සාන්ත තෙරේසා තුමියගේ මාපියන් ශුද්ධවරයට එසවූ සුවපත්වීමේ ප්‍රාතිහාර්යය

The Miracle behind the Canonization of the Parents of The Little Flower of Jesus  

සාන්ත පීතර බැසිලිකාව මත ප්‍රදර්ශනය කර තිබූ ශු.මාටෑන් යුවලගේ රුව සහිත ධජයක් 

(2015 ඔක්තෝබර 19)
ස්පාඥ්ඥ ජාතික සත් හැවිරිදි කාමන් දියණිය සතුව සොඳුරු විශ්මය ජනක කතාවක් තිබේ.

"සග හොබවන මල් ගොමුවේ ජේසු නෙලූ කුඩා මල" ලෙස හැඳින්වෙන  ලිසුවෙක්ස් හි සාන්ත තෙරේසා තුමිය ගේ දෙමාපියන්-එනම් භාග්‍යවන්ත ලුවී සහ සෙලී මාටෑන් යුවල - සාන්තුවරයට එසවීමට ඉවහල් වූ ප්‍රාතිහාර්යය මේ දියණියට සම්බන්ධ වී තිබේ.

ලක්ෂ සංඛ්‍යාත  වන්දනාකරුවන් පිරිසක ගේ සහභාගීත්වයෙන් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ ඊයේ (ඔක්තෝබර 18 ඉරිදා) පැවැති දිව්‍ය පූජාවේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් භාග්‍යවන්ත ලුවී සහ සෙලී මාටෑන් දෙමාපිය යුවල සාන්තුවරයට ඔසවන ලදී. මේ අනුව කතෝලික සභාව විවාහක යුවලක් එකට සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කල ප්‍රථම වතාව ලෙස මෙය ඉතිහාසයට එක් වනු ඇත. එහෙත් වඩා වැදගත් වන්නේ මේ යුවල සාන්තුවරයට එසවීමට පාදක වූ වෛද්‍ය විද්‍යාවෙන් විස්තර කල නොහැකි වූ ප්‍රාතිහාර්යයේ කතාවයි.

එම කතාව ඇගේ දෙමාපියන් වතිකානයේ දී CNA ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබිණි.

2008 ඔක්තෝබර මාසයේ දී ළදරු කාමන් උපන්නේ අඩු මාසයෙන්, ගැබ් ගෙන මාස හයකටත් අඩු කාලයකිනි. ගර්භනී සමය තුළ ඇයගේ මව වන කාමන් සංකූලතා රැසකට  මුහුණ දුන්නා ය. කාමන් ළදැරිය උපත ලබන විට ඇයගේ ඉන්ද්‍රියයන් නිසි ලෙස වර්ධනය වී තිබුනේ නැත. උපත ලැබූ වහාම ඇයට සංකූලතා රැසක් ඇති විය. මොළයේ රක්තපාතය හා බැක්ටීරියා ආසාදන ඒ අතර ප්‍රමුඛ විය.

"දරුවා ගේ තත්වය දිනෙන් දින තව තවත් අයහපත් අතට හැරෙන්නට පටන් ගත්තා.... ඒ එක්කම අපේ හිතේ ගින්දරත් වැඩි වුනා..." කාමන් ගේ මව කීවා ය.

 "මෙවැනි තත්වයක් සමග පොරබදන දෙමාපියන් බොහෝ අසරණ වෙනවා. ඔවුන් තුළ අපේක්ෂා භංගත්වයේ, වේදනාවේ හැඟීම් ඇති වෙනවා. තමන් වරදක් කර ඇතැයි යන හැඟීම ඔවුනට වද දෙනවා. ඒ හැරුණු කොට, ඒ වන විට වයස අවුරුදු පහක් වූ අපේ වැඩිමල් පුතාට මෙහි බලපෑම නොදැනෙන්නට පරෙස්සම් වීමේ අවශ්‍යතාවත් අපට තිබුනා.." යි තමන් මුහුණ දුන් තත්වය විස්තර කරමින් දැරියගේ පියා වන සන්තෝස්  කීවේය.

දරුණුම තත්වයට මුහුණ දීමට සුදානම් වන්නැයි ටික දිනකින් පසු වෛද්‍යවරු කාමන් ගේ දෙමාපියන්ට දැනුම් දුන්හ.

"ඇගේ රෝගී තත්වය දරුණු වෙමින් තිබුනා. බිලිඳු දියණිය ස්පර්ශ නොකරන්නැයි වෛද්‍යවරුන් අපට උපදෙස් දුන්නා. එහි අරමුණ ඇයට තවත් විෂ බීජ යාම වැලැක්වීමයි." සාන්තොස් කීවේය. එය දෙමාපියන් තව දුරටත් දුර්මුඛ කරන්නක් විය.

වෛද්‍යවරුන් ගේ මෙම උපදේශයෙන් පසු තවත් දින කිහිපයක් ගෙවී ගියේය. කාමන් පුංචි ළදැරිය ගේ සංකූලතා තවත් සංකීර්ණ වුවා පමණි. සිය හිස නමා උරහිස සෙලවූ වෛද්‍යවරු බිලිඳිය ගේ දෙමාපියන් වෙත ආහ.

"වෛද්‍යවරුන් නිගමනය කළා ඔවුන්ට කාමන් වෙනුවෙන් තවත් කරන්නට දෙය ඉතිරි වී නැති බව. ඉතින් ඔවුන් අපට අවසර දුන්නා ඇයව ස්පර්ශ කරන්නට..." අගේ පියා සන්තොස් කීවේ ය.

එහෙත් ඔහු තවත් දෙයක් එකතු කළේය.

"හැබැයි මේ මුළු කාලය පුරාම අපි අපේ විශ්වාසය නැති කරගත්තේ නැහැ. අපි නිතරම ඉදිරියට ගියේ අපේ විශ්වාසයත් සමගයි" ඔහු කීවේය. "අපට, විශ්වාසය, අපේ පවුලේ පදනමයි. විශ්වාසය නොමැතිව බලාපොරොත්තුවක් නොමැති බවයි අප අසා තිබෙන්නේ...."

පුංචි කාමන් උපත ලැබුවේ ජේසු ගේ කුඩා මල වන  තෙරේසා මුනිවරිය ගේ මංගල්‍ය දිනයේ ය. මේ නිසා ඇගේ දෙමාපියෝ තෙරේසා තුමියට දිගින් දිගටම යාච්ඥා කළහ. පුංචි කාමන් තවමත් ජීවත් වන්නේ සිය යාච්ඥා නිසා බව ඔවුනට අවබෝධ විය. මේ නිසා ඔවුහු තෙරේසා තුමියට කැපවූ දෙව්මැදුරක් හෝ ආරාමයක් ද සොයන්නට පටන් ගත්හ. සන්තෝස් අන්තර් ජාලයෙන්  කල සෙවීමක දී ස්පාඥ්ඥයේ සිය ගමට ඈතින් පිහිටි තාපසාරාමයක් සොයා ගත්තේය. එය වැලන්සියා පළාතේ සෙරා නගරයේ පිහිටුවා තිබූ සාන්ත ජෝසප් සහ සාන්ත තෙරේසා කාමලයිට් තාපසාරාමයි.

පසුදා ම සන්තෝස් එම තාපසාරාමය බලා පිටත් විය. එහෙත් ඔහු එහි ලඟා වන විට රෑ බෝවී තිබූ අතර ආරාමය වසා තිබිණි. එහෙත් අධෛර්ය නොවූ ඔහු එහි තිබූ ඉන්ටකොම් උපකරණය මගින් පැවිදි සොයුරියන්ට කතා කර පුංචි කාමන් ගේ තත්වය පැහැදිලි කළේය. ඇය වෙනුවෙන් යාච්ඥා කරන්නට පොරොන්දු වූ පැවිදි සොයුරියෝ ඊළඟ ඉරිදා ආරාමයේ දිව්‍ය පූජාවට පැමිණෙන්නැයි ඔහුට ආරාධනා කලේය.

ඉරුදින හතරක් හෝ පහක් කන්‍යාරාමයේ දිව්‍ය පුජාවට යන විට කාමන් ගේ දෙමාපියෝ තෙරේසා (කුඩා මල ) තුමිය ගැනත් ඇයගේ යහපත් පවුල ගැනත් ඉගෙන ගත්හ. එතුමිය ගේ දෙමාපියන් වන ලුවී සහ සෙලී මාටෑන් ගැන ද ඔවුහු දැනගත්හ. මෙම යුවල භාග්‍යවරයට ඔසවා තිබුනේ පුංචි කාමන් ගේ උපතට දින හතරකට පෙරයි. ඔවුන් යාච්ඥාවෙන්, උපවාසයෙන් සහ දයාවේ ක්‍රියාවන්ගෙන් යුත් ශුද්ධවන්ත ජීවිතයක් ගත කල බව ඔවුනට දැනගන්නට හැකි විය.

මාටෑන් යුවල භාග්‍යවරයට ඔසවන ලද්දේ 2008 දී ය.

දිනක් ආරාමයේ ප්‍රධාන මව් තුමිය කාමන් ගේ දෙමාපියන් වෙත ආවේ භාග්‍යවන්ත මාටෑන් යුවල ගේ පින්තුර කිහිපයක්, ඔවුන් ගේ ජීවිත කතා පොතක් සහ ඔවුන්ගේ මැදිහත්කම ඉල්ලන යාච්ඥාවක්  ද සමගය.

"මේ යුවල තවත් පුංචි දරුවෙකුට ප්‍රාතිහාර්යයාත්මකව සුවය ලබා දී තිබෙනවා. ඔවුන් ඔබේ පුංචි දුව වෙනුවෙනුත් මැදිහත් වේවි. ඒ දෙදෙනාට යාච්ඥා කරන්න...." කියමින් ප්‍රධාන මව් තුමිය ඒවා කාමන් ගේ මාපියන්ට දුන්නා ය.

කාමන් ගේ මව සහ පියා එදා රාත්‍රියේ සිටම මෙම භාග්‍යවර යුවලගේ මැදිහත්කම ඉල්ලා යාච්ඥා කරන්නට පටන් ගත්හ. කන්‍යාරාම කිහිපයකම සොයුරියෝ ද එදින සිට ඔවුන් ගේ යැදුම් වලට එකතු වුහ.

"හරිම පුදුමයි. ඊළඟ දවසේ ඉඳලම තත්වය වෙනස් වෙන්න පටන් ගත්තා...."පුංචි කාමන් ගේ පියා සන්තෝස් කියයි.

එම සඳුදා පුංචි කාමන් සුව අතට හැරෙන්නට පටන් ගත්තාය. ඊට පසුදා ඇය වෙනත් රෝහලකට මාරු කරනු ලැබුවාය. එහිදී ඇයගේ සෞඛ්‍ය තත්වයේ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබිණි. ඇය සාමාන්‍ය ලෙස ආශ්වාස ප්‍රශ්වාස කිරීමට පටන් ගත්තා ය. වෛද්‍යවරුන් මවිත කරමින් බැක්ටීරියා ආසාදන තත්වයද කැපීපෙනෙන ලෙස අඩු විය.  තුන්වැනි දිනයේ ඇය දැඩි සත්කාර ඒකකයෙන් නිදහස් කර සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරිණි. එහෙත් මොළයේ ලේ ගැලීමේ අතුරු ආබාධ ඇය තුල ඇතිවනු ඇත්දැයි ටික කලක් යන තෙක් වෛද්‍යවරු පරීක්ෂාවෙන් පසු වුහ.

අවසානයේ දී පුර්ණ සුවය ලද බවට සහතිකය ලද පුංචි කාමන් 2009 ජනවාරි දෙවන දා රෝහලෙන් නික්ම යන්නට අවසර ලැබුවා ය. එදින ජේසු ගේ කුඩා මල වන ලිසුවෙක්ස් හි සාන්ත තෙරේසා තුමිය ගේ උපන් දිනය යි.

කතාව එතැනින් අවසන් නොවේ.

ඊට දින 15 කට පසුව භාග්‍යවන්ත ලුවී සහ ලීසා මාටෑන් යුවල ගේ ශුද්ධවූ ධාතු ස්පාඥ්ඥයේ ලේරිදා නුවරට වැඩම කරන ලදී. කාමලයිට් කන්‍යා සොයුරියන් ගේ දැනුම් දීමෙන් කාමන්ගේ පවුල ද එහි ගියහ. එහි දී ඔවුහු කාමන් ලද ප්‍රාතිහාර්යජනක සුවය ගැන මාටෑන් යුවල ගේ සාන්තුවර කාර්ය භාර පියතුමාට විස්තර කළහ. එතුමා එම සාක්ෂ්‍යය සටහන් කරගෙන රෝමයට ගියේ ය.

කෙසේ නමුදු වතිකානයේ සාන්තුවරයන් පිලිබඳ කමිටුව මෙම සුවපත් වීම, දේව වරප්‍රසාදයෙන් සිදු වූ ප්‍රාතිහාර්යයක්ම දැයි පරීක්ෂාකර නිගමනයක් ගැනීමට දීර්ඝ කාලයක් ගත්තේ ය. එය ප්‍රාතිහාර්යයක් ලෙස පිළිගනු ලැබුයේ 2015 ජනවාරි 15 වනදායි.

භාග්‍යවන්ත මාටෑන් යුවල සාන්තුවරයට ඔසවන ලද්දේ ඒ අනුවයි.

ජේසු ගේ කුඩා මල වන තෙරේසා තුමියට විශේෂ බැතියක් ඇති කිතුවනට සතුටු වීමට දැන් තවත් කාරනාවක් තිබේ.

(CNA )

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය