ජපමාලය - නපුරට එරෙහි ප්‍රතිශක්තිය

Don't SAY the rosary; PRAY it




(2015 ඔක්තෝබර 6)
මේ ජපමාල මාසයයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජපමාලය දේව වරම් වැසි වස්වන විශ්මිත යාච්ඥාවක් බව වතිකානයේ සිටින දොමිනිකාන පියනමක් පෙන්වා දෙයි. එතුමා පවසන්නේ, සිය ජීවිත තුළ සැබෑ පරිවර්තනයක් සිදුවීමට අවශ්‍ය නම්, කිතුනුවන් හුදෙක් ජපමාලය 'කියන්නේ නැතිව', එහි ඇති භාවනාත්මක යැදුම් අගය අවබෝධ කරගත යුතු බවයි.

ජපමාලය -නිසි ලෙස යදින්නේ නම් - එය අපගේ පෞද්ගලික ජීවිතයට දේව වරප්‍රසාද රැසක් වස්වයි. එහෙත් ගතවූ දශක කිහිපය තුළ එය නිවැරැදිව උගන්වනු ලැබුවේ නැත. ඒ නිසා බොහෝ දෙනෙකු කලේ එය 'ඔහේ කීමය'. මේ නිසා එය බැතිමත් යැදුමක් වූයේ නැත. මේ නිසා එයින් දේව වරප්‍රසාද ගලා ආවේ නැත.

මෙසේ පවසන්නේ දොමිනිකාන නිකායික ගරු බැසිල් කෝල් පියතුමා ය. එතුමා වොෂින්ටන් නුවර දොමිනිකාන අධ්‍යාපන ආයතනයේ ශිල ධර්මය, ආධ්‍යාත්මිකත්වය හා දේවධර්මය පිලිබඳ කථිකාචාර්යවරයෙකි. ජපමාලය පිළිබඳ දේශකයකු හා ප්‍රවර්ධකයකු වන මෙම පියතුමා ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් ජපමාල කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස ද සේවය කරයි.

පහත සඳහන් වන්නේ ජපමාලය යාච්ඥා කරන ආකාරය ගැන එතුමා කල දේශනයේ සාරාංශයකි.

"ජපමාලය නිරන්තරයෙන් ම නපුරට එරෙහි ප්‍රබල යැදුමක් වූයේය.එහෙත් කතෝලිකයන් වැඩි වැඩියෙන් ජපමාලය යාච්ඥා කලේ නම්, එය නිවැරැදිව යාච්ඥා කලේ නම්, අප මුහුණ දුන් හා අද අප මුහුණ දෙන බොහෝ ප්‍රශ්න ඇති නොවනු ඇත.

ජපමාලය වූ කලී නපුරට එරෙහි එන්නතක් වැන්න. අප එය නිවැරදිව භාවනානුයෝගීව යාච්ඥා කලේ නම් එය යක්ෂයා, ලෝකය හා මාංශය යන ත්‍රිවිධ නපුරේ වෛරසයන් පරාජය කරන ප්‍රතිශක්තියක් ලෙස ක්‍රියා කරනු ඇත. එසේම එමගින් කතෝලික සභාවේ ඉගැන්වීම් නිසි ලෙස තේරුම් ගැනීමේ හැකියාව අපට ලැබෙනු ඇත.

'එකට යදින පවුල එකට සිටියි' යන පැරැණි කියමන අත්‍යවශ්‍යයෙන් ම සත්‍යයක් නොවේ. මන්ද සැබෑ යැදුම ස්වකීය හද පත්ලෙන් ම, මනසින්ම ගලා ආ යුතු නිසාය.

කාලයක් තිස්සේ පවුල හා එක්ව ජපමාය කියා, ටික කලකට පසුව එය අත්හල, දැනටත් ඊට වෛර කරන බොහෝ දෙනෙකු ගේ පාපොච්චාරන මම අසා ඇත්තෙමි. ඔවුන් ජපමාලය රස නොවින්දේ, එය 'කීම' අත්හැරියේ, එය නිවරැදිව 'යාච්ඥා කරන්නට' ඔවුන් නොදැන සිටි බැවිනි. ඔව්හු ජපමාලය ඉතා ඉක්මනින් කීහ. ඉතා වේගයෙන් කියා එය අවසන් කළහ. කෙතරම් වේගවත් ද කියන්නේ නම් අධිවේගී දුම්රියක් මෙන් ජපමාලය වේගයෙන් උච්චාරණය කළහ. ඔව්හු ජපමාලයට සම්බන්ධ අබිරහස් ගැන නොසිතූහ .ඒවා ගැන භාවනා නොකළහ.

ජපමාලයේදී මෙනෙහි කෙරෙන අබිරහස් යනු ජේසු සමිඳුන් ගේ ජීවිතය තුළ මරිය වහන්සේගේ භුමිකාවේ වැදගත් අවස්ථාය. ජපමාලය යදින අතරතුර එම අබිරහස් කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් භාවනාවකට මගකි.

ක්‍රිස්තු සමිඳු ගේ ජීවිතය හා උන්වහන්සේ ගේ ගැලවීමේ කාර්යභාරය තුළ මරිය වහන්සේ ඉටු කල විවිධාකාර භූමිකා මෙනෙහි කරන ලෙස මම කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටිමි. රැජිනක් ලෙස, මවක් ලෙස, සේවිකාවක් හා දාසියක් ලෙස, මධ්‍යස්ථිකාව (මැදිහත්කාරිය) හා ගැළවුම්කාරිය ලෙස ඈ සිය කාර්යභාරය ඉටු කළා ය. ඕ තොමෝ නව ඒව ගේ භූමිකාව ඉටු කළා ය. නව ඒව ගේ භූමිකාව යනු කුමක්ද? ප්‍රථම ඒව ගෙනාවේ මරණයයි. මරිය තුමිය - නව ඒව- ජීවනය ගෙනැවිත් දුන්නා ය.

එපමණක් ද? නැත. මරිය වහන්සේ යනු ගැළවීමේ නිදානයේ නිදානයයි; විමුක්තියේ හේතුවේ හේතුවයි.ඉතින්,දේව මාතා වහන්සේ පිලිබඳ මෙම විශ්වාසයේ සත්‍යතා ගැන, මෙම දේවධාර්මික නිගමන ගැන ඔබ මෙනෙහි කිරීමට පටන් ගත්විට, ඔබ ජපමාලය යදිද්දී , විශේෂයෙන්  නමෝ මරිය කියන විට, මෙම අබිරහස් ගැන භාවනා කිරීමට එය ඔබ තුළ උත්තේජනයක් ඇති කරනු ඇත.

එසේ නම් ජපමාලය නිවරැදිව යාච්ඥා කරන්නේ කෙසේ ද?

පවුලක් ලෙස ජපමාලය යදින විට, ජපමාල පන්තියෙන් පන්තියට කියැවෙන අබිරහස් ළඟ මොහොතක් නැවතිය යුතුය. එසේ නැවැතී, එම අබිරහසට සම්බන්ධ ජේසු සමිඳුන් ගේත් මරිය තුමියගේත් ජීවිත සිද්ධිය ගැන භාවනා කල හැකිය. එසේ නැතහොත් එක් එක් ජපමාල පන්තිය එක් එක් සුවිශේෂී අදහසක් වෙනුවෙන්  ඔප්පු කල හැකිය.

පෞද්ගලිකව ජපමාලය යදින විට එක් විටම මුළු ජපමාලය යැද අවසන් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. එක් වෙලාවකට එක පන්තියක් බැගින් කාලය ලැබෙන ආකාරයෙන් යදිමින් ජපමාලය දවස පුරා විහිදවිය හැකිය. එවිට එක් එක් අබිරහස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් භාවනා කිරීමේ හැකියාව ලැබේ. මෙලෙස මුළු ජපමාලය වේගයෙන් එක වර කියා අවසන් කරනවාට වඩා, හෙමින් අබිරහස් ගැඹුරින් මෙනෙහි කරමින් ජපමාලය දවස පුරා යැදීම වඩා ඵල දායක වේ.

ලෝකයේ බොහෝ දෙනෙකුට භාවනාව ගැන අවබෝධය නැතිව ගොස් තිබේ. එහෙත් එම දැනුම, අබබෝධය හා හැකියාව යලි ලබා ගතහොත් යාච්ඥාව මගින් පවුල් හා තනි පුද්ගලයන් ශක්තිමත් කල හැකි යැ "යි බැසිල් කෝල් පියතුමා වැඩි දුරටත් සඳහන් කලේ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය