විවිධත්වය භේදයේ නොව සාමයේ පදනම කරගනිමු - 9/11 ස්මාරකය අසල දී පාප් වහන්සේ ලෝකයට කළ ආරාධනය

Diversity must be the basis for Peace, not hatred - Pope's message at Ground Zero 

ස්මාරකය මත සුදු මලක් තබා ගෞරව දක්වමින් 


(2015 ඔක්තෝබර 3)
"අපගේ  වෙනස්කම් හා වීසම්මුතීන් තිබියදීත් අපට සාමකාමී ලෝකයක ජීවත්වන්න පුළුවන්. සැප්තැම්බර් 11 (9/11) සිද්ධියෙන් මියගිය සහෝදර සහෝදරියනට දිය හැකි උසස්ම ගෞරවය නම්, අප සාමයේ  සංහිඳියාවේ සහ සමගි සන්ධානයේ උපකරණ බවට පත්වීමයි" ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ බව කියා සිටියේ ඉකුත් දා ඇමෙරිකාවේ කල සංචාරයේ දී නිව්යෝක් නුවර පිහිටි 2001 සැප්තැම්බර 11 සිද්ධියේ ස්මාරකය බැහැදකින්නට ගිය අවස්ථාවේ දී ය.

2001 සැප්තැම්බර 11 වන දා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පැහැර ගනු ලැබූ ගුවන් යානා දෙකක් මගින් එවකට ඇමෙරිකාවේ ආඩම්බරය වූ මෙම ස්ථානයේ පිහිටා තිබු ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු දෙක විනාශ කරනු ලැබීය. එම සිද්ධියෙන් මිය ගිය අය අනුස්මරණ කෙරෙන මෙම ස්ථානය හැඳින්වෙන්නේ Ground Zero හෙවත් "ශුන්‍ය භුමිය" ලෙස ය.

සැප්තැම්බර් 25 වැනිදා ප්‍රැන්සිස් පාප් වහන්සේ Ground Zero ස්මාරකයට ගියේ සර්ව ආගමික පූජ්‍ය-පූජක උතුමන් ද සමග ය. හින්දු, බෞද්ධ, සික්, ජුදෙව්, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික පූජ්‍ය- පූජක  කණ්ඩායම පාප් වහන්සේ හා එක්ව එහි සිට සර්ව ආගමික අභ්‍යාසයක නිරතවූහ.

එදා 9/11 සිද්ධියෙන් මිය ගිය ගිණි නිවන භටයන් ගේ පවුල් වල සාමාජික පිරිසක් ද පාප් වහන්සේ මුණගැසීමට මෙම ස්ථානයට පැමිණ සිටියහ.

විවිධත්වයෙන් යුත්  පිරිසකට මෙවැනි විනාශයේ ස්ථානයක එකට සිටීමට හැකි වීමෙන්ම පෙනී යන්නේ, සැබෑ සාමය ඇති කළ හැකි බව යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ." අප මෙම ස්ථානයට පැමිණ සිටීම ම,මෙම  ජනතාව අතරත් ලෝකය පුරාත් සාමය, සංහිඳියාව, සමගි සන්ධානය  හා යුක්තිය ඇතිකිරීමේ බලවේගයක් බිහි කල හැකිය යන්න  තහවුරු කිරීමට ප්‍රබල සලකුණකි. අපගේ  වෙනස්කම් හා වීසම්මුතීන් තිබියදීත් අපට සාමකාමී ලෝකයක ජීවත්වන්න පුළුවන්" එතුමා පෙන්වා දුන්නේය.

මෙම යාතිකාවට එක වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්  සමග

"අපගේ භාෂා, සංස්කෘතීන් සහ ආගම් යන විවිධත්වයේ පදනම, මත අප එක්සත්බව ගොඩනැගිය යුතු යි. එසේ ම එම එකමුතුකමේ  හෝ සමගියේ මාර්ගයට බාධා කරන්නන්ට එරෙහිව අපගේ හඬ අවදි කල යුතු ය. එකාකාරත්වය නොහොත් ඒකීයත්වය (නොවෙනස් බව) බලහත්කාරයෙන් පටවන්නට දරන ඕනෑම උත්සාහයකට "නැත" කියා ද විවිධත්වය පිළිගෙන සමගි සන්ධානයට එකඟවන විට එයට "ඔව්" කියා ද කීමට පසුබට නොවිය යුතු" යයි  සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය.

එවැනි එක්සත්කමක් හා සමගියක් ඇති විය හැක්කේ වෛරයේ, පළිගැනීමේ, නොරිස්සුම් සහගත බවේ හා අමනාපයේ සියලු සිතිවිලි අප හදවත් තුළින් මුලිනුපුටා දැමීමෙන් පමණක් බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. එබඳු හදවත් ඇති කර ගනිමින් සාමයේ අරමුණට දැඩිව  කැපවීමට අවශ්‍ය බලය, අප සියල්ලන් අදහන අති උසස්  ආධ්‍යාත්මික බලයෙන් ඉල්ලා සිටින්නැයි එතුමා ජනතාවට ආයාචනා කලේ ය.

"එසේ වූ විට, මෙම ස්ථානයේ දී මිය ගිය අප ආදරය කරන අයගේ ජීවිත කිසි දා මතකයෙන් ගිලිහී නොයනු ඇත.ඒ වෙනුවට, අප දිවැසිවරුන් වන අවස්ථාවල - එනම් සියල්ල විනාශ කරන දිවැසිවරුන් නොව - සම්බන්ධතා ගොඩනගන්නාවූ, සාමයේ දිවැසිවරුන්, සමගි සන්ධානයේ දිවැසිවරුන් වන අවස්ථාවල , ඔවුන් අප සමග ජීවමානව සිටිනු ඇත."

මෙම සර්ව ආගමික යාතිකාවේ දී ජුදෙව්  මුස්ලිම් සහ බෞද්ධ පූජක උතුමන් තියුණු භාවනාවල ජනතාව මෙහෙයවූහ. හින්දු, සීක්, ක්‍රිස්තියානි, මුස්ලිම් නායකයෝ ද  පාප් වහන්සේ ද හෘදයංගම යැදුම් ඔප්පු කළහ. මෙම අවස්ථාවට එක්වූ  ජනතාව අතර සිටි පූජ්‍ය- පූජක උතුමන්ගේ නේක වර්ණ වස්ත්‍රයෙන් අනුස්මරණ ශාලාව විසිතුරු වී තිබුනේ ය. කාදිනල්වරුන් ගේ රක්තවර්ණය, සීක් ගුරුවරුන් ගේ කහ සහ අඳුරු රත් පැහැ තලප්පා, බෞද්ධ භික්ෂුන් වහන්සේ ගේ සිත් ශාන්තිමත් කරන කසා වත්,ජුදෙව් පුජකවරුන් ගේ එම්බ්‍රොයිඩර් කරන ලද උස් හිස් වැසුම් හා මුස්ලිම් පුජකවරුන් ගේ එම්බ්‍රොයිඩර් කරන ලද ජුබ්බා ලෝගු ආදියෙන් විචිත්‍ර වූ මෙම එකතුව දුටු කෙනකු තුළ නිතැතින් ම හට ගත්තේ "විවිධත්වය තුළ ගොඩනැගෙන එක්සත්කමේ සුන්දරත්වය" පිලිබඳ අපේක්ක්ෂා ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය