"ඔබේ ධනය බෙදා ගන්න!" පාප් වහන්සේ ගෙන් ඇමෙරිකාවට අභියෝග රැසක් (ලංකාවටත් පාඩම්)

Pope challenges America in his historic speech to the Congress 



(2015 සැප්තැම්බර් 25)
ඇමරිකාවේ ඓතිහාසික ජයග්‍රහණයන්ද  සාඩම්බර සංස්කෘතික, ජාතික හා දේශපාලන උරුමයන් ද ගැන සිහිපත් කල පාප් වහන්සේ ඒවායින් පොහෝණි වී නූතන ඇමෙරිකාවේත් ලෝකයේත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීමට ඉදිරියට එන්නැයි ඇමෙරිකානුවන්ට අභියෝග කරති.

ඇමෙරිකානු කොන්ග්‍රෙස්  මණ්ඩලයේ විශේෂ ඒකාබද්ධ සැසියක් අමතා අයිතිහාසික කතාවක් කරමින් උන්වහන්සේ අද  (සැප්තැම්බර් 24 දා) පෙරවරුවේ මෙම අභියෝග එල්ල කළහ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයෝ ද ජනාධිපතිවරයා ගේ කැබිනට් මණ්ඩලය ද පාප් වහන්සේ ට සවන් දීම සඳහා වොෂිංටන් නුවර කැපිටල් හිල් කොන්ග්‍රෙස් මණ්ඩල සභා ගර්භයට රැස්ව සිටියහ.

කතෝලිකයන් වන උප ජනාධිපති ජෝ බයිඩන් හා කතානායක ජෝන් බූනර්, පාප් වහන්සේ ට පසුපසින් වූ මුලාසනයේ සිට පාප්වහන්සේ ගේ කතාවට සාවධානව සවන් දෙනු දක්නා ලදී.

නිල ලේඛන රහිත දශ ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමනිකයන් පිළිගන්නැයි ද, දුප්පත්කමට හා පරිසර විනාශට එරෙහිව ගෙනයන ව්‍යායාම වලට සහාය වන්නැයි ද එතුමා කොන්ග්රෙස් මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය. වඩා සාධාරණ ආර්ථික ක්‍රමයක හා මරණ දඬුවම ඉවත් කිරීමේ අවශ්‍යතාව ද එතුමා අවධාරණය කලේ ය. ලොවපුරා සිදුවන ආයුධ වෙළෙඳාමේ "ලේ" සල්ලි ජාවාරමට නැවතීමේ තිත තැබීමේ අත්‍යවශ්‍යතාව පෙන්වා දුන් සුදොතුම් පියතුමා සාම්ප්‍රදායික පවුල ආරක්ෂා කර සුරක්ෂිත කල යුතු බව කියා සිටියේ ය.  නීති සම්පාදකයන් ගේ වගකීම හා කාර්ය භාරය ද එතුමා පෙන්වා දුන්නේ ය.

කිතුනු ඇසින් බලන විට පාප් වහන්සේ ගේ අද දේශනයේ  තිබු විශේෂත්වය වන්නේ කිසිදු බයිබලිය උපුටනයක්  භාවිත නොකර සුබ අස්නේ එන ඉගැන්වීම් හා වටිනාකම් ගැන ඇමෙරිකාවට අභියෝග කිරීමයි. බයිබලිය චරිතයක් ලෙස එතුමන් භාවිත කලේ මෝසස් ගේ නම පමණි. එසේ කලේ ද මෝසස් ගේ සුවිසල්  පිළිරුවක් කොන්ග්‍රෙස් ගොඩනැගිල්ල තුල පවතින නිසා ය. භෞතිකත්වයට  හා  ලෞකිකත්වයට නැඹුරුව පවතින ඇමරිකාවේ ආධ්‍යාත්මය පාප් වහන්සේ විසින් හොඳින් වටහාගෙන ඇති  බව පැහැදිලිව දක්නට ලැබිණ. සිය ලෞකික ජයග්‍රහණයන් ගැන ආඩම්බර වන ජාතියකට ධාර්මික වටිනාකම් ගැන කතා කල යුත්තේ කෙසේ දැයි එතුමා දැන සිටි බවක් මෙම කතාව හදාරන විට දක්නට ලැබේ.

බොහෝ කතෝලික නායකයන් සිය පණිවිඩය ඉදිරිපත් කිරීමෙහි ල භාවිත කරණ   බයිබලීය  චරිත වෙනුවට පාප් වහන්සේ භාවිත කර තිබුනේ,   "ඇමෙරිකාවේ ගැඹුරුම සංස්කෘතික සංචිත" ලෙස එතුමන් හඳුන්වන ඇමෙරිකානුවන් ගේ ගෞරවයට පාත්‍ර වන වීරවරුන් සිව් දෙනෙකු ගේ පණිවිඩ ය.එම විරුවන් නම් ඒබ්‍රහම් ලින්කන්, මාටින් ලුතර් කිං, ඩොරති ඩේ  සහතෝමස් මර්ටන් ය.

 දේශපාලකයන් ගේ වගකීම  

කොන්ග්‍රෙස් (පාර්ලිමේන්තු ) මන්ත්‍රීවරුන් ලෙස ඔබේ වගකීම වන්නේ ඔබගේ නීති සම්පාදක ක්‍රියාකාරකම් මගින් මේ රටට ජාතියක් ලෙස වර්ධනය වීමට හැකියාව ලබා දීම යැයි පාප් වහන්සේ පැවසුහ.

"මේ රටේ ජනතාව ගේ නියෝජිතයන් ලෙස එම ජනතාව ගේ මුහුණ ඔබයි. වෙහෙස නොබලා පොදු යහපත සොයා යාමට  දරන අභියෝගාත්මක පරිශ්‍රමයේ දී, ඔබගේ ජනතාව ගේ ගරුත්වය ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට ඔබ බැඳී සිටියි. ඇත්තෙන්ම සියලු දේශපාලන අරමුණු වල ප්‍රධාන අරමුණ වන්නේ එය" යැයි  එතුමා කොන්ග්රෙස්ස් මන්ත්‍රී වරුනට පැවසිය.

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ගවල අරමුණ විය යුත්තේ රටේ සියලු ජනකොටස් - විශේෂයෙන් වඩා දුර්වල වුවන් - රැක  බලා ගැනීම බව සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය.   "දේශපාලන සමාජයක් නොනැසී පවතින්නේ තම රටේ සමාජයේ සියලු සාමාජිකයන්ගේ   දියුණුව උත්තේජනය කිරීම මගින්, සියල්ලන් ගේ - විශේෂයෙන් වඩාත් අනතුරට ලක්ව සිටින්නන් ගේ හා දුර්වලවූවන් ගේ -  පොදු අවශ්‍යතා  සපුරාලිම, සිය ජීවිත කැඳවීමක් සේ භාර ගතහොත් පමණි. ව්‍යවස්ථාදායක ක්‍රියාකාරකම්වල නිරන්තර පදනම වන්නේ ජනතාවට සේවය කිරීම හා ඔවුන් රැක බලා ගැනීමයි. ඔබව මේ තැනට  තෝරා පත් කර ගත් ජනතාව ඔබෙන් බලාපොරොත්තු වන්නේ එය" යැයි එතුමා සඳහන් කලේ ය.

මේ සඳහා තමන්ට ලබා දිය හැකි හොඳම ආදර්ශ චරිතය ශුද්ධ බයිබලයේ එන - කොන්ග්‍රෙස් සභා ගර්භයේ සුවිසල් රුවක් සහිත  - මෝසස් ගේ චරිතය බව සුදොතුම් පියතුමා සඳහන් කලේ ය. එක අතකින් පීතෘවරයකු හා නීති සම්පාදකයකු ලෙස ද  තවත් අතකින් දෙවිඳුන් (ස්වකීය ධර්මය හා ගැඹුරු ආධ්‍යාත්මය) සමග  පැවති  සම්බන්ධතාවය මගින් ඔහු තුල වූ ලෝකෝත්තර ගරුත්වය ද ඔහු ප්‍රදර්ශනය කරන බව එතුමා පෙන්වා දුන්නේ ය.

සංක්‍රමණිකයන් පිළිගන්න 


නීති විරෝධිව ඇමෙරිකාවට ඇතුළුවීම නිසා මෙතෙක් ලේඛන ගත වී නොමැති දශ ලක්ෂ සංඛ්‍යාත සාංක්‍රමනිකයන් පිළිගෙන ඔවුනට රටේ නීතිගරුකව ජීවත් වීමේ අවකාශය ලබා දෙන ලෙස ද  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අමෙරිකාවට අභියෝග කලේ ය. ( මෙවර ජනාධිපතිවරණයට එක්ව සිටින එක් අපේක්ෂකයකු ඇතුළු එක් පාර්ශවයක් පවසන්නේ ඔවුන් රටින් පිටුවහල් කල යුතු බවයි.)

ඔවුන්ගේ සංඛ්‍යාව ගැන නොව ඔවුන් මානව පුද්ගලයන් සේ දකින්නැයි එතුමා අමෙරිකාවෙන් ඉල්ලා සිටියේ ය. මානව හිමිකම් නායකයකු හා වීරවරයකු ලෙස බුහුමනට ලක්ව සිටින මාටින් ලූතර් කිං පැවැසූයේ  "අපේ සියලු සහෝදර සහෝදරියන් සඳහා පුර්ණ අයිතිවාසිකම් සිහිනය සැබෑ කිරීම " ගැන බව  පාප් වහන්සේ සිහිපත් කලහ. ඔහු ගේ උරුමය නම් "විවිධත්වය තුළ සියල්ලන්ට නිදහස හා කිසිවකු (සමාජයෙන්) බැහැර නොකරීම"  බව  එතුමා පෙන්වා දුන්නේ ය.


ලෝක ආර්ථිකය, ධනය , දුප්පත්කම 

වෙළෙඳ ව්‍යාපාරික කටයුතු ගෞරවනීය වෘත්තියක් හා කැඳවීමක් බව සුදොතුම් පියතුමා කීවේය. එමගින් ධනය නිපදවෙන අතර ලෝකය දියුණු වෙයි. එහෙත් ඊට  තමන් කටයුතු කරන  ප්‍රදේශයේ සෞභාග්‍යයේ ඵලදායි  උල්පතක් බවට පත්විය හැක්කේ, රැකියා බිහි කිරීම තම කටයුතුවල ප්‍රධාන කොටසක් බවට පත් කර ගන්නේ නම් පමණක් යයි එතුමා අවධාරණය කලේ ය. පොදු යහපත ව්‍යාපාරික කටයුතු වලද අරමුණ විය යුතු වේ.

අප ජීවත් වන මේ යුගයේ පවත්නා සමාජයේ සැලකිල්ල යොමු වී ඇති ප්‍රශ්න දෙස ද අවධානය යොමු කල යුතු බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියහ. යුක්තිය, සාධාරණත්වය හා සාමය, පීඩිත වුවන් හා දුප්පතුන් වෙනුවෙන් හඬ නැගීම වැනි සමාජ ක්‍රියාකාරීකම් මේ යුගයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇති බව එතුමා පෙන්වා දුන්නේ ය. මෙහි ලා අමෙරිකාවෙන් ගත හැකි එක්  නිදර්ශනයක් වන්නේ  යුක්තිය, මානව හිමිකම් හා පීඩිතයන් වෙනුවෙන්  පෙනී සිටි ඩොරති ඩේ ගේ මෙහෙවරයි. කතෝලික ක්‍රියාකාරිනියක වූ ඈ සුබ අස්නෙන් ජීවය ගෙන සිය සහෝදර ජනතාව වෙනුවෙන් කැප වී ක්‍රියා කළාය.

ඇය වැනි ක්‍රියාධරයන් ගෙන් ආදර්ශ ගෙන ලොව පුරා දුප්පත්කමේ චක්‍රය තුල සිර වී සිටින ජනතාව වෙනුවෙන් සටන් කරන්නයි එතුමා ඇමෙරිකාවට අභියෝග කලේ ය. ""ජනතාව අන්ත දුප්පත්කමෙන් මුදා ගැනීමට තුන් වන සහශ්‍රකයේ මුල් දශක කිහිපයේ දී අප කර ඇත්තේ කුමක් ද?මේ වෙනුවෙන් තවත් බොහෝ දේ කල යුතු බවට ඔබත් මා හා එකඟ වන බව මම දනිමි. අර්බුද හා ආර්ථික දුෂ්කරතා වලදී ගෝලීය සහෝදරත්වය අමතක නොකළ යුතු ය. අප වටා දුප්පත්කමේ විෂම චක්‍රය තුල කොටු වී සිටින ජනතාව නිතරම මතකයේ තබා ගන්නා  ලෙස මම ඔබ දිරිමත් කිරීමට කැමැතියි.ඔවුනට ද බලාපොරොත්තුවක් දිය යුතු ය. දුප්පත්කමට එරෙහි යුද්ධය නිරන්තරයෙන් හා විවිධ පෙරමුණු වලින් දියත් කල යුතු" යයි එතුමා අවධාරණය කලේ ය.

ආගම හා දෙවිඳුන් ගේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා 

අප ජීවත් වන ලෝකය වෛරය, ප්‍රචන්ඩ ගැටුම් හා මාන්වයිනට එරෙහිව සිදුවන රුදුරු කෘර ක්‍රියා වර්ධනය වෙමින් පවත්නා ස්ථානයක් බවට පත් ව ඇති බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. කනගාටුදායාක් ලෙස ඇතැම්  ප්‍රචන්ඩ ක්‍රියා සිදුවන්නේ දෙවියන් වහන්සේ ගේ හෝ ආගමේ හෝ නාමයෙනි.

"කිසිදු ආගමක් පෞද්ගලික මුලාවන්ගෙන් හෝ න්‍යායාත්මක අන්තවාදයෙන් නිර්මුක්ත නොවේ." එතුමා කීවේය. "මෙයින් අදහස් කෙරෙන්නේ අප නිරතුරු ආගමික හෝ වෙනත් අන්තවාදයන් කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බවයි. ආගම හෝ න්‍යායක හෝ ආර්ථික ක්‍රමයක් නාමයෙන් සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා පරාජය කිරීමට තරමක් සංකීර්ණ සමතුලිතතාවක් අවශ්‍ය වේ. මද එය කා යුතු වන්නේ ආගමික නිදහස, බුද්ධිමය නිදහස හා පෞද්ගලික නිදහස ආරක්ශා වන ආකාරයෙනි" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

ප්‍රචණ්ඩත්වයට නිතරම අපගේ ප්‍රතිචාරය විය යුත්තේ බලාපොරොත්තුව,(සිත්)  සුවපත් කිරීම යුක්තිය හා සාධාරණය කැටි කොටගත් එකක් එතුමා අවධාරණය කලේ ය. "සංවර්ධිත රටවල පවා අසාධාරණ ව්‍යුහ හා ක්‍රියාමාර්ගවල බලපෑම් තවමත් දක්නට ලැබේ. අපගේ ප්‍රයත්නවල අරමුණ විය යුත්තේ බලාපොරොත්තුව ප්‍රතිෂ්ඨාපනය කිරීම, වැරදි නිවරැදි කිරීම සහ කැපවීම් පවත්වාගෙන යාම හා එමගින් ජනතාව ගේ සුබ සිද්ධිය ඇති කිරීමයි."

 "දිවා භෝජන සංග්‍රහය "

මෙම කතාවෙන් පසු ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ දේශපාලකයන් හා ධනවතුන් සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වන ලෙස කතානායක බූනර් මහතා ඇතුලු කිහිප දෙනෙක් ප්‍රැන්සිස් පාප් වහන්සේට ආරාධනා කර තිබිණි. එතුමා නිහතමානිව එම ඇරයුම ප්‍රතික්ෂේප කලේ ය.

ඒ වෙනුවට වොෂිංටන් අගරදගුරු පදවිය පවත්වාගෙන යන "ගෙදරක් නැති දරුවන් ගේ " නිවසක් බලන්නට ගිය පාප් වහන්සේ  එම  නිවැසියන් සමග දිවා ආහාරය ගත්තේ ය.


 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය