට සමීප එඬේරුන්, අසල්වැසියන් හා සේවකයන් වන එඬේරුන් බවට පත් වන්න."

මෙම සමීපබව වෙසෙසින් ම තමන් භාරයේ සිටින පූජක තුමන්ලාට විශේශාකාරයෙන් සමීප වීමෙන් පෙන්නුම් කරන්නැයි පාප් වහස්නේ ඉල්ලා සිටියහ. "නොබෙදුණු හදවතකින් ක්‍රිස්තුන් වහන්සේට නොකඩවා සේවය කරනු සඳහා ඔවුනට සහාය වන්න.දේව සේවකයන් ගේ පුර්ණ තෘප්තිය ලැබෙන්නේ එමගින් පමණකි.අඩක් වැඩ කිරීමෙන් තෘප්තිමත් වීමට ඔවුනට ඉඩ නොදෙන ලෙස මා  ඔබට ආයාචනා කරනවා. පුජකවරුන් නොතාරිස්වරුන් හෝ නිලධාරීන් බවට පත්වීමේ දුර්පරික්ෂාවෙන්  වැලැක්වීම සඳහා ඔවුන් ගේ ආධ්‍යාත්මික පෝෂණය දිරිගන්වන්න. සභාව මවක් බව නිතරම ඔවුනට පෙන්වා දෙන්න. මවක් සේ සභාව සිය දරුවනට උපත දී ඔවුන් ලොකු මහත් කරන බව සිහිපත් කරන්න"

තම පදවි වල පුජක තුමන්ට මග පෙන්වීම ගැන සුදොතුම් පියතුමා තවදුරටත් විස්තර කලේ ය.

"රාත්‍රියේ සිය විවේක ගැනීමේ  'අයිතිය' භුක්ති විඳීමට සුදානම් වෙද්දී සිය දොරට තට්ටු කරන අමුත්තකු පිලිගැනීමට නැගිට නොඑන පුජක තුමන් ගැන අවදියෙන් සිටින්න. තමන් සතු සියල්ල අහිමි වී ඇතැයි සිතන ඕනෑම කෙනෙකු අසල නවතින්නට, ඔවුනට සත්කාර කිරීමට, ඔවුන් සුවපත් කිරීමට, ඔවුන් නැගිටුවා ඔවුනට සහාය වීමට පුජකතුමන් පුහුණු කරන්න" යි ප්‍රැන්සිස් පාප් වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

පාප් වහන්සේ ගේ සහාය 

"යහපතක් කිරීමට හෝ ක්‍රිස්තු ප්‍රේමය දැක්වීමට හෝ අතක් දිගු වන විට ,කඳුලක් පිස දැමීමට හෝ තනි වූවකුට සහනයක් වීමට, අතරමංවූවකුට මග පෙන්වීමට හෝ බිඳුණු හදවතක් සුවපත් කිරීමට, වැටුණු අයකු නැගිටුවීමට හෝ සත්‍යයට පිපාස වූවකුට ඉගැන්වීමට, සමාව දීමට හෝ දෙවියන් වහන්සේ සමග යලි ජීව්ත ගමන ආරම්භ කිරීමට හෝ අතක් දිගුවන විට, පාප්වහන්සේ ඔබ අසල සිට ඔබට සහය දෙන බව දැන  ගන්න" යි සුදොතුම්පිය තුමා රදගුරු හිමිවරුනට පැවසීය.

"එතුමා සිය  අතක් ඔබේ අත මත  තබා ගනියි. ඒ අත වයස් ගත වීමෙන් රැළි වැටී ඇති නමුදු දේව වරප්‍රසාදය නිසා තවමත් ඔබට උදව් කර ශක්තිමත් කිරීමේ හැකියාව ඊට තවමත්  තිබේ."

(NCR)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය