පවුල පිලිබඳ රදගුරු කතිකාව මතභේද මැද එකඟත්වයකින් තොරව අවසන් වේවිද?

Synod ends where it began, in disagreement 


(2015 ඔක්තෝබර 22)
වුල පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවේ කාලය අවසන් වෙමින් තිබේ. එහෙත් අතිශය වැදගත් කරුණු කිහිපයක් ගැන තීරණයකට එළඹීමට රදගුරු හිමිවරුනට තවමත් නොහැකිවී තිබේ. මේ නිසා, සිනොඩ් සමුළුව පටන් ගත් තැනින් ම, එනම් එහාන්ගත්වයක් නොමැතිවම මෙම සමුළුව අවසන් වන බවට ලකුණු පහල වී තිබේ. පවුලට සම්බන්ධ කරුණු රැසක් ගැන රදගුරු හිමිවරුන් එකඟත්වයකට එළඹ ඇති නමුදු කරුණු දෙකක් ගැන ඔවුහු තවමත් වාද කරමින් සිටිති. එනම් දික්කසාද වී සිය විවාහය නිල වශයෙන් සභාවෙන් අහෝසි කර නොගන්නා අයට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම හා සමලිංගිකයන් ගැන කතා කිරීමේ දී භාවිත කල යුතු භාෂාව යන කරුණු දෙක ගැන ඔවුහු තවමත් වාද විවාද කරමින් සිටිති.

ඉකුත් ඔක්තෝබර 4 වැනිදා ආරම්භ වූ පවුල පිලිබඳ සිනොඩ් සමුළුව ලබන ඉරිදා අවසන් වේ.

සිනොඩ් සමුළුවේ දී අවධානය යොමු වන්නේ දික්කසාද  වුවන් ගේ ප්‍රශ්නය සහ සමලිංගික ප්‍රශ්නය කෙරෙහි පමණක් නොවන බව  පාප් වහන්සේ සේම දගුරු හිමිවරු  ද පවසති. එහි අරමුණ මාධ්‍ය වල අවධානය එම ප්‍රශ්න වලින් ඉවතට ගැනීමයි. එහෙත් සිනොඩ් පියවරුන් මෙතෙක් එකඟත්වයකට එළැඹ නැත්තේ ද එම ප්‍රශ්න සම්බන්ධයෙනි.

එබඳු කතෝලිකයනට පශ්තාත්තාපික පිළිවෙතකින්  පසුව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ  දානය කල හැකි  බව අති උතුම් වෝල්ටර්  කැස්පර් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කණ්ඩායමක් පවසයි. එහෙත් සංස්ථිතික මතවාදීහු  ඊට විරෝධය දක්වති. ඔවුන් පවසන්නේ එවැනි එවැනි ක්‍රියා මාර්ගයක් සභා ඉගැන්වීමට පටහැනි බවයි. සභාවේ මුලික ඉගැන්වීම වෙනස් නොකර මෙම ගැටලුවට ධර්මසේවා විසඳුමක් සොයා ගත හැකි වනු ඇතැයි සිනොඩ් පියවරු රැසක් බලාපොරොත්තුවෙන් සිටියහ. එහෙත් සංස්ථිතික මතවාදී (conservative ) කණ්ඩායම එය භාර ගැනීමට සූදානම් නැත.

ගැටලුව වී ඇත්තේ දික්කසාදවීම හා ඉන් පසුව (වෙනත් කෙනකු සමග) නැවත විවාහ වීම, පාපොච්චාරණයේ දී සමාව දිය හැකි තවත් එක පාපයක් ලෙස පිළිගැනීමට සංස්ථිතික මතවාදීන් කැමති නැති වීමයි. ඔවුන් එය දකින්නේ (නව) යුවල දිගටම ලිංගිකව සම්බන්ධ වන වන බැවින් ඔවුන් නොකඩවා පාපයෙහි යෙදෙන බවයි. මේ නිසා ඔවුන් ලිංගිකව සම්බන්ධ වීම නොනවත්වන බැවින් ඔවුන්ට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත නොහැකිය යන්න ඔවුන් ගේ තර්කයයි. ප්‍රථම විවාහය යළි හරිගැස්සිය නොහැකි ආකාරයෙන් බිඳ වැටී විනාශ වී ඇති බැවින් දෙපාර්ශවයටම සිය ජීවිත ගමනේ නව ආරම්භයක් ඇති කර ගත හැකිය යන්න පිළිගැනීමට මෙම කණ්ඩායම සූදානම් නැත.

ඇතැම් නිරීක්ෂකයන් මෙය දකින්නේ සත්‍යය හා දයා කරුණාව අතර ගැටුමක් ලෙසයි. එනම්, සභාව වඩාත් අවධාරණය කල යුත්තේ ඉගැන්වීම ද ?නැතහොත් ජේසු සමිඳුන් ගේ අපරිමිත දයා කරුණාව ද ? යන ප්‍රශ්නයයි.

ජර්මන් බස කතා කරන කුඩා කණ්ඩායමක් එකඟතාවකට පිවිස ඇතැයි පැතිර ගිය ආරංචිය නිසා මේ ප්‍රශ්න වලට යහපත් විසඳුමක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තුවක් ඇති වී තිබිණි. දේව ධර්මයේ විවිධ පැතිකඩ  පිලිබඳ බුද්ධිමතුන් ගණනාවකගෙන් එම කුඩා කණ්ඩායම සමන්විත විය. වෝල්ටර් කැස්පර් සහ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානි ලුඩ්විග් මුලර් වැනි කාදිනල් හිමිවරු ඒ අතර වුහ. දයා කරුණාව, සත්‍යය හා සාධාරණත්වය යන ධර්මගුන සියල්ල දෙවියන් වහන්සේ තුළ එක්ව පවතින බැවින් ඒවා අතර ගැටුමක් නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත්  එම අපේක්ෂාව  පැවතියේ ටික වෙලාවක් පමණි. මන්ද ඔවුන් ගේ අදහස් ධර්මසේවා මට්ටමෙන් ඉහලට ගොස් තරමක් දුරවබෝධ දාර්ශනික මට්ටමක පැවතීම නිසාය.

එක් සත්‍යතාවක් කෙරෙහි අවධානය යොමු කිරීමටකතිකාවේ  රදගුරු හිමිවරුන් සුදානම් ව නොසිටි බව පෙනෙන්නට තිබේ. එනම්, අවම වශයෙන් බටහිර රටවල ජනතාවවත් මෙම කතිකාවේ සාර්ථකත්වය මනින එක් සාධකයක් වන්නේ, දික්කසාද  වී යලි විවාහ වුවන්ට දිව්‍ය සත්ප්‍රසාද ලබාගැනීමට ඇති හැකියාව ගැන සුබවාදී නිගමනයකට එළඹීමට හැකිවීම බවයි. නිදසුනක් ලෙස ඇමෙරිකාවේ කතෝලිකයන් අතර දික්කසාද ප්‍රතිශතය  සියයට  40කි. සෑම පවුලකම පාහේ මෙම ප්‍රශ්නයට සම්බන්ධ වූ කෙනෙක් සිටිති. මේ නිසා මේ සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීම නව සම්බන්ධතා සහ නව වගකීම් උදා  කිරීමේ පියවරක් ලෙස ඔවුහු දකිති.

සිය ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීමේ මොහොතේ දී එක් පිරිමි ළමයෙක් සිය දිව්‍ය සත්ප්‍රසාද පුපය කඩා ඉන් කොටසක් දිව්‍ය සත්ප්‍රසාද ලැබීමට අවසර නොතිබූ සිය මවටත් පියාටත් බෙදා දුන් බව කතිකාවට එක් වූ එක් රදගුරු හිමි නමක් කියා සිටියේ ය. රදගුරු හිමිවරුන් තේරුම් නොගන්නා කිසියම් දෙයක් මෙම කුඩා දරුවා තේරුම් ගෙන තිබේ ද?

කාදිනල් වෝල්ටර් කැස්පර් හිමිපාණන් ඇතුළු කණ්ඩායමට සිය විසඳුම අනුමත කරවා ගැනීමට තරම් ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් නොමැත. ප්‍රගතිශීලි කණ්ඩායමේ එම යෝජනාව අනුමත වේ නම්, එය වහාම ක්‍රියාත්මක වන තීරණයක් නොවන නමුදු, සභා ඉගැන්වීම වෙනස් නොකොට මෙම ගැටලුවට ධර්මසේවා විසඳුමක් සෙවීම සඳහා කෙරෙන සෛනෝඩීය ආරාධනයක් ලෙස එය සනිටුහන් වනු ඇත.

මේ අතර, සිනොඩ් රදගුරු හිමිවරු මේ ගැටලුවට තවත් විසඳුමක් ගැන සාකච්ඡා කරමින් සිටිති. එනම්, දික්කසාද වී යළි විවාහ වූ අය වෙත, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීමක් නොමැතිව, ධර්මසේවාමය සමීපවීමක් සිදු  කිරීමට ඇති හැකියාවයි. මෙම ක්‍රියා මාර්ගය විස්තර කිරීම සඳහා ඔවුහු "එක්ව යාම" (හෝ කැටුව යාම), "සවන් දීම", "උණුසුම්ව පිළිගැනීම" වැනි වචන ද භාවිත කරති. එහෙත් එය හරියට "අපේ ගෙදරට ඔබව ආදරයෙන් පිලිගන්නවා, ඒත් ඔබට අපිත් එක්ක එකට කෑම කන්න බැහැ"  කියන්නා වගේ යැයි ඇතැමෙක් එම යෝජනාවට සරදම් කරති. තවත් අතකින් බලන විට, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වහන්සේ ලැබීමට නොහැකි තරම් බලවත් පාපයක් කර ඇතැයි ඔබ විශ්වාස කරන අයකු සමග ඔබ "එක්ව යන්නේ" කෙසේද? ඔබට එම පුද්ගලයාගෙන් කුමක් ඇසුනත් ඔබේ සිත වෙනස් නොවන්නේ යැයි ඔබ දැනටමත් තීරණය කර ඇත්නම්,"සවන් දීම" යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

කෙසේ වුවද, එවැනි යුවල් "පාපයේ ගැලී ජීවත් වන" අය සේ හඳුන්වනවාට (ගතානුගතික මතවාදීන් ඔවුන් හඳුන්වන්නේ එසේ ය) වඩා මෙම යෝජනාව යහපත් ය. ප්‍රගතිශීලී කණ්ඩායම සිතන්නේ රදගුරු හිමිවරුන් එවැනි දූත සේවාවක නිරත වන විට, කල් යද්දී ඔවුන් ගේ සිත් වෙනස් වනු ඇති බවයි. එහෙත් එවැනි යුවල් වලට (දික්කසාද වී යලි විවාහ වූවන්ට ) පව් සමාව දානය කල හැක්කේ මරණ මංචකයේ දී පමණක් බව ගතානුගතික මතධාරීහු සිතති.

කෙසේ නමුත් මෙම "ධර්මසේවා සමීපත්වය" ප්‍රාදේශීය සභා විසින් පිළිගැනීමට ලක්වේ ද යන්න ගැටලුකාරී ය.

බොහෝ විට සිදුවිය හැකි සැබෑ දේ මෙයය: ඇතැම් පදවි සහ මීසම් දික්කසාද වී යලි විවාහ වුවන් දිව්‍ය සත්ප්‍රසාදය සඳහා නිල නොවන මට්ටමින්, එහෙත් උණුසුමින් පිලිගන්නා ස්ථාන ලෙස ප්‍රචලිත වනු ඇත."මේ ගැන අහන්න එපා. කාටවත් කියන්නත් එපා.." යන්න ඒවායේ පණිවිඩය වනු ඇත.ධර්මසේවා සිරිත්විරිත් වෙනස් වනු ඇත. දේවධර්ම වේදයත් රදගුරු හිමිවරුත් ක්‍රමයෙන් එම මාවතට අවතීර්ණ වනු ඇත.

ඒ අතර තවත් දෙයක් වනු ඇත. එනම් අනෙකුත් රදගුරු වසම් සහ මීසම් එවැනි කතෝලිකයන් (දික්කසාද වී යලි විවාහ වූ අය ) තම දේවස්ථානවලට පැමිණීම තහනම් කිරීමයි.මේ අනුව තමන් පිළිගන්නා කතෝලික මීසමක් සොයා ගත නොහැකි දික්කසාද වූ කතෝලිකයන් තමන්ට උනුසුම් පිළිගැනීමක් ලැබෙන ප්‍රොතෙස්තන්ත මීසමක් සොයා ගනු ඇත.

සමලිංගිකත්වය.

සමලිංගික නැඹුරුවක් ඇති ඇය සම්බන්ධයෙන් වූ ප්‍රවේශයෙහි වෙනසක් කිරීම කෙරෙහි ද බටහිර ලෝකයේ සහය පල වී තිබේ.

එහෙත් මෙම සත්‍යය අප පැහැදිලිව පැවසිය යුතු ය.එනම්,  සමලිංගික විවාහ ආශීර්වාද කිරීම ගැන කිසිදු රදගුරු හිමි නමක් කතා නොකරන බවයි.එසේම මෙබඳු සම්බන්ධතාවල සුබවාදී පැත්තක් ඇතැයි කිසිදු රදගුරු තුමකු පවසන්නේ ද නැත.

එහෙත් සමලිංගිකත්වය ගැන කතා කරද්දී සභාව භාවිත කරන භාෂාවෙහි  වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාව ඇතැම් රදගුරු හිමිවරු පෙන්වා දෙති. විශේෂයෙන් "නෛසර්ගික ආබාධයක්" සහ "පාපයට වෛර කර, පව් කාරයාට ප්‍රේම කරන්න" වැනි වචන මෙවැනි නැඹුරුවක් ඇති අය තුළ අවමානයක් ඇති කරන බව ඔවුහු පෙන්වා දෙති.

අනෙක් අතින් තවත් රදගුරු හිමිවරු පිරිසක් සමලින්ගිකතාවට දැඩි සේ විරෝධය ප්‍රකාශ කරති. ඔවුන් තවමත් විශ්වාස කරන්නේ එය තම කැමැත්තෙන් තෝරා ගන්නා ජීවිත ශෛලියක් බවයි. මේ පිරිසේ මතය දරන, සිනොඩ් සමුළුවේ ගිහි  පරීක්ෂකවරියක වන රුමේනියාවේ වෛද්‍ය අනා මරියා සර්නියා කියා සිටියේ සමලිංගිකත්වය සුව කල හැක්කක් බවයි.

ස්වකීය ඉගැන්වීම් ලගන්නා හෝ ඒත්තු නොයන ආකාරයේ ඒවා බව බොහෝ රදගුරු හිමිවරු පිළිගනිති. එහෙත් තමන් උඩුගං  බලායන දිවැසිවරුන් ලෙස දකින තවත් පිරිසක් සිතන්නේ ඒවා තමන්ට අදාළ නොවන බවයි."අපි හරි. ලෝකෙම වැරැදි" යන්න ඔවුන් ගේ මතයයි.

වඩා ඵලදායි ධර්මසේවා භාවිතයක් කෙරෙහි සැලකිල්ලෙන් පසුවන රදගුරු හිමිවරුන් පවසන්නේ සභා ඉගැන්වීම් වඩාත් පිළිගැනීමට ලක් කරනු සඳහා භාෂාව වෙනස් වූ නැවුම් පිටකවරයක දවටා සමලිංගිකත්වය ගැන කතා කල යුතු බවයි. එහෙත් නව භාෂාවක් යනු පැරැණි ප්‍රශ්නවලට අලුත් එළඹුමක් සොයන නව දෙවධර්මවේදයක් ද වනු ඇත.

ඇතැම් රදගුරු හිමිවරු තමන් දෙව්සත්හල්වල උගත් පැරැණි දේව ධර්මයේ කොටු වී සිටිති.නව අදහස් වලට විවෘත වීමට ඔවුහු බියක් දක්වති. මේ නිසා මෙම සිනොඩ් සමුළුවේ දී මෙම ගැටලුව පිලිබඳ නව ප්‍රවේශයකට එළඹීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය.

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කෙසේ හෝ ප්‍රාතිහාර්යත්මකව සිනොඩ් සමුළුව නැවුම් විසඳුමක් වෙත  ඇද ගැනීමට සමත් වනු ඇතැයි ප්‍රගතිශිලීහු සිතති. මම නම් එසේ නොසිතමි. ප්‍රැන්සිස් පාප් වහන්සේ ගැටුමකට කොටු කරනු ලැබ සිටියි.උන්වහන්සේ තුළ පවත්නා දහම් සේවා ඉව, උන්වහන්සේව දහම් සේවා ප්‍රමුඛත්වයේ දිශාවට ගෙන යනු ලබමින් සිටියි. එහෙත් රදගුරු සමුහයේ සාමුහිකත්වය හා සමගිය ගැන එතුමන් කල්පනා කරන නිසා රදගුරු හිමිවරුන් ගෙන් බොහෝ ඈත්ව තීරණ ගැනීම එතුමා කැමැත්තක් නොදක්වයි.

රදගුරු හිමිවරුන් හෝ කාදිනල් හිමිවරුන් පාප් වහන්සේ නමකට අගරු කරනු මගේ ජීවිතයේ කිසි දාකත්  මා අසා නැත. උන්වහන්සේ සිනොඩ්  සමුළුව සංවිධාන කර ඇති ආකාරය අභියෝග කරමින්ද, කිහිප දෙනකු උන්වහන්සේ ප්‍රොතෙස්තන්ත වාදියකු ලෙස හඳුන්වමින් ද, උන්වහන්සේ තමන් ගේ කැමැත්තට විරුද්ධව ගියහොත් සභාව කැබලි වනු ඇති බවට අභියෝග කරමින් ද එතුමන්ට මෙම අගරු කිරීම් සිදුවිය.

පාප් වහන්සේට මහජනතාවගේ සහයෝගයත් ආදරයත් තිබේ. එහෙත් මේ සිනොඩ් සමුළුවේ දී පවුල පිලිබඳ සභාවේ ඉගැන්වීම් තුළ, කාලයේ සලකුණු තේරුම් ගනිමින්, නැවුම් ප්‍රවේශ කරා එළඹීමට උන්වහන්සේ ගන්නා උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වේවි ද?

(මෙම ලිපිය ජේසු නිකායික ගරු තෝමස් රීස් පියතුමා National Catholic Reporter පුවත් පතට ලියු ලිපියක පරිවර්තනයකි. ගත්  කතුවරයකු හා ප්‍රවෘත්ති කලාවේදියකු වන රීස් පියතුමා America නමැති ප්‍රකට ජේසු නිකායික සඟරාවේ හිටපු කතුවරයාද වේ. දේශපාලන විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් ද දරන එතුමා  National Catholic Reporter පුවත් පතේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයකු ලෙස කටයුතු කරයි.)




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය