"ජනතාවගේ අරගල නොසලකා හරින ආධ්‍යාත්මිකත්වය වැලිකතරක් සේ නිසරුයි; වියළියි" - සිනොඩ් සමාප්ති දිව්‍ය පුජාවේ දේශනය

Closing the Synod Pope says: Spirituality that ignores people's struggles is arid; creates desserts rather than becoming an oasis 



(2015 ඔක්තෝබර 28)
විශ්වාසික ජනතාවගේ ජීවිත ගමනේ දී ඔවුන් සමග එක්ව ගමන් කරන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයේ රදගුරු හිමිවරු ගෙන් ඉල්ලා සිටිති. "මායාවේ ආධ්‍යාත්මිකත්වයට" හෝ "වට්ටෝරුගත විශ්වාසයට" හසු නොවන්නැයි උන්වහන්සේ එතුමන්ලාට අනතුරු අඟවති. පුජකවරුන් ගේ යුතුකම වන්නේ විශ්වාසික ජනතාව කැටුව යාමත්, විශේෂයෙන් දුක්වේදනා සහ අර්බුදකාරී අවස්ථාවල දයාව රැගෙන යන්නන් බවට පත්වීමත් බව උන්වහන්සේ පෙන්වා දෙති.

පවුල පිලිබඳ ලෝක රදගුරු සිනොඩ් කතිකාව පරිසමාප්තියට කරමින් ඔක්තෝබර 25 වැනි ඉරිදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැති හවුල් ගායනා පුජාවේ ධර්ම දේශනාව කරමින් පාප් වහන්සේ මේ බව පැවසුහ.

මෙදින පාප් වහන්සේ ගේ ධර්ම දේශනාවට පාදක වුයේ ඉරිදා සුබ අස්නෙන් කියවුණු ජේසු සමිඳුන් ජෙරුසලෙමට යන ගමනේ දී බාර්තිමේයස් නම් අන්ධ සිඟන්නා සුවපත් කිරීමේ අවස්ථාවයි.

"ජේසු සමිඳුන් තම ජීවිතයේ වැදගත් ම ගමන යමින් සිටියදී පවා, එය නොතකා, බාර්තිමේයස් ගේ හඬ නැගීමට ප්‍රතිචාර දැක්වීමට නැවතුනා" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "ඔහුගේ ඉල්ලීමෙන්  හදවත උනු වූ උන්වහන්සේ, ඔහු ගේ තත්වය හා සම්බන්ධ වෙනවා. සිඟන්නකු වන බාර්තිමේයස්ට හුදෙක් දානයක් දීමෙන් තෘප්තිමත් වීමට ජේසු සමිඳුන් සිතන්නේ නැහැ. ඒ වෙනුවට පෞද්ගලිකව ඔහු මුණගැසීමට, ඔහුට සමීප වීමට උන්වහන්සේට අවශ්‍ය වෙනවා" යි සුදොතුම් පියතුමා එම තත්වය විස්තර කලේ ය.

"අපගේ අවශ්‍යතාවලට සවන් දීමට තමන්ට අවශ්‍ය බව ජේසු සමිඳුන් පෙන්වනවා. කිසිවක් උන්වහන්සේට නොසඟවමින් අපගේ ජීවිතය ගැනත් අපගේ සියලු ජීවිත අවස්ථා සහ තත්වයන් ගැනත් අප එකිනෙකා සමග කතා කරන්නට උන්වහන්සේ කැමතියි"

කිතුනුවන් මුහුණ දෙන දුර්පරීක්ෂා දෙකක් ගැන, බාර්තිමේයස් සුවපත් කිරීමේ ප්‍රාතිහාර්යය ගෙන හැර දක්වමින් පාප් වහන්සේ කියා සිටියහ.

"අන්ධ යාචක බාර්තිමේයස් මඟ අසල සිට මොර දෙන විට කිසිවෙක් හෝ ඔහු අසල නැවතුනේ නැහැ. එහෙත් ඔහු ජේසු සමිඳුන්ට හඬ නගන විට උන්වහන්සේ නැවතුනා. මෙම සිද්ධිය දෙස බලන විට, බාර්තිමේයස් අන්ධ නම්, එම ජනතාව බිහිරියි. ඔහුගේ ප්‍රශ්නය, ගැටලුව, ඔවුනට ප්‍රශ්නයක් වුනේ නැහැ. මෙය අපටත් අනතුරු දායක විය හැකියි" සුදොතුම් පියතුමා කීවේය. නිරන්තරයෙන් අප දකින ගැටළු හා ප්‍රශ්න ගැන නොතකා, එවැනි ප්‍රශ්නවලින් පෙලෙන අය ගැන කරදර නොවී, අප ඉදිරියට ඇදෙනවා. බාර්තිමේයස් ගේ සිද්ධියේ එන ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන් මෙන් , අප උන්වහන්සේ සමග ගමන් කලත්, අප උන්වහන්සේ සේ සිතන්නේ නැහැ. උන්වහන්සේ සේ සංවේදී නැහැ."

"අප ස්වාමීන් වහන්සේ ගේ කණ්ඩායමේ සිටියත් අපගේ හදවත් විවෘත නැත. අප අවට ඇති අසිරිය, අරුමය, මහිමය, කෘතඥතාව, උද්යෝගය අපට අහිමි වෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ හදවත් දේව වරප්‍රසාදයෙන් පවා උණු නොවන තත්වයට පත් වෙයි. අපට උන්වහන්සේ ගැන කතා කරන්නටත්, උන්වහන්සේ වෙනුවෙන් වැඩ කරන්නටත් පුළුවන්. එහෙත් අප ජීවත් වන්නේ, තුවාල වූවන්ට සමීප වන උන්වහන්සේ ගේ හදවතට, බොහෝ දුරස්ථවයි."

"මෙය දුර්පරීක්ෂාවක් (පාපයට පෙළඹවීමක්). එය හැඳින්වෙන්නේ "ආධ්‍යාත්මික මායාව" ('Spirituality of Illusion")නමින්" යැයි පාප්වහන්සේ විස්තර කළහ.එම දුර්පරීක්ශාවේ ලක්ෂණ එතුමා විස්තර කළේය: "මෙම තත්වය තිබෙන විට, යථාව දකින්නේ නැතිව අපට මනුෂ්‍යත්වයේ  කාන්තාර පසුකරමින් ගමන් කල හැකිය. අප දකින්නේ අපට දකින්නට අවශ්‍ය දේ පමණකි. ලෝකය පිලිබඳ දැක්මක් අපට ඇති කර ගත හැකි ය. එහෙත් දෙවියන් වහන්සේ  අපගේ දෑස් ඉදිරිපිට තබන දේ දැකීමට, එය පිළිගැනීමට අප සුදානම් නැත."

මෙලෙස ජනතාවගේ අරගල, ප්‍රශ්න නොතකන ආධ්‍යාත්මිකත්වයෙන් ඵලක් නොමැති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "ජනතාව ගේ ප්‍රශ්න, අරගල, අර්බුද තුළ මුල් බැස නොගන්නා විශ්වාසය වියලි, නිසරු විශ්වාසයකි. එවැනි විශ්වාසයක් ක්ෂේම භූමියක් බවට පත් වනු වෙනුවට තවත් කාන්තාර රැසක් ඇති කරයි." එතුමා කියා සිටියේ ය.

වට්ටෝරුගත විශ්වාසය (Scheduled Faith )

"දෙවන දුර්පරීක්ෂාව ඇති වන්නේ, අප දේව ජනතාව සමග එක්ව ගමන් කලත්, ගමනේ දී අපට අපගේ ම වැඩසටහනක් තිබෙන විටයි. අප සමිඳුන් ගේ ජනතාව සමග සිටියත්  අපගේ සෑම පියවරක් ම ලේඛන ගත කොට වට්ටෝරුවකට ඇතුළත් කරලයි තිබෙන්නේ" යි සුදොතුම් පියතුමා  මෙම තත්වය පැහැදිලි කරමින් කියා සිටියේ ය.

"මෙම තත්වයේ දී අප යන තැන කොහේදැයි අපි දනිමු. ඒ සඳහා ගත වන වෙලාව ද අපි දනිමු. ඉතින් අපි අපගේ රිද්මයට  මේ ගමන යන්නෙමු. සියල්ලන් අපගේ මෙම රිද්මයට ගරු කල යුතු යැයි අපි බලාපොරොත්තු වෙමු. එම රිද්මයට බාධා වන ඕනෑම ප්‍රශ්නයක් හිරිහැරයකි. කරදරයකි. මේ අයුරින් සුබ අස්නේ බාර්තිමේයස් ගේ සිද්ධියේ එන බොහෝ දෙනකු මෙන් අපට ද ඉවසීම නැතිවෙයි. එසේ වී "බාර්තිමේයස්ලාට "තරවටු කිරීමට අපි පටන් ගනිමු". වට්ටෝරු ගත විශ්වාසය යනුවෙන් හැඳින්වෙන්නේ මෙය බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

මෙවැනි කිතුනුවන් හා ජේසු සමිඳුන් අතර වෙනස් කම එතුමා පැහැදිලි කළේය.

"අනෙක් අතින්, ජේසු සමිඳුන්ට අවශ්‍ය වන්නේ සියල්ලන් අන්තර්ග්‍රහණය කරගැනීමටයි. විශේෂයෙන් ජන සමාජයේ සීමාවල, 'පාරවල් අද්දර' ඉන්නා පුද්ගලයන් සමීප කර ගැනීමටයි. මන්ද, ඔවුන් තුළත්,බාර්තිමේයස් තුළ සේ ගැඹුරු විශ්වාසයක් තිබේ. ගැලවීම ලබා ගැනීමට අවශ්‍යතාවක් තිබේ. ජේසු සමිඳුන් මුණ ගැසීමට ඇති හොඳම මග ගැලවීම ලබා ගැනීමට ඇති අවශ්‍යතාවයි" යයි පාප් වහන්සේ පෙන්වා දුන්හ.

කිතුනුවන් ගේ - කිතුනු නායකයන් ගේ කැඳවීම

පාප් වහන්සේ ප්‍රබල සංකේත හා වදන් භාවිත කරමින් මෙම දේශනය කලේ පවුල පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවේ දී මතු වූ විවිධ විවාදාත්මක කරුණු දේව වචනය ඔස්සේ සිහිපත් කරමිනි. පවුල සම්බන්ධයෙන් වන සභා නීතියට පිටතින් කිසිදු තීරණයක් ගත නොහැකි බව ඇතැම් සිනොඩ් පියවරුන් අවධාරණය කර තිබුනේය. "සභාවේ ප්‍රථම යුතුකම දණ්ඩන, දෝෂාරෝපණ හෝ පිළිකුළ ප්‍රකාශ කිරීම නොව ජේසු සමිඳුන් ගේ දයා කරුණාව පතළ කිරීම" බව එහි අවසන් දේශනයේ දී එතුමා කියා සිටියේ ය. ඉරිදා දිව්‍ය  පුජාවේ ධර්ම දේශනාව ද එම අදහස වෙනත් වචනයෙන් කීමක් වැන්න.

කිතුනුවන් කැඳවනු ලැබ සිටින්නේ, ජේසු සමිඳුන් බාර්තිමේයස් විෂයෙහි ක්‍රියා කල සේ ක්‍රියා කිරීමට බව සුදොතුම් පියතුමා එහිදී කීවේය.

"විශේෂයෙන් මේ යුගයේ ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන්  කැඳවනු ලැබ සිටින්නේ  මේ සඳහායි: ගැළවීම ලබා දෙන දයා කරුණාවේ  ස්පර්ශය වෙත ජනතාව  කැටුව ඒම සඳහායි. බාර්තිමේයස් ගේ කෑ මොර දීම සේ මනුෂ්‍යත්වයේ මොර ගැසීම තව තවත් ප්‍රබල වන විට, උන්වහන්සේ ගේ වචන  අපගේ වචන කර ගැනීම හා උන්වහන්සේ ගේ හදවත අනුකරණය කිරීම හැර වෙනත් ප්‍රතිචාරයක්  ඇත්තේ නැත."

"දුක් වේදනා සහ ගැටුම්කාරී අවස්ථා දෙවියන් වහන්සේ ගේ දයාවේ නිමේෂයන් ය. අද දයාවේ  නිමේෂයකි " යයි සුදොතුම් පියතුමා සඳහන් කලේ ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය