තුර්කිය හා මැදපෙරදිග වෙනුවෙන් වතිකානයේ දී යැදුම්

Pope prays for Turkey and the Middle East


පිපිරීමන් තුවාල ලද කාන්තාවක් සැනසීමට උත්සාහ කරන තුවාල ලද මිනිසෙක් 

(2015 ඔක්තෝබර 11)
තුර්කියේ බෝම්බ පිපිරීමන් විපතට පත් වූ සියල්ලන් වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය හද පත්ලෙන් ම නැගෙන ශෝකය ප්‍රකාශ කරති. තුන්කාල ආරාධනා මරිය යැදුම සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට ඊයේ (ඔක්තෝබර 11 ඉරිදා) දහවල් රැස්වූ වන්දනකාරුවන් හමුවේ පාප් වහන්සේ මේ බව කියා සිටියහ.

ඔක්තෝබර 10 වන සෙනසුරාදා අන්කාරා නුවර පැවැති විපක්ෂ පෙළපාලියකදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීහු දෙදෙනෙක් බෝම්බ පුපුරවා ගත්හ. කුර්දි හිතවාදී සුළුතර පක්ෂයකට සහාය සඳහා මෙම පෙළපාලිය පැවැත්වෙමින් තිබිණ. මෙම පිපිරීමෙන් 120කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සිය තුන්කාල ආරාධනා යැදුම ආරම්භ කිරීමට පෙර සුදොතුම් පියතුමා මෙම විපත ගැන සිහිපත් කළහ.

"මෙම සිද්ධියෙන් මිය ගිය අය වෙනුවෙන් මා වේදනාවට පත් වෙනවා. එයින් තුවාල ලැබූ සියල්ලන් වෙනුවෙන් වේදනාවට පත් වෙනවා. මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ සාමය වෙනුවෙන් පෙළපාලි ගිය, නිරායුධ, අනාරක්ෂිත ජනතාවකටය  යන සාධකය අපව තවදුරටත් වේදනාවට පත් කරනවා...." යි සුදොතුම් පියතුමා වන්දනාකරුවනට පැවසීය.

"අපගේ දයාබර තුර්කිය වෙනුවෙන් මා යාච්ඥා කරන අතර, සිද්ධියෙන් මියගිය අයගේ ආත්මයන් මහා කුළුණුබර සර්වබලැති තැනැන්වහන්සේ ගේ හස්තවලට භාර කරනවා. එසේම මෙයින් වේදනාවට පත්ව සිටින්නන් හා පවුල් වල සාමාජිකයන් සනසන ලෙස ද මා යාච්ඥා කරනවා." මෙසේ කී සුදොතුම් පියතුමා ටික මොහොතක් නිහඬව තුර්කිය වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙස එහි සිටි වන්දනාකරුවන් ගෙන් ඉල්ලා සිටියහ.

ඒ වනවිට චතුරශ්‍රයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත වන්දනාකරුවෝ නිහඬව හිස නමාගෙන යාච්ඥා කරනු දක්නට ලැබිණ.

මේ අතර, පාප්වහන්සේ ඉකුත් ඔක්තෝබර 9 වන බ්‍රහස්පතින්දා සිනොඩ් කතිකාව අවස්ථාවේ දී සිනොඩ් පියවරුන් සමග මැදපෙරදිග හා අරාබිකරයේ සාමය වෙනුවෙන් යාච්ඥා කළහ. එදින තුන්වැනි පැයේ හෙවත් දහවල් යාම යැදුම ඔප්පු කරන ලද්දේ මැදපෙරදිග සාමය වෙනුවෙනි. සෑම දිනකම සිනොඩ් පියවරු කතිකාව අතරතුර එක්ව යාම යැදුම කරති.

"සිරියාව, ඉරාකය, ජෙරුසලෙම හා බටහිර ඉවුර යන ප්‍රදේශවල පවතින තත්වය ගැන අප සියල්ලන් සැලකිල්ලෙන් බලා සිටින අතර ඒ ගැන කනගාටුවට පත්ව සිටින" බව යැදුම ආරම්භ කරමින් පාප් වහන්සේ පැවසුහ."අහිංසක ජීවිත බිලිගනිමින් හා දැවැන්ත මානුෂවාදී  ඛේදවාචකයක් ඇති කරමින් එම ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙමින් තිබේ."

"යුද්ධය ගෙන එන්නේ විනාශය හා අනේකවිධ දුක් වේදනා පමණි. බලාපොරොත්තුව හා දියුණුව ලැබෙන්නේ සාමය තුළින් පමණි." යි එතුමා පෙන්වා දුන්නේ ය.

එබැවින් අපි එක්සත්වස්වාමින්වහන්සේට දැඩි හා විශ්වාසවන්ත යැදුමක් ඔප්පු කරමුයි පාප් වහන්සේ සිනොඩ් පියවරුන්ට ආරාධනා කළහ.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය