"අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයක් පමණි" සුදොතුම් පියතුමා සිනොඩ් පියවරුන්ට අවධාරණය කරයි

"The only Authority is the authority of service" : Pope tells Synod bishops 


(2015 ඔක්තෝබර 18)
"ගමන් මග දිගේ සේවය මගින් සිය සොයුරු සොයුරියන්ට උපකාර කිරීමට තරම් තමන් 'පහත්' කරගන්නා අය සභාවට අවශ්‍යව තිබේ. .....එකම බලය කුරුසියේ බලයයි. එකම අධිකාරීත්වය සේවාවේ අධිකාරීත්වයයි......කතෝලික සභාවේ ධූරානුක්‍රම සේවාවට ආලෝකය ලබා දෙන්නේ ක්‍රිස්තු සමිඳුන් වදාළ අනුශාසනයයි. එනම් 'ඔබ අතරේ ශ්‍රෙෂ්ඨයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ සේවකයා වේවා. සියල්ලන් අතර ප්‍රථමයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ වහලා වේවා.' යන්නයි. උන්වහන්සේ ගේ මෙම ප්‍රකාශය තුළ කතෝලික සභා අබිරහසේ හදවතට  අපි පිවිසෙමු."

සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ ගැඹුරු ප්‍රබල වදන් ප්‍රකාශ කලේ වතිකානයේ දී ඊයේ (ඔක්තෝබර් 17) පැවැති වැදගත් සභා සංවත්සර උත්සවයකට සහභාගී  වෙමිනි. එනම්  රදගුරු සිනොඩ් කතිකාව ආරම්භකර වසර 50ක් සපිරීමේ සංවත්සරයයි.

1965 සැප්තැම්බර් 15 වැනිදා රදගුරු සිනොඩ් සමුළුවට මුල පුරන ලද්දේ ශු. සවැනි පාවුළු පාප්තුමන් විසිනි. දෙවැනි වතිකාන කතිකාවේ දී එළඹුණු තීරණයකට අනුව එම කතිකාව අවසානයේ සිනොඩ් සමුළුව පිහිටුවන ලදී. ඉන් පසුව ගතවූ  කාලය තුල මේ දක්වා සාමාන්‍ය සිනොඩ් කතිකාවන් 14ක් සහ අතිවිශේෂ සිනොඩ් කතිකාවන් 3ක් පවත්වා තිබේ.

ඉකුත් වසරේ පවත්වන ලද්දේ පවුල පිලිබඳ අතිවිශේෂ සිනොඩ් සමුළුවයි. මේ වසරේ සාමාන්‍ය සමුළුව පැවැත්වේ.

මෙම උත්සව සභාව අමතමින් පාප් වහන්සේ කල දේශනයට කෙන්ද්‍ර වුයේ  සිනොඩ් සමුළු සම්ප්‍රදාය තුළ කැටි වූ සභාවේ ගැඹුරු ආධ්‍යාත්මිකත්වයයි. ශු. පේදුරු අපෝස්තුළු තුමන් සමග හා එතුමන් යටතේ සභාවේ එක්සත්කම, ගිහි, පුජක හා රදගුරු සහ රෝමයේ රදගුරු තුමා (පාප් වහන්සේ) එකිනෙකාටත් ශුද්ධාත්මයානන් වහන්සේටත් සවන් දීම, එක්ව ගමන් කිරීම, සේවක නායකත්වය ඊට ඇතුලත් වූ කරුණු අතර විය. මේ අනුව, 50 වැනි සිනොඩ් සංවත්සර උත්සවය ද මෙවර පවුල පිලිබඳ සිනොඩ් සමුළුව අතරතුරට යෙදීම මහත් ආශීර්වාදයක් බඳුව පෙනෙන්නට තිබිණි. ආකුල, ව්‍යාකුල, සංකුලතා හා වාද විවාද රැසක් තුළ අතරමං වූවාක් බඳුව සිටි  සිනොඩ් පියවරුන්ට සිනොඩ් ජීවගුණය ගැන නැවුම් පණිවිඩයක් ගෙන එන්නට සභාව මෙහෙයවන ශුද්ධාත්මයානන් වහන්සේට එමගින් හැකිවූවා වැන්න.

එක්ව ගමන් කිරීම
සවැනි පාවූලු ශාලාවේ පැවැති සංවත්සර උත්සවය ඇමැතූ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ "සිනොඩ්' යන්නේ අර්ථය "එක්ව ගමන් කිරීම' නොහොත් "එක්ව පා තැබීම" යන්න බවයි.

"දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලා සිටින සියල්ල 'සිනොඩ්' යන වචනයේ ගැබ්ව තිබෙනවා. එහි අර්ථය  'එක්ව පා තැබීම' යි. - ගිහි විශ්වාසිකයන්, පූජක-රදගුරු හිමිවරුන්, රෝමයේ රදගුරු තුමන් - සියලු දෙනා එක්ව ගමන් කිරීමයි. එය වචනයට නඟන්නට පහසු සංකල්පයක්. එහෙත් එය ක්‍රියාවට නැංවීම එතරම් පහසු නොවේ" යි පාප් වහන්සේ පෙන්වා දුන්හ.

එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ආකාරය මෙවර පවුල පිලිබඳ සිනොඩ් කතිකාව නිදසුන්ය ගනිමින් එතුමා විග්‍රහ කලේ ය.

"පවුල්වලින් නොවිමසා අපට පවුල ගැන කතා කල හැක්කේ කෙසේ ද? ඔවුන් ගේ ප්‍රීතිය හා අපේක්ෂාවලටත්, දුක් වේදනා සහ ප්‍රශ්නවලටත් සවන් නොදී අපට ඔවුන් ගැන කතා කළහැකිද? එක් එක් රටවල සභාවලට අප යැවූ ප්‍රශ්න මාලාවලට අප ලැබූ ප්‍රතිචාර වලට ස්තුති වන්නට, පවුල් වල අත්දැකීම් සමහරකට හෝ සවන් දීමට අපට හැකි වුනා.ඔවුන් සමීපව මුහුණ දෙන ගැටළු සේම ඔවුනට  බොහෝ දේ කතා කිරීමට ඇති ගැටළු ද එම ප්‍රතිචාර වලට ඇතුලත්ව තිබුනා. මන්ද, සෛනෝඩීය සභාවක් යනු සවන් දෙන සභාවක්. එය සෑම කෙනෙකුම කිසියම් දෙයක් ඉගෙනගන්නා අයුරින් කෙරෙන අන්‍යොන්‍ය සවන් දීමක්: විශ්වාසික ජනතාව, රදගුරු මණ්ඩලය, රෝමයේ රදගුරු තුමා:එක්  අයකු අන් සිල්ලන්ට සවන් දෙනවා; මේ සියලු දෙනාම ශුද්ධාත්මයානන් වහන්සේ ට සවන් දෙනවා" යැයි සුදොතුම් පියතුමා විස්තර කළේය.

සිනොඩ් ක්‍රියාවලිය තුළ සමස්ත සභාව ඒකරාශී වන අයුරු 

මෙම 'සවන් දීම' ඔස්සේ  කතෝලික සභාවේ සමස්ත විශ්වාසයේ ජනතාව සිනොඩ් ක්‍රියාකාරිත්වය තුළ එකට ඒකරාශී වන ආකාරය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ පහදා දුන්නේ ය:

"රදගුරු සිනොඩ් සමුළුව වූ කලී මෙම සමස්ත ක්‍රියාකාරීත්වය -එනම් සභාවේ සියලු මට්ටම් වල කෙරෙන සවන් දීම් -  එකට හමුවන ලක්ෂ්‍යයයි.මෙය ආරම්භ වන්නේ ගිහි ජනතාව ගේ සිටයි. ඔව්හු ද ක්‍රිස්තුන් වහන්සේ ගේ දිවැසිවර භුමිකාවේ කොටස්කරුවෝ ය. මේ නිසා ම සභාවේ පොදු ජීවිතයට සම්බන්ධ මාතෘකා සම්බන්ධයෙන් සිය මතය පල කිරීමට ඔවුනට ද අයිතිවාසිකමක්  ඇති අතර ඔවුන්ට සවන් දීමට ද සභාව බැඳී සිටියි. ඊළඟට ඊට සම්බන්ධ වන්නේ සිනොඩ් රදගුරු හිමිවරුන් ගේ කාර්යභාරයයි. රදගුරුවරුන් සමස්ත සභාව සතු ඇදහිල්ලේ සැබෑ තේවාකරුවන්, අර්ථ නිරූපකයන්  හා සාක්ෂිකරුවන් ලෙස කටයුතු කරන්නේ සිනොඩ් පියවරුන් මගිනි. එහෙත් මෙම කාර්යය ඉටු  කිරීමේ දී නිරන්තරයෙන් වෙනස් වන ජනප්‍රිය ජන මතයෙන් සභාවේ ඉගැන්වීම තෝරා බේරා ගැනීමට ඔවුන් පරෙස්සම් විය යුතු ය. "

ශුද්ධෝත්තම පියතුමා මෙම ක්‍රියාකාරීත්වය තුළ දරන ස්ථානය එතුමා පැහැදිලි කලේ ය.

"මෙම සමස්ත ක්‍රියාදාමය තුළ පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයා මූලික වෙයි. අවසානයේ දී, සෛනෝඩීය ක්‍රියාදාමය කුළුගැන්වෙන්නේ, සියළු කිතුනුවන් ගේ එඬේරා ද ගුරුවරයා ද ලෙස ප්‍රාමාණික බලයෙන් යුතුව (ඉතාලි pronunciare) කතා කිරීමට කැඳවීම් ලබා සිටින රෝමයේ රදගුරු තුමාට (පාප් වහන්සේට)  සවන් දීමෙනි.  රෝමයේ රදගුරු තුමන් කතා කරන්නේ තමන් ගේ පෞද්ගලික විශ්වාසයන් මත පිහිටා නොව,සමස්ත සභාව සතු ඇදහිල්ලේ ශ්‍රේෂ්ඨතම සාක්ෂිකරුවා ලෙසත්,දේව කැමැත්තට කීකරු වීම, ක්‍රිස්තු සුබ අස්නට  හා සභා සම්ප්‍රදායට අනුකුල වීම යන කරුණු තහවුරු කරන්නා ලෙසත් ය."

එසේ ම සෛනෝ ඩීය ක්‍රියාකාරීත්වය තුළ "පේදුරු තුමන් ගේ ශ්‍රේෂ්ඨත්වය " ක්‍රියාත්මක වන ආකාරය ද ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ. මේ බව එතුමන් පැහැදිලි කලේ දෙවන වතිකාන කතිකා නිගමන වල එන "රදගුරුවරුන් පේදුරු තුමන් සමග හා පේදුරු තුමන්ට යටත්ව  (cum Petro et sub Petro)" ක්‍රියා කල යුතු බව සඳහන් පාඨ ගෙන හැර දක්වමිනි.

"ඇත්තවශයෙන් ම පාප් වහන්සේ යනු , සමිඳුන් ගේ කැමැත්ත අනුව, සමස්ත රදගුරුහිමිවරුන් ගේත්, සමස්ත විශ්වාසික සමුහයේත් නිරන්තර, දෘශ්‍යමාන එක්සත්කමේ උල්පත හා පදනම ය. එබැවින් දෙවන වතිකාන කතිකාවේ එන "ierarchica communio " නමැති සංකල්පය ඊට සම්බන්ධ වේ. එනම් 'රදගුරුවරුන් රෝමයේ රදගුරුතුමන් සමග රදගුරු සමවායේ බැඳීමෙන් එක්සත්  වන (cum Petro) අතර, රදගුරු මණ්ඩලයේ නායකයා ලෙස එතුමන්ට යටත් (sub Petro ) වෙති. "

යටිකුරු පිරමිඩ ධුරාවලිය

ශු. ජෝන් ක්‍රිසොස්තම් තුමා ගේ ඉගැන්වීමක් උපුටා දැක්වූ පාප් වහන්සේ කියා සිටියේ සභාව සහ සිනොඩ් ක්‍රියාවලිය යනු සමාන වචන බවයි. "එයින් අදහස් වන්නේ සභාව යනු සිය සමිඳාණන් වන ක්ර්සිතුන් වහන්සේ මුණ ගැසීම සඳහා ඉතිහාසයේ මාවත දිගේ සියල්ලන් එක්ව ගමන්  කිරීම මිස අන් දෙයක් නොවන බවයි.මෙම ගමනේ දී කිසිවෙක් තවත් කෙනෙකුට  "ඉහල" නොවෙති. ඊට ප්‍රති විරුද්ධව, ගමනේ දී සිය සොයුරු සොයුරියන්ට උපකාර කිරීම සඳහා "පහත් "වන්නන් සභාවට ඕනෑ  කර තිබේ"


"යටිකුරු පිරමිඩයක සේ සභාවේ ද කූඨය පිහිටා ඇත්තේ පදනමට යටිනි. මෙහි අධිකාරීත්වය භාවිත කරන්නන් හැඳින්වෙන්නේ "'ministers" (සේවකයන්) යනුවෙනි. මන්ද මෙම පදයේ ප්‍රාකෘත අර්ථයට අනුව ඔවුන් සියල්ලන් අතර 'පහත' සිටින්නන් වන බැවිනි. මේ අනුව රදගුරුවරුන් තමනට භාර වූ බැටළු රැලේ සැබෑ "ක්‍රිස්තු නියෝජිතයන්" (vicarius Christi) බවට පත්වන්නේ ඔවුන් එම දේව ජනතාව ගේ සේවකයන් වන තරමට ය; එනම් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ සිය අපෝස්තුළුවරුන් අබියස නැවතී, පහත් වී පා දෝවනය කල ජේසු සමිඳුන්  ගේ නියෝජිතයන් ය. ඊට සමාන දැක්ම තුළ, පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයා (පාප් වහන්සේ) සමිඳුන් ගේ සේවකයන් ගේ සේවකයා පමණි. අපි මෙය කිසිදා අමතක නොකරමු: එනම්, ඊයේ, අද සහ නිරන්තරයෙන් ම, අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයයි; අපගේ බලය කුරුසියේ බලයයි" යනුවෙන් සේවක -කුරුස නායකත්වයේ අබිරහස පාප් වහන්සේ පහදා දුන්හ.

විමධ්‍යගත කිරීම
ඇතැම් ප්‍රාදේශික කරුණු වලදී අදාළ දේශීය සන්දර්භය අනුව තීරණ ගැනීම  පහසු කිරීම සඳහා ඒ ඒ පදවිවල රදගුරු හිමිවරුනට බලය පැවරීම කාලීන  අවශ්‍යතාවක්  වී ඇති බව ද සුදොතුම් පියතුමා කීවේ ය. "ස්වකීය ප්‍රදේශවලට බලපාන  ගැටලුවලදී තීරණ ගැනීමට ප්‍රාදේශික රදගුරුවරුනට ඇති බලය මුළුමනින් ප්‍රතිස්ථාපනය කිරීම සුදුසු නොවේ.ඒ වෙනුවට යහපත් ලෙස සිදුකෙරෙන විමධ්‍ය ගත කිරීමක් සඳහා මම කටයුතු කරමි."

පාප්ධුරයේ පරිවර්තනයක් ඇති කිරීමේ කඩිනම් අවශ්‍යතාවය ද සුදොතුම් පියතුමා යලිත් වරක් අවධාරණය කළේය.

එහෙත් ඒ අතර සිනොඩ් ක්‍රියාදාමය තුල, පේදුරු ගේ ශ්‍රේෂ්ඨත්වය වෙත  වඩා වැඩි ආලෝකයක් ලැබෙන බව එතුමා පෙන්වා දුන්නේ ය. එහෙත් පාප් වහන්සේ තනි පුද්ගලයකු හෝ සභාවට ඉහලින් සිටින්නෙක් හෝ නොවෙති. එහෙත් සභාව තුළ සිටින එතුමා, රදගුරු පර්ෂදය තුලත් ඔවුන් අතරත් රදගුරුවරුන් ගේ රදගුරුවරයා ලෙස බව්තීස්මය ලබා සිටියි. ඒ අතරම පේදුරුතුමන් ගේ අනුප්‍රාප්තිකයා ලෙස සියලු සභාවල නායකත්වය දරන රෝමයේ සභාවට නායකත්වය දීමට ද කැඳවීම් ලබා සිටියි" යයි එතුමා සුදොතුම් පිය මෙහෙවර සම්පිණ්ඩනය කලේ ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය