ආගම ත්‍රස්ත විරෝධී බලව්ගයක් මිස ත්‍රස්තවාදයේ උල්පතක් නොවේ - වතිකානය එක්සත් ජාතීන්ට කියයි.

Genuine religious faith is a powerful force against terrorist savagery - Holy See tells UN 


(2015 ඔක්තෝබර 21)
අව්‍යාජ ආගමික විශ්වාසය ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයට එරෙහි බලවේගයක් බව ශුද්ධාසනය (වතිකාන රාජ්‍යය) එක්සත් ජාතීන් ගේ සංවිධානයේ දී ප්‍රකාශ කරයි.

"ඇත්ත වශයෙන් ම අව්‍යාජ ආගමික විශ්වාසය එක්සත් බවේ හා සමගියේ උල්පතක් වන අතර මුලධර්මවාදී ත්‍රස්තවාදයට එරෙහි ශක්තියක් ද වේ. ප්‍රචණ්ඩකාරී නොවන මාර්ග වලින් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කොට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ආගමික විශ්වාසය තනි තනිව එක් එක් පුද්ගලයාවත් සමාජයත් දිරි ගන්වයි."

එක්සත් ජාතීන් ගේ වතිකාන නිත්‍ය නිරීක්ෂක (තානාපති) අති උතුම් බර්නාඩිටෝ ඖසා අගරදගුරු හිමිපාණන් මේ බව කියා සිටියේ ජගත් සංවිධානයේ ප්‍රති ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග සොයාබැලීමේ කමිටුව අමතමිනි. ඉකුත් ඔක්තෝබර 14 වන දා එතුමා සිය ප්‍රකාශය ඉදිරිපත් කලේ ය. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සඳහා කිසිදු විටෙක ආගම හේතුවක් කර නොගන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව සියලුම ආගමික ජනතාවගෙන් හා නායකයන්ගෙන් කිහිප වතාවක් ම ඉල්ලා ඇති බව ද එතුම සිහිපත් කලේය.

"පසුගිය වසර තුළ ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ආකාරයෙන් අතිශය ම්ලේච්ඡ ක්‍රියා දක්වා ත්‍රස්තවාදය විකාශනය වී තිබේ. හිස ගසා දැමීම, කුරුසියේ ඇණගැසී හා පෞරාණික වටිනාකමින් යුත් ආගමික ස්ථාන විනාශ කිරීම ආදිය ඒ අතර විය. අප සියල්ලන් භීතියට පත් කරමින් ඒවා සජීවීව විකාශය කිරීමට ද මෙම ක්‍රියා වල යෙදෙන්නන් කටයතු කර ඇත. ඇතැම් විට සමස්ත ආගමික හෝ වාර්ගික ප්‍රජාවකට එරෙහිව හෝ සමස්ත රටකට එරෙහිව මෙබඳු කුරිරු ක්‍රියා සිදු කර තිබේ" යයි ඖසා අගරදගුරු හිමි කියා සිටියේ ය.


සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සැප්තැම්බර් 25 වන දා ජගත් සංවිධානය අමතා කල කතාවේ දී මැද පෙරදිග, උතුරු අප්‍රිකාව හා තවත් අප්‍රිකානු රටවල් කිහිපයක පවතින "වේදනාකාරී තත්වය" ගැන අවධානය යොමු කල බව වතිකාන තානාපතිවරයා සිහිපත් කලේ ය."මෙම ප්‍රදේශවල පවතින සිය ආගමික ස්ථාන, සිය ආගමික හා සංස්කෘතික උරුමයන් හා සිය නිවාස හා දේපල විනාශ කරන ආකාරය අසරණව බලා සිටින්නට එම රටවල කිතුනුවන් හා වෙනත් ආගමික හා වාර්ගික ජනකොටස් වලට සිදු වී ඇතැයි" පාප් වහන්සේ එදා පෙන්වා දුන් බව ඖසා අගරදගුරු හිමි කීවේ ය. මෙම ජනතාව ගේ දේපොළ පහර ගැනීම්, ඔවුන් ප්‍රදේශයෙන් පලවා හැරීම් හෝ ඔවුන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදී අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් තිබේ. "මෙම සිද්ධි දාමය අපට මතක් කර දෙන්නේ ලෝකයේ කටයුතු පිළිබඳව තීරණ ගන්නා නායකයන් සිය හර්ද සාක්ෂි පරීක්ෂා කිරීමට කාලය පැමිණ ඇති බවයි" යයි ද සුදොතුම් පියතුමා එදා සඳහන් කළේය.

එබැවින් ත්‍රස්තවාදයට සහාය දැක්වීම වැලක්වීමට ජගත් සංවිධානය ගන්නා ක්‍රියා මාර්ග වලට වතිකානය සහය දක්වන බව එක්සත් ජාතීන් ගේ වතිකාන නිත්‍ය නිරීක්ෂක ඖසා අගරදගුරු හිමි කියා සිටියේ ය.

"ත්‍රස්තවාදයේ බීජ වැඩෙන වගුරු බිම් අප වියලා දැමිය යුතු ය. එහෙත් අප එය කල යුත්තේ අධ්‍යාපනය හා අන්‍යොන්‍ය ගරුත්වය වැඩිදියුණු කිරීම මගිනි; සෑම මට්මකම සංවාදය ප්‍රවර්ධනය  කිරීමට ගන්නා අප්‍රතිහත උත්සාහයෙනි; නීතියේ ආධිපත්‍යය හා යහපාලනය තහවුරු කිරීම මගිනි; මුලධර්මවාදී හෝ අන්තවාදී ඉගැන්වීම්වලට ගොදුරුවිය හැකි ජනකොටස්, සමාජ අන්තර්ග්‍රහණය හා රැකියා අවස්ථා උදාකිරීම වැනි ක්‍රියා මාර්ග මගින්, සමාජයේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කර ගැනීම මගිනි. මෙහිදී  අන්තවාදයට ගොදුරුවීමේ වැඩි අවස්ථා පවතින තරුණ කොටස් කෙරෙහි අවධානය යොමු කල යුතු" යැයි අගරදගුරු හිමි අවධාරණය කලේ ය.

ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ජගත් සංවිධානය ඉටුකරන භූමිකාව වතිකාන තානාපතිතුමා ගේ පැසසුමට ලක්විය. කෙසේ නමුදු එතුමා අවධාරනය කලේ යුද්ධය ත්‍රස්තවාදයට විසඳුම නොවන බවයි.

"ජාත්‍යන්තර සහ සියලු ආකාර ත්‍රස්තවාදයට එරෙහි සටන හුදෙක් නවීන ආයුධ භාවිතයෙන් පමණක් ජයගත නොහැකිය යන්න ශුද්ධාසනය (වතිකාන රාජ්‍යයේ) අවබෝධ කරගෙන තිබේ. රාජ්‍යතාන්ත්‍රික භාවය, සාම සාධනය, නීතියේ ආධිපත්‍යය, එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්ති හා ජාත්‍යන්තර නීති පිළිපැදීම, මූලික මානව අයිතිවාසිකම් වලට ගරු කිරීම වැනි ක්‍රියාකාරකම් දැඩි ලෙස අනුගමනය කිරීම ද ඒ සඳහා අවශ්‍යය."

එසේම, ඒකපාර්ශවික පියවර හිතු මතයේ ගැනීමත්, තෝරා බේරාගෙන  මානව හිමිකම් සම්න්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සේම ආගම් සහ සංස්කෘතීන් නොසලකා කටයුතු කිරීමත් මගින් සිත් හෝ හදවත් දිනා ගත නොහැකි බව වතිකාන නිත්‍ය නිරීක්ෂක අගරදගුරු  තුමා පෙන්වා දුන්නේ ය. "මේවා මගින් ප්‍රදර්ශනය වන්නේ සිය උසස් බව පෙන්වීමට ගන්නා මුරණ්ඩු උත්සාහයන්  සහ හෝතා මතාම කෙරෙන ප්‍රකෝප කිරීම් ලෙසයි.  මෙවැනි ක්‍රියා මගින් තමන් අයිතු තාඩන පීඩන වලට ලක් වී ඇති බවට විශේෂයෙන් ටහ්රුන කොටස් වලට හැඟී යා හැකිය."

යුද්ධයට සාමකාමී අභියෝගයක් ලෙස ඇමෙරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයකු වූ ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් මහතා පෙන්වා දුන් "සිව් මහා නිදහස" අනුගමනය කරන්නැයි  අගරදගුරු බර්නඩිටෝ ඖසා අගරදගුරු හිමි එක්සත් ජාතීන් ගෙන් ඉල්ලා සිටියේ ය.

"එම සිව් මහ නිදහස නම්, කතා කිරීමේ සහ ආගමික නිදහස, අගහිඟයකින් තොරව සිටීමේ නිදහස සහ බියෙන් තොරව සිටීමේ නිදහසයි.  ත්‍රස්තවාදීන් පිළිකුල් කරන්නේ මෙම මූලික නිදහසයි. අප වැටෙන්නට නොදී ආරක්ෂා කර ගත යුත්තේ ද එම මූලික නිදහසයි" එතුමා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය