වැළඳගැනීම, අගය කිරීම සහ ඉගිලෙන හාද්ද : පාප්වහන්සේ ඇමෙරිකාවේ සිරගෙදරදී දුන් සංඥාව

Caress, Thumbs-up and a Flying Kiss : Pope signs in Philadelphia prison 

පාප් වහන්සේ පිලදෙල්පියා බන්ධනාගාරයේ දී 

(2015 සැප්තැම්බර් 30)
"හිරගෙදර" කිව්වාට ඒක 'ගෙදරක්' නොවේමය. 'ගෙදර' යන්නේ  අදහස 'නිවස' නමැති බිල්ඩිම නොවේය. ඒ නිවස තුළ වෙසෙන්නන් ය. ගෙදර කියන්නේ ඒ නිවසේ වෙසෙන්නන් තුළ එකිනෙකාට ඇති ආදරය, ගෞරවය, බෙදා ගැනීම, එකෙකු ගේ නෙතේ කඳුලක් එන විට සියල්ලන්ගේ සිත් තෙත් වීම, එකෙක් ජයක් ලබන විට හැමෝටම ජයග්‍රහණයේ සතුටින් පුපුරා යාම  වැනි විව්ධාකාරයෙන් ආදරය හා බැඳීම එකතු වූ තැන ය. "ගෙදර යනවා" කී විට අප හදවත්වලට විස්තර කල නොහැකි සතුටක් දැනෙන්නේ ඒක ය. "හිර ගෙදර" යනවා කියද්දී අපේ හිතට එහෙම ආදරබර සිතිවිල්ලක් කිසිසේත් එන්නේ නැත. එය කිසිසේත් සුන්දර තැනක් නොවේමය.(ඉතින් කවුරු ඒකට 'හිරගෙදර' කියන නම දැම්මාද දන්නේ නැත. )

මේ ප්‍රවිෂ්ටය කිවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජනපදයේ ගත කල අවසන් දිනයේ කළ තවත් කාර්යයක් ගැන කියන්නට ය.  එනම් "හිර ගෙදර" ඇත්තන් "ගෙදරකට" යවන්නේ කෙසේ දැයි එතුමා පෙන්නුවේය. කියා දුන්නේ ය.

හිරගෙවල් ප්‍රැන්සිස්  පාප් වහන්සේ බොහෝ ප්‍රිය කරන තැනකි. එහෙම කීවාට එතුමා ප්‍රිය කරන්නේ හිරගෙවල් වලට නොවේ. ඒවායේ රඳවා සිටින මිනිසුන්ට හා ගැහැනුන්ටය. ඊට හේතුව ඔවුන් ජීවිතයේ කිසියම් මොහොතක මහා අත්වැරදීමක් කරගත්තාට ඔවුන් ද මනුෂ්‍යයන් බව එතුමා සිතන නිසාය. ඊටත් වඩා "මම සිරගතව සිටියෙමි; ඔබ මා බලන්නට ආවේයැ" යි එතුමා ගේ ස්වාමියා වන ජේසු සමිඳුන් කියා තිබූ වදන් එතුමා ගේ සිතට තදින් කා වැදී  ඇති නිසාය.

සැප්තැම්බර් 27 වන දා එතුමා පිලදෙල්පියාවේ හිර ගෙදරක් බලන්නට ගියේය. මෙම බන්ධනාගාරයේ නිල නම පිලදෙල්පියා කරන්-ෆ්‍රොම්හෝල්ඩ් පුනරුත්ථාපන මධ්‍යස්ථානය ය. ප්‍රාකාර වැනි බිත්ති හා කටු කම්බි ප්‍රාකාර වලින් ආවරණය වූ මෙම ස්ථානය ඇත්තෙන් ම බන්ධනාගාරයක් මය.

පිලදෙල්පියාවේ අහස සිඹින ගොඩනැගිලි වල අවසාන දර්ශනයෙනුත් මිදී සිරගෙදර ගේට්ටුවෙන් ඇතුළු වූ විට දැනෙන්නේ හරියට අන්ධකාර කොන්ක්‍රීට් ගුහාවකට ඇතුළු වනා වාගේ ය. ජනෙල් නැත. ඇත්තේ දෙපැත්තට ඇරෙන යකඩ දොරවල් ය. සීලිමත් පොළොවත් බිත්තිත් සාදා ඇති කොන්ක්‍රීට් වලින් වටවූ විට සිත ආවෘතිභීතිකාවෙන් වෙලී  යයි.

මෙම අසුන්දර පරිසරය පසු කරගෙන ප්‍රැන්සිස් පාප් වහන්සේ  එහි ශාලාවකට ඇතුළුවුහ.  ඒ වනවිට කාන්තා රැඳවියන් 11 දෙනකු ඇතුළු රැඳවියන් අසූ දෙනකු  එතුමන් එනතෙක් එහි බලා සිටියහ. ජේලර් වරු ද එපමණ සංඛ්‍යාවක් යොදවනු ලැබ සිටියහ. ඊට අමතව තවත් බන්ධනාගාර නිලධාරීහු රැසක් ද එහි සිටියහ.

වැළඳගැනීම, අගය කිරීම හා හාද්ද 

ශාලාවේ වේදිකාව මත පාප් වහන්සේ සඳහා පනවා තිබූ පුටුව සාදන  ලද්දේ සිරකරුවන් විසින් බව එතුමන් ට දන්වන ලද්දේය. සුදොතුම් පියතුමා පුටුව අසලට ගියේ ය. ආදරයෙන් එය වැළඳ ගත්තේ ය. ඉන් පසු සිර කරුවන් වෙත හැරුණු එතුමා සිනහවෙන් මුව පුරවා ගෙන thumbs-up ලකුණින් එය විශිෂ්ට නිර්මාණයක් බවත් තමා එය බෙහවින් අගය කරන බවත් පෙන්වීය. එවිට ලජ්ජාවෙන් මෙන් බිම බලා ගත් එක් කාන්තා රැඳවියකු සන් කලේ පාප් වහන්සේ  වාඩිවන කුෂන් සහිත අසුන් කොටස සෑදීමට තමා ද හවුල් වූ බවයි. පාප් වහන්සේ වහාම "පියාඹන හාද්දක්" (flying kiss ) ඇයට පා කර යැවුවා ය. මුළු ශාලාවම සතුටු සිනහවෙන් පිරී ගියේ ය.



වැළඳ ගැනීම (caress ), අගය කිරීම (Thumbs -up) සහ සිප ගැනීම(Kiss ) : කතාවට වඩා බොහෝ දේ සංඥාවෙන් පෙන්වන ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෙම සංඥා තුනෙන් ද  ගැඹුරු අදහසක් දෙයි. එනම් ඕනෑම අපරාධ කරුවකු යහපත් මිනිසකු කල හැකි මාවතක් ඇති බවය.

එහි දී සිරකරුවන් අමතමින් පාප් වහන්සේ කි දෑ ඊට සාක්ෂි සපයන්නේ ය.

පාද දෝවනය 

එදා සිය ශ්‍රාවකයන් ගේ පාද දෝවනය කිරීම මගින් ජේසු සමිඳුන් කලේ ඒ සමයේ ජුදා සමාජයේ තුබූ සම්ප්‍රදායකට නව අරුතක් දීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය.

එකල නිවසක භෝජන සංග්‍රහයකට  පැමිණෙන්නන්  ගේ පාද දෝවනය කිරීම ජුදා සිරිතක් විය. ඊට හේතුව එසේ පැමිනෙන්නන් ගේ පාද මහමග තිබු දුහුවිලි වලින් කිලිටිවී , ගල් නිසා කැපුම් හා සීරුම් සිදුවී  තිබීමයි.සාමාන්‍යයෙන් පාද දෝවනය කලේ නිවසේ සේවකයන් හෝ වහලුන් විසිනි. එහෙත් මෙතන දී ප්‍රධානියා වූ ජේසු සමිඳාණෝ ම දාසයකු ගේ භූමිකාව ඉටු කළහ.

"ජීවිතය ගමනක්.වෙනස් මංමාවත් ඔස්සේ යන ගමනක්" පාප් වහන්සේ විස්තර කළහ. "මෙසේ ගමන් කරන විට විවිධ හේතු නිසා අප කිලිටි වෙනවා. තුවාල ලබනවා. සීරීම් කැපීම් ඇතිවෙනවා. මේ නිසා අපටත් පවිත්‍ර වීම, දෝවනය වීම අවශ්‍ය වෙනවා. මේ නිසයි ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන් පිවිතුරු කරන්නේ. උන්වහන්සේ එදා ශ්‍රාවකයන් පිවිතුරු කළා සේ, දෝවනය කළා සේ අපව ද දෝවනය කරනවා" යි උන්වහන්සේ පැවසුහ.

"ජේසු  සමිඳුන් සංකේතයක් මගින් අපට අපට කියා දෙන්නේ මෙයයි:අපට කෑම මේසයට පැමිණීමට හැකි වනු පිණිස උන්වහන්සේ අපගේ පාද දෝවනය කරනවා. එම කෑම මේසයෙන් කිසිවකු හෝ බැහැර කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ නැහැ. 'මා  ඔබගේ පාද දෝවනය නොකරන්නේ නම් පියානන් වහන්සේ ඔබට ලබා දීමට මහත් බලාපොරොත්තුවෙන් වෙසෙන ජීවනය ඔබට ලබා ගැනීමට නොහැකි වෙනවා" යෝ සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

ජේසු සමිඳුන් අපගේ කිලිටි බව නිසා අප කොන් කර පිළිකෙව් කර නොදමන බව පාප්වහන්සේ පෙන්වා දුන්හ: " අප තුළ තුබූ ගෞරවය යලි පිහිටුවීමට උන්වහන්සේ අප හමුවීමට එනවා. විවිධ හේතු නිසා අතර මග බාධා වූ අපගේ ගමන යලි ආරම්භ කිරීමට, අප තුල නව බලාපොරොත්තු ඇති කිරීමට, අපගේ විශ්වාසය යලි පිහිටුවීමට උන්වහන්සේ අප සොයාගෙන  එනවා.

උන්වහන්සේ අප තුළ දල්වන නව බලාපොරොත්තුව ගැන ද එතුමා විස්තර කලේ ය: "ජේසු සමිඳුන්ට අවශ්‍ය අප ජීවනයේ මාර්ගයේ නොකඩවා ගමන් කරනු දැකීමයි. අපට දූත මෙහෙවරක් ඇති බව උන්වහන්සේ අපට පසක් කර දෙනවා. සිරකර තැබීම යනු බැහැර කිරීම හෝ කොන් කිරීම නොවන බව උන්වහන්සේ පෙන්වා දෙනවා...."

අප  එකිනෙකාව දැකිය යුත්තේ ජේසු සමිඳුන්ගේ දෑසින් බව සුදොතුම් පියතුමා සිරකරුවන්ටත් සමාජයටත් අභියෝග කරමින් පැවසුවේ ය. "උන්වහන්සේ ගේ දෑස අතරමග තිබු දුහුවිල්ලට හසුවී දුරාචාරය දැකීමෙන් කලකිරී නැහැ. උන්වහන්සේට අවශ්‍ය වන්නේ පවිත්‍ර කිරීම, සුවපත් කිරීම හා ප්‍රතිෂ්ඨාපානය යි."

බන්ධනාගාර ක්‍රමයේ දෝෂ 

නුතන බන්ධනාගාර ක්‍රමය ද ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ විවේචනයට ලක් විය. උන්වහන්සේ කියා සිටියේ බන්ධනාගාර දඬුවම කරන කරන ස්ථාන වලට වඩා  පුනරුත්තාපනය කරන ස්ථාන බවට පත්විය යුතු බවයි.

"නූතන බන්ධනාගාර නිර්මාණය කර තිබෙන්නේ තුවාල සුවපත්  කිරීමට, වේදනාව සමනය කිරීමට හෝ නව අවස්ථා උදා කිරීමට නොවේ." එහෙත් ඒවා වරදවලට දඬුවම් විඳින්නන් නව මිනිසුන් ලෙස සමාජයට මුදා හැරෙන ස්ථාන බවට  පත් විය යුතු බව එතුමා පෙන්වා දුන්නේ ය.

අවසානයේ දී පාප් වහන්සේ සිරකරුවන් යාච්ඥාවට  කැඳවූහ."අප පිවිතුරු කරන ජේසු සමිඳුන් වෙත අපි හැරෙමු. උන්වහන්සේ මාර්ගයයි. සත්‍යයයි. ජීවනයයි. උන්වහන්සේ පැමිණෙන්නේ, අපව කිසිදාක වෙනස් කල නොහැකි බවට පැතිර ඇති බොරුවෙන් අපව මුදා ගැනීමටයි.උන්වහන්සේ ගේ ප්‍රේමයේ හා උත්ථානයේ මාර්ගය නව ජීවිතය කරා අප ගෙනයන මාර්ගය වේවා!"



(RV;CNA)








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය