සිනොඩ් කතිකාවේ ප්‍රතිඵලය: විනිශ්චය නොකරන, සවන් දෙන කැටුව යන සභාවක්

The outcome of the Synod: A non-judgmental, listening, accompanying Church 


(2015 ඔක්තෝබර 26)
"සභාවේ මුලික යුතුකම වන්නේ විනිශ්චය කිරීම හෝ පිළිකුල ප්‍රකාශයට පත් කිරීම නොව දෙවියන් වහන්සේ ගේ අසීමිත වූ දයා කරුණාව ප්‍රකාශ කිරීමය".

සති තුනක් පුරා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී මුළු දුන් පවුල පිලිබඳ රදගුරු සිනොඩ් සමුළුව ඉකුත් සෙනසුරාදා (ඔක්තෝබර 24 වන දා ) අවසන් විය. කතිකාව අවසානයේ සිනොඩ් නිගමන ඇතුලත් ප්‍රකාශ පත්‍රය සඳහා ඡන්ද විමසීමෙන් පසුව   සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිනොඩ් පියවරුන් - කාදිනල් හිමිවරුන්, රදගුරු-අගරදගුරු හිමිවරුන්, පුජාප්‍රසාදිවරුන්, පැවිදිවරුන් -පවිදිවරියන් හා ගිහි සාමාජිකයන් - අමතමින් මේ බව පැවසුහ.

සති තුනක සාකච්ඡා, වාද විවාද වලින් පසු ඇති කරගත් නිගමන සභාවේ ඉගැන්වීම් වලට මුළුමනින්ම අනුකුල වන අතර ඒවා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දැක්මට හා එතුමන් ගේ "දේව දයා කරුණාවේ" කේන්ද්‍රීය පණිවිඩය ද අනුමත කරන ඒවා බව වතිකාන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

සිනොඩ් සමුළුව නූතන ලෝකයට අවශ්‍ය වන ගැටළු කිහිපයකට - එනම්, දික්කසාද වූ කතෝලිකයන් හා සමලිංගිකයන් ගේ ප්‍රශ්නවලට- පමණක් ලුහු කිරීමට ලෞකික ජනමාධ්‍ය වලින් පෙළඹවීමක් තිබුනේ  වුවද ඊට වඩා පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් අශීර්වාදකාර බන්ධන ප්‍රසාද නිධානයේ හා පවුලේ සෞන්දර්යය හා ශුද්ධවන්ත භාවය යලිත් වරක් අවධාරණය කිරීමට සිනොඩ් පියවරු සමත් වූහ. ඒ  හැරුනුකොට, ගෘහාශ්‍රිත හෙවත් පවුල් තුල සිදුවන හිංසන ක්‍රියා, කාන්තාවන්ට එරෙහි හිංසනය, පවුල් තුළ සිදුවන ව්‍යාභිචාර හා අපයෝජන, අසභ්‍ය ප්‍රකාශන හා විවාහ සුදානම ඇතුළු මාතෘකා රැසක් සම්බන්ධයෙන් සිනොඩ් පියවරු පුළුල්ව සලකා බැලුහ. ඒ කරුණු සම්බන්ධයෙන් සභාවේ දැක්ම සිනොඩ් ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වේ.

මෙම සිනොඩ් කතිකාවේ වැදගත්ම ප්‍රතිඵල වන්නේ දික්කසාද වී පළමු විවාහය අහෝසි කරගැනීමකින් තොරව යළී විවාහ වුවන්, විවාහ නොවී 'එකට ජීවත් වන' යුවල්, සහ සමලිංගික නැඹුරුවක් ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් කාරුණික හදවතින් හා ධර්ම සේවාමය ජීවගුණයකින් යුතුව කටයුතු කිරීමට සභා පියවරුන් එකඟත්වයකට පැමිණීමයි.

කතිකාව අවසානයේ නිකුත්  ප්‍රකාශනය වගන්ති 94 කින් සමන්විත විය. ඒ එකින් එක වගන්තිය සඳහා ඡන්දය විමසන ලද අතර, වගන්ති තුනක් හැර සෙසු ඒවා ඉතා පහසුවෙන් තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත විය. දික්කසාදයට සම්බන්ධ වගන්ති තුනක්  පමණක් සම්මත වූයේ, තුනෙන් දෙකකට වැඩිනමුත්, ඉතා ආසන්න ඡන්ද සංඛ්‍යාවකිනි. ඊට හේතුව, මේ සබන්ධයෙන් පවතින සභා නීතිය ලිහිල් කිරීමට  සංස්ථිතික මතවාදීන් (conservatives) කිසිසේත් සුදානම් නොවීමයි. නිදසුනක් ලෙස දික්කසාද වී පළමු විවාහය අහෝසි කිරීමෙන් තොරව සිවිල් විවාහයක් කරගන්නා කතෝලිකයනට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම සභා නීතියට පටහැනි බව සංස්ථිතික මතවාදීහු අවධාරණය කළහ. කෙසේ නමුත් මෙවැනි අවස්ථාවක සිටින කතෝලිකයන් සම්බන්ධයෙන් ක්‍රියා කල යුතු ආකාරය විස්තර කරන කතිකා ප්‍රකාශනයේ වගන්ති වල ඔවුනට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා දීම ගැන කිසිවක් සඳහන් වන්නේ නැත. ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී  නිර්ණය කිරීම හා හර්දය සාක්ෂියට අනුකුලව, එක් එක් සිද්ධියට අනුව, පදවියේ රදගුරු තුමාගේ හා මීසම භාර පියතුමාගේ අවබෝධය තුළ  තීරණ ගත යුතු බව පමණක් එහි සඳහන් වේ.  

දික්කසාද වුවන් ප්‍රේමයෙන් කැඳවාගෙන යන්න

දික්කසාද වුවන් සම්බන්ධයෙන් තියුණු අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ දී පවා සුබ අස්නෙන් ගලා එන සත්‍යයේ සහ ප්‍රේමයේ ප්‍රබල අභියෝග නොතකා නොහැරිය යුතු යැයි එම ප්‍රකාශනයේ සඳහන් වේ. මෙම කාරණයේ දී  එවැනි පුද්ගලයනට ස්වකීය තත්වය ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ සවිඥානික වීමට මීසම් භාර  පියතුමන් උපකාර කල යුතු ය. සභා ඉගැන්වීම සහ රදගුරුතුමා ගේ මඟ පෙන්වීම තුළ එවැනි පුද්ගලයන් තියුණු අවබෝධයේ මාවතක් ඔස්සේ කැඳවාගෙන යාම පියතුමන්ලාගේ වගකීමයි. දික්කසාද වී සිවිල් විවාහයට ඇතුළු වූවන් තමන් ලැබූ ප්‍රසාද ස්නාපන සක්‍රමේන්තුව නිසා කිතුනු ජන පවුලට වඩාත් අන්තර්ග්‍රහණය කර ගතයුතු පුද්ගලයන් වන අතර මෙම ක්‍රියාවලියේ දී  අපකීර්තියට හා ලෝකාපවාදයට ලක්වීමෙන් ද වැළකිය යුතු බව ප්‍රකාශනය අවධාරණය කරයි. "ඔවුන් ධර්ම සේවාමය වශයෙන් කැඳවාගෙන යාම සඳහා රුකුල වන්නේ අන්තර්ග්‍රහණයේ න්‍යායයි" (84 වගන්තිය)

මෙලෙස, දික්කසාද වී යලි විවාහ වුවන්  දැඩි නීති රීති මගින් සභාවෙන් හා දේවස්ථානයෙන් බැහැර කර තබනු වෙනුවට, ඔවුන්ට සභාවේත් දෙවස්ථානයේත් දොරටු විවෘත කල  යුතුය යන්න සිනොඩ් සමුළුවේ අවසන් නිගමනය වී තිබේ. මෙය සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ "දයා කරුණාවේ" ප්‍රවේශය ලැබූ ජයග්‍රහණයක් බව ජාත්‍යන්තර TIME සඟරාව කියයි. ඔවුන්ට දිව්‍ය සත්ප්‍රසාදය දානය කිරීම ගැන ලියවිල්ල කිසිත් සඳහන් නොකරයි. ඇත්තෙන්ම දිව්‍ය සත්ප්‍රසාදය යන වචනය මෙම ලේඛනයේ කොතැනකවත් සඳහන් නොවේ. එහෙත් දැනට විවර වී ඇති මෙම අවකාශය ඔස්සේ පාප් වහන්සේට  අවශ්‍ය වන වෙනස් කම් ,එතුමනට සිය ධුරය නිසා ඇති බලය අනුව, පසු කලෙක සිදු කිරීමට හැකියාව ලැබී ඇති බව ද නිරීක්ෂකයෝ පෙන්වා දති.


'එකට ජීවත් වීම ' විවාහයට මගක් කර ගන්න

විවාහ නොවී 'එකට ජීවත් වන " (Living together or Common law ) යුවල් පිළිබඳව ද සිනොඩ් පියවරු සුබවාදී දෘෂ්ටි කෝණයකින් බලා තිබේ.

මෙලෙස 'එකට ජීවත් වීම' පාපයක් ලෙස හඳුන්වා විනිශ්චය කරනු වෙනුවට එය ඵලදායීව යහපත් පවුල් ජීවිතයක් බවට පරිවර්තනය කිරීම සඳහා පුජාප්‍රසාදී වරුනටත් කිතුනු ජන පවුලටත් කල හැකි කාර්යභාරය රදගුරු කතිකා ප්‍රකාශනයෙන් පෙන්වා දී ඇත. "මීසම් භාර පියවරුන් මෙවැනි යුවල්වල ප්‍රේමය හා කැපවීම දෙස වඩාත් ඵලදායී ලෙස බැලිය යුතුය. දයා කරුණාවෙන් ඔවුන් කැටුව යමින්, සිය ප්‍රේමයේ ජීවිතය ප්‍රසාද නිධානීය විවාහය මගින් කුඨප්‍රාප්ත කිරීමට පියවරුන් ඔවුන් දිරි ගැන්විය යුතු" බව ප්‍රකාශනයේ සඳහන් වේ.

සමලිංගික නැඹුරුව

සිනොඩ් සමුළුවේ පියවරු සමලිංගිකතාවය පිලිබඳ සභා ඉගැන්වීම යළිත් තහවුරු කළහ. ඔවුන් අනුමත කල ප්‍රකාශනය මගින් ද සමලිංගික විවාහ ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් සමලිංගික නැඹුරුවක් ඇති පුද්ගලයන්ට ගෞරව කල යුතු බවත් ඔවුන්ට ආදරය දැක්විය යුතු බවත් මෙම ලේඛනයේ සඳහන් වේ. එවැනි සාමාජිකයන් ඇති පවුල්වලට විශේෂ දහම් සේවා සැපයිය යුතු බවත් ප්‍රකාශනය වැඩිදුරටත් සඳහන් කරයි. 

සවන් දෙන , කැටුව යන සභාවක් ....

මෙම තීරණ වලට සිනොඩ් පියවරුන් එළැඹියේ මල් මාවතක් ඔස්සේ නොවේ. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ නව සිනොඩ් ක්‍රමවේදයක් හඳුන්වා දුන් මෙම කතිකාව තුළ වාද විවාද, හැල හැප්පීම්, තේරුම් නොගැනීම් වැනි කුනාටු සහිත අවස්ථා රැසක් තිබුනේ ය.

පාප් වහන්සේ ගේ ක්‍රමවේදය පිලිබඳ නොසතුට පල කරමින් සංස්ථිතික මතවාදී කාදිනල් හිමිවරුන් 13 දෙනකු ගේ අත්සනින් යුත් ලියුමක් පාප් වහන්සේට භාර  දී ඇති බවට කට කතාවක්  සමුළුව ආරම්භ වී දෙදිනකින් පැතිර යමින් තිබිණ. ඒ පිලිබඳ වාර්තා ද ඇතැම් රෝම  මාධ්‍ය වල පලවිය. පසුව එහි නම් සඳහන් කාදිනල් හිමිවරු කිහිප දෙනෙක් තමන් ඊට සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කළහ. ප්‍රැන්සිස් පාප් වහන්සේට මොළයේ පුර්ව පිළිකා ආබාධයක් හටගෙන ඇති බවට ද කට කතා පැතිරිණ. එහෙත් වතිකාන ප්‍රවෘත්ති කාර්යාංශය එම කටකතාව එක හෙලා ප්‍රතික්ෂේප කලේ ය. ඇතැම් කාදිනල් හිමිවරුන් නිල වතිකාන ප්‍රකාශ වලට පිටතින් මාධ්‍ය වලට අදහස් දැක්වීම නිසා ද තරමක අවුල් සහගත තත්වයක් හටගෙන තිබුනේ ය.

එහෙත් අවසානයේ දී ශුද්ධාත්මයානන් වහන්සේ සිනොඩ් ශාලාව ආලෝකවත් කොට අඳුරින් වැසුණු තැන්වල යථාව සභා  පියවරුන්ට පෙන්වා දුන්නා වැන්න.

එය සම්පිණ්ඩනය කරමින්, පවුල සම්බන්ධයෙන් පවත් වූ 2015 රදගුරු සිනොඩ්  සමුළුවේ ප්‍රතිඵලය ගැන බෙල්ජියමේ අති උතුම් ලූකස් වැන් ලුයී රදගුරු හිමිපාණන් TIME සඟරාවට මෙසේ ප්‍රකාශ කර තිබිණි:

"මෙම සිනොඩ් සමුළුව සභාව නම්, මම කියනවා , මෙය ජනතාව විනිශ්චය කිරීමේ අවසානයයි; මෙය සෑම අවස්ථාවක දී ම මිනිසුන් විනිශ්චය කල සභාවක අවසානයයි. ඉදිරිය කුමක් ද? එය උණුසුමින් පිළිගන්නා සභාවකි; එය (ජනතාව) කැඳවාගෙන යන සභාවකි; එය සවන් දෙන සභාවකි;එසේම, එය පැහැදිලිව කතා කරන සභාවකි"

(CNA/NCR/TIME)





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය