ඇමෙරිකා සංචාරය ආරම්භයේ පරිසරය, විවාහය හා සාංක්‍රමනිකයන් ගැන පාප්වහන්සේගෙන් ප්‍රබල අදහස්



(2015 සැප්තැම්බර් 23)
අද (සැප්තැම්බර් 23 වනදා ) සුදොතුම් පියතුමා ඇමෙරිකාවේ සිය අපෝස්තලික ගමන ආරම්භ කලේ ධවල මන්දිරයේ දී ජනාධිපති බරක් ඔබාමා මහතා මුනගැසෙමිනි. එය ඇමෙරිකානු ආණ්ඩුව විසින් පාප්වහන්සේ වෙනුවෙන් පැවැත් වූ නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවය ද වුයේ ය.

රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමේ උත්සවය පැවැත්වුනේ රාජ්‍ය නායකයන් පිළිගන්නා ධවල මන්දිරයේ දක්ෂිණ තණ නිල්ලේ දී ය. මේ සඳහා අමුත්තන් 11,000කට ධවල මන්දිරය විසින් ආරාධනා කර තිබිණි. සිය පිළිගැනීමේ කතාවේ දී ජනාධිපති ඔබාමා කියා සිටියේ නායකයකු පිළිගැනීම සඳහා දක්ෂිණ තණ  නිල්ලට මෙතරම් විශාල ජනතාවක් එක් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. ඔවුන් පැමිණ සිටින්නේ හේතු කිහිපයක් නිසා බව ඔහු පෙන්වා දුන්නේ ය. ප්‍රැන්සිස් පාප් වහන්සේ හුදෙක් කතෝලිකයන් ගේ පමණක් නොව ලොව පුරා ආගමික හෝ වාර්ගික භේදයෙන් තොරව සෑම හදවතක් ම ස්පර්ශ කිරීමට සමත්ව සිටීම එක හේතුවකි. කතෝලික සභාව ඇමෙරිකාව තුළත් ලෝකය පුරාත් කුසගින්නෙන් පෙලෙන්නන්ට ආහාර දීම, පාසල් හා රෝහල් විවෘත කිරීම, රෝගීන් හා අනාථයන් රැක බලා ගැනීම වැනි විවිධ දයා සේවා වල නිරත වෙමින් ජනතාවගේ දුක් ගින්දර නිවීමට දායක වීමට කෘතගුණ දැක්වීම තවත් හේතුවකි. ප්‍රැන්සිස් පාප්වහන්සේ තුළ විද්‍යමාන වන බැහැපත්කම ද ඔබාමා මහතා ගේ පැසසුමට ලක්විය.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකාවේ කල සිය ප්‍රථම කතාව වූ පිළිතුරු කතාවේ දී, තමන් එරට ගත කරන දින තුන තුළ අවධාරණය කරන්නට යන කරුණු සාරාංශ ගත කෙරෙන ප්‍රබල අදහස් ඉදිරිපත් කළහ.

ප්‍රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකාවේ කල සිය ප්‍රථම කතාව වූ පිළිතුරු කතාවේ දී තමන් එරට ගත කරන දින තුන තුළ අවධාරණය කරන්නට යන කරුණු සාරාංශ ගත කෙරෙන ප්‍රබල අදහස් ඉදිරිපත් කළහ. ඇමෙරිකාව තුළ මහත්  ආන්දෝලනයටත් මත භේදයටත් ලක්ව ඇති කරුණු වන දේශගුණය වෙනස්වීම  (ගෝලීය උණුසුම්වීම), කියුබාව සමග සම්බන්ධතා, විවාහය සහ සාංක්‍රමනිකයන් යන මාතෘකා ගැන මෙහි  දී එතුමා කෙටියෙන් එහෙත් ප්‍රබලව අදහස් දැක්වීය.

පරිසරය සංරක්ෂණය

පරිසර සංරක්ෂණය සඳහා ජනාධිපති ඔබාමා ගෙන ඇති තීරණාත්මක ක්‍රියා මාර්ග පාප් වහන්සේ ප්‍රශංසාවට ලක් කළේය.

"වායු දුෂණය වැලැක්වීම සඳහා ඔබ විසින් පියවර ගෙන ඇති බව දැනගැනීම සිත දිරිමත් කරනසුලු ය. මිහිතලය උණුසුම්වීම  විසඳීම ඉදිරි පරපුරකට ඉතිරි කර තැබීම යහපත් නොවන බව මගේ ද වැටහීමයි. අප සියල්ලන්ගේම පොදු නිවස වන
මිහිතලය රැක  බලා ගැනීම ගැන සිතන කල අපි ඉතිහාසයේ අතිශය තීරණාත්මක අවධියකට පැමිණ සිටිමු." යි එතුමා කීවේය.

ආගමික නිදහස
නිදහස, විශේෂයෙන් ආගමික නිදහස ඇමෙරිකා එක්සත් ජනපදය සතුව ඇති ඉතා වැදගත් වස්තුවක් බව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දුන්හ. මෙම නිදහසා ආරක්ෂා කිරීමට අවදිව සිටින්නැයි එතුමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

ජනාධිපති ඔබාමා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය සේවා පනත නිසා ගබ්සාවට හා කෘත්‍රිම පවුල් සංවිධාන ක්‍රම වලට සහාය දීමට කතෝලිකයනට ද වක්‍රව බලපෑම් ඇති වී තිබේ. තවත් අතකින් ශ්‍ර්ෂ්ඨාධිකරණයේ තීන්දුවක් හේතුවෙන් සමලිංගික යුවලක් දේවස්ථානයෙන් විවාහ වීමට ඉල්ලාසිටියහොත් පියතුමකු එය ඉටු කිරීමට බැඳී සිටියි. එය ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි  වරදක් බවට පත් වේ.

මෙම තත්වයන් ගැන වක්‍රව කරුණු දැක්වූ සුදොතුම් පියතුමා කියා සිටියේ  අගතියෙන් තොර, සියල්ලන් ඉවසීමෙන් පිළිගන්නා,සියල්ලන් ඇතුළත් කරගන්නා, එක් එක් පුද්ගලයන් ගේ හා ජනකොටස් වල අයිතිවාසිකම් පිළිගන්නා සමාජයක් ගොඩනැගීමට ඇමෙරිකාවේ සියලුම පුරවැසියන් සමග කතෝලිකයන් ද කැපවී සිටින  බවයි. එහෙත් "එසේම සියලු පුරවැසියන් සමග සාධාරණ හා ප්‍රඥාවෙන් හා සාමයෙන් පිරුණු සමාජයක් ගොඩ නැගීම සඳහා ස්වකීය නිදහස හා අයිතිවාසිකම් ද ගරු කරනු ඇතැයි කතෝලිකයන් ද බලාපොරොත්තු වන " බව එතුමා අවධාරණය කළේය. "එබැවින් කිසිදු අංශයකින් හානි සිදු නොවන අයුරින් එම නිදහස ආරක්ෂා කිරීමට අවදිව සිටින ලෙස ඔබගෙන් ඉල්ලන්නැයි අපගේ සහෝදර ඇමෙරිකානු රදගුරු හිමිවරුන් ඉල්ලා සිටින" බව ද එතුමා සඳහන් කලේ ය.

සාංක්‍රමනිකයන්

පාප් වහන්සේ කියාසිටියේ තමා ද සංක්‍රමණිකයකු ගේ දරුවකු බවයි. එබැවින් ඇමෙරිකාවේ සංක්‍රමණික ප්‍රශ්නය ගැන වඩා ප්‍රායෝගිකව බැලීමේ අවශ්‍යතාව එතුමා ඉඟි කලේ ය. මෙමගින් එතුමා අදහස් කලේ දකුණු අමෙරිකාවෙන් එක්සත් ජනපදයට පැමිණ මෙතෙක් රටක් නැති පුද්ගලයන් ලෙස අයිතිවාසිකම් අහිමිව සිටින ලතිනෝ සහ හිස්පැනික් ජනකොටස් සිහිපත් කරමිනි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය