'ගෙදරක් නැති' ප්‍රජාවට සුදොතුම් පියතුමාගෙන් නිවහනක්

Pope's dormitory for Vatican's homeless is inaugurated 


(2015 ඔක්තෝබර 12)
වතිකානයේ 'ගෙදරක් නොමැති' (Homeless) ජනයා වෙනුවෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඉල්ලීම හා දායකත්වය මත ඉදිකරන ලද නිවහන 'අමුත්තන්' සඳහා දැන් විවෘතව තිබේ. පාප් වහන්සේගේ දාන කාර්යාලය ප්‍රකාශ කරන්නේ එය විවෘත කර දැනට දින කිහිපයක් ගත වී ඇති බවයි. මෙම නිවහනේ ගෙදරක් නොමැති පුද්ගලයන් 34 දෙනෙකුට රාත්‍රියට නිදන පහසුකම් තිබේ. රෝමය අධික ලෙස සීතල වන ශිශිර රිතුවේ දී ගෙදරක් නොමැති ජනයාට රාත්‍රියට මෙය සිය 'ගෙදර' වනු ඇත.

කුතුහලයෙන් පිරුණු ජන මාධ්‍ය ඇතුළු සියලු ඇස් වලට හොර රහසේ ඉකුත් දා එහි නිල විවෘත කිරීම සිදුවිය.

මෙම තොරතුරු හෙළිවන්නේ පාප් වහන්සේ ගේ දයා සේවා කාර්යාලය විසින් ඊයේ   (ඔක්තෝබර 12)  නිකුත් කරන ලද නිවේදනයකිනි.

"රෝමයේ සාන්තෝ ස්පිරිතෝ රෝහල අසල පිහිටි 'වියා දෙයි පෙනිටෙන්සියෙරි' හි දී 'ගෙදරක් නැති ප්‍රජාව' සඳහා වූ නිදන ශාලාවක් මීට සතියකට පෙර විවෘත කරන ලදී' යි එම නිවේදනයේ සඳහන් වෙයි. "එය නිල වශයෙන් විවෘත කෙරුනේ ජපමාල මාතා වහන්සේ ගේ මංගල්‍යය සැමැරුණු ඔක්තෝබර 7 වැනි දාය.විවෘත කිරීමේ සරල උත්සවයට දිව්‍ය පූජාව හා නිවැසියන් ආසිරි ගැන්වීම ඇතුලත් විය. පාප් වහන්සේගේ දානමය කටයුතු සංවිධායක අති උතුම් කොන්රඩ් ක්‍රජෙව්ස්කි රදගුරු හිමිපාණන් දිව්‍ය පුජාව ඔප්පු කල අතර නව නිවැසියන්  හා ස්වෙච්ඡා සේවකයෝ ඊට සහභාගී වූහ."

මෙම නිවහන පිහිටා ඇත්තේ වතිකානයෙන් පිටතයි.මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේ පැවැතියේ සංචාරක ඒජන්සියකි.පසුව ප්‍රැන්සිස් පාප් වහන්සේ ද සාමාජිකයකු වන ජේසු නිකාය විසින් මෙම ස්ථානය පාප් වහන්සේට පිරිනමන ලදී. අවශ්‍යතාවෙන් හා දුෂ්කරතා වලින් පෙලෙන ජනතාවට පහසුකම් සැපයීම සඳහා ගොඩනැගිල්ලක් ලබා දෙන්නැයි 2013 ඔක්තෝබරයේ දී පාප්වහන්සේ කල ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස මෙය එතුමන්ට ලබා දුන් බව ජේසු නිකාය කියයි.

"මෙම නිවහන 'දයා තිලිණ ' (Gift of Mercy - Dono di Misericordia) ලෙස නම් කර ඇතැ"යි පාප් වහන්සේගේ දයා සේවා කාර්යාලය නිකුත් කල නිවේදනය කියයි. "තිළිණ යනු මෙය සැබැවින්ම පැවිදි නිකායක තිළිණයක් බැවිනි. 'දයා' යන්න යොදන ලද්දේ එය ආදරය, සෙනෙහස, ප්‍රේමය යන වචන වලට සමාන පදයක් බැවිනි. ප්‍රේමය ත්‍යාගශීලි ක්‍රියා මගින් ප්‍රායෝගිකව  ප්‍රකාශයට පත් වන්නේ දයාව මගිනි" යැයි එම නිවේදනයේ සඳහන් වෙයි.

රෝමයේ වෙනත් දයා සේවා ස්ථාන මෙන්ම මෙම ස්ථානයේ ද සේවා සිදු කරනු ලබන්නේ කල්කටාවේ තෙරේසා මව් තුමිය ගේ දයාවේ සොහොයුරියන් විසිනි. මෙහි සේවා විධිමත්ව හා ක්‍රමානුකුලව පවත්වාගෙන යාම සඳහා විශේෂිත රෙගුලාසි කිහිපයක් ද ක්‍රියාත්මකයි. නිවහනේ ඉඳුම් හිටුම් පතා පැමිණෙන්නන් තෝරා ගැනෙන්නේ වතිකානයේ පිහිටි "මරිය තිලිණ ' නිවහනේ දී සොයුරු තුමියක විසින් කෙරෙන කතා බහකින් හා ලියා පදිංචි කිරීමකින් පසුවයි. නිවහනට පැමිණිය හැකි වේලාවන්, පිටවිය හැකි වේලාවන්, රාත්‍රියේ විදුලි පහන් නිවන වේලාවන් ආදී වශයෙන් විධිමත් බව රැකීම අරමුණු කරගත් නීති රීති ද ඊට ඇතුලත් ය.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇතුළු සියලු කටයතු සඳහා මුදල් ප්‍රදානය කරන ලද්දේ පාප් වහන්සේ ගේ දයා සේවා කාර්යාලය විසිනි. අපෝස්තලික සේවා අරමුදල් හා පෞද්ගලික දානපතීන් විසින් පිරිනමන ලද පරිත්‍යාග වලින් එම මුදල් ලබා ගන්නා ලද බව එම කාර්යාලය ප්‍රකාශ කරයි.

'ගෙදරක් නැති' ප්‍රජාවේ කිහිප දෙනෙක් ම දැනටමත් මෙම නිවහනේ සෙවන ලබති.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය